දේවාලය

කබලෑව, ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය

අප පුරාණ විහාරස්ථානයේ සහ දේවාලයේ ආරම්භය පිළිබඳ සලකා බැලීමේ දී ඓතිහාසික වශයෙන් ගොඩනැඟුණු කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීම වැදගත් ය. ඉතිහාසයෙහි කබලෑව ග්‍රාමය අතිවිශාල ග්‍රාමයක් විය. එම තොරතුරුවලට අනුව කබලෑව නැගෙනහිරින් පිදුම දක්වාත්, බස්නාහිරින් වස්සාවුල්ල ගම්මායිම දක්වාත්, දකුණින් පල්ලිපිටිය දක්වාත්, උතුරින් දීගල්ල දක්වාත් විහිදි තිබූ බව දැක්විය හැකි ය.

කබලෑවේ ගම සැදුනු ආකාරය පිළිබඳ ව ජනප්‍රවාදය තුළ විවිධ කරුණු අන්තර්ගත වේ. ඊට ප්‍රධාන වශයෙන් වර්තමාන කබලෑ දෙව් ප්‍රධාන වේ. මෙම දෙවියන්ගේ යක්ෂ කාලයක් පැවත තිබේ. එහි පොතක සිර වූ කාලයක් ද ඇත. ඉතිහාසයෙහි මෙම ප්‍රදේශයෙහි මිනිසුන් වන්නි හත්පත්තුවෙන් ගවයන් අල්ලාගෙන ඒමට යන අතර මෙසේ ගවයන් අල්ලාගෙන නැවත මෙම ප්‍රදේශයට පැමිණි මිනිසුන් යළිත් ගොපල්ලව වැව අද්දරට රැගෙන එති. මෙම ගවයන්ට වතුර දුන් වැව ගොපල්ලව වැව යි. ගවයන්ට තණ කොළ කෑමට බැන්ද භූමිය ගොපල්ලව වැව් පිටිය යි. ගොපලු මිනිසුන් එසේ ගවයන් බැඳ විවේක ගත් භූමිය ගොපල්ලව ගල යි. මෙම සියලු කරුණුවලට අදාල ව අද ද ගොපල්ලව යන නම භාවිතා වේ. මෙම ප්‍රදේශය ද ඉතිහාසයෙහි කබලෑවට ම අයිති වූ අතර කබලෑවේ මෙම ගල, වැව හැදින්වීමට පමණක් ගොපල්ලව යන නම ඉතිහාසය තුළ භාවිතා වී ඇත. වඩිග නම් යකෙකු ඇතුලු යක්‍ෂයන් තිදෙනෙකු බැද සිටි ඔඩ්ඩ්ස නම් මන්ත්‍ර පොතක් රජුගේ නියෝග මත දකුණු වන්නියට අරක්‍ෂකයින් හා මැතිවරුන් අත පිටමන් කරන අවස්ථාවේ දී ඔවුන් හා ගොපලුන් හාද වී යක්‍ෂයන් බැඳි ඔඩ්ඩිස මන්ත්‍ර පොත ගොපල්ලව ගලෙහි දිගහැර ඇත. එම දිගහරින අවස්ථාවෙහි වඩිග යකු ඇතුලු යක්‍ෂයන් තිදෙනා එක බලවේගයක් ව එයින් එළියට පැන ඇති බව ජනප්‍රවාදයේ සදහන් වේ. එම අවස්ථාවේ වඩිග යකු කබලෑ යකු ලෙස හදුන්වා ඇත. මෙසේ බියට පත් වූ ගොපලු මිනිස්සු යක්ෂයන් බැඳ දමා තිබු පොත උඩට ගවයන් බැදීමෙන් තමන් සතු කඹ දමා ලෑමත් (ඇතිල්ලීමත්), කඹ දා අල්ලපියව් යනුවෙන් ප්‍රකාශ කිරීමත් නිසා ද පසු කාලවල දී යකුගෙන් වන හිරිහැර නිසා යක්ෂයා අල්ලා බැන්ද නිසා ද කබලෑව යන්න උපන් බව දැක්වේ (මෙම සම්පූර්ණ කතාව සිද්ධ කබලෑ, මුල් සූනියම් දේවතාවුන් වහන්සේගේ උපත දැක්වෙන කොටස කියවන්න). ඒ බව කබලෑ පටුනෙහි මෙසේ සඳහන් වේ.

තුටත් වඩන අණසක කබලෑ            වේ

දුටත් වරද ඉවසන්න කමා              වේ

මටත් දැනෙන ලෙස පරම්පරා           වේ

පිටත් වුණයි පොතකින් කබලෑ         වේ      

වද කරලා යක් සෙන් අසු               වෙන්නේ

තද කර ලා ලණු පොට                 ඇදපන්නේ

කඹ දම ලා බැදපන්                    විගසින්නේ

කබලෑවේ නම එදයි                    උපන්නේ

ඉහත මෙම පොතින් යකු පැනීමෙන් අනතුරුව බොහෝ සෙයින් මෙම යක්ෂ තෙම දරුණු අයෙකු ලෙස හැඳින් විය. ඒ ඔහුගේ පැවැති හිතුවක්කාර, දරුණු ක්‍රියා කලාපය නිසා ය. මෙම යක් තෙම නිසා බොහෝ ප්‍රාදේශීය මිනිසුන් පීඩාවට පත්විය. පිරිමි දරුවන්ට ඉපදීමට ඉඩකඩ ලබා නොදුන් මෙම යක්ෂ තෙමේ අල්ලා බැඳීමට ගමේ මිනිසුන් තීරණය කර ඇත. දැවැන්ත කඹ යොදාගනිමින් ඔහු ව බැඳ දැමීමට බොහෝ දෙනෙකු උත්සාහ කරන ලද අතර වර්තමාන විහාරයට මීටර් සීයක් පමණ එපිට පිහිටි කොල්ලන් මරා සෑග වූ පිටිය ආසන්නයේ දී අල්ලා බැඳ දමන්නට කටයුතු කර තිබේ. කබලෑ යකු බැඳ තැබූ ස්ථානය කබලෑව ප්‍රදේශය ලෙස ජනප්‍රවාදය තුළ හඳුන්වා ඇත.

මෙසේ ඇති වූ කබලෑවේ පැවති විහාරය ඇඹවැව් වෙහෙර ලෙස ඓතිහාසිකව ම හඳුන්වා තිබේ. එම නාමයෙහි පරිණාමය පහත ලෙස වර්ග කොට දැන්විය හැකි ය.

මෙම පරිණාමය විහාරයට හා දේවාලයට නම යෙදීම සඳහා හේතු වූ කරුණු රාශියක් ඉවහල් වූ බව පෙන්වා දිය හැකි ය.

අඹවැව විහාරය නිසා අඹවැව පසු කාලීන ව ඇඹැව වූ බව අදහස යි. ඇඹැව විහාරය යනු එකළ වැව්වලින් වට වූ විහාරයකි. විහාරය වටා වැව් හතක් පැවති බව ඉතිහාසයේ සඳහන් වේ.

 

  1. අඹ වැව
  2. කෝවිල හෙවත් දේවාල කුඹුරේ මහවැව
  3. පොත්තලියද්දේ වැව
  4. මැද්දවෙලේ වැව
  5. තාවල්ල වැව
  6. මිදෙල්ල වැව
  7. දෙලන් වැව

ඉහත මෙම වැව් හතින් අද වන විට කුඹුරු වෙනුවෙන් දියවර සපයන වැව් තුනක් දැක්විය හැකි ය. ඒ අතර අඹවැව, මිදෙල්ලේ වැව, දෙලන් වැව යන වැව් පවතී. කෝවිල හෙවත් දේවාල කුඹුරේ මහාවැව ඇතුලු අනෙක් වැව් බැමිවල කොටස් අද වන විට දැකගැනීමට හැකි අතර එම වැව් බැමි අතර කෝවිල හෙවත් දේවාල කුඹුරේ මහවැව් බැම්ම අප විහාරයට හා දේවාලයට අයත් වූ කෝවිල හෙවත් දේවාල කුඹුරට නැගෙනහිර දෙසින් දැකිය හැකි ය. එසේ පැවති බව 1861 වූ මාර්තු මස 17 දින වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් විසින් අත්සන් තබා ප්‍රකාශ කරන ලද දැනට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සුරක්ෂිත ව ඇති ලේඛනය සාක්ෂි දරයි.

අඹවැව විහාරස්ථානය අසල ම පිහිටි වැව යි. එහි යම් කොටසක් විහාරය ආසන්නව අද ද දක්නට ලැබෙයි. එහි අයිතිය අද ද ඇත්තේ මෙම විහාරයට යි. වර්තමානයේ එම වැව් හා සබැදි ඡායාරූප කිහිපයක් පහත ලෙස දැක්විය හැකි ය.

(ඹව විහාරය පෙනෙන මානයේ ඇති අඹවැව)

(ඉතිරිව ඇති කෝවිල හෙවත් දේවාල කුඹුරේ මහවැව් බැම්ම සහිත කෝවිල කුඹුර)

(පොත්තලියද්දේ වැව තිබුණු ස්ථානය)

(මැද්දවෙලේ වැව් බැම්ම)

(තාවල්ල වැව තිබූ ස්ථානය)

(දෙලන් වැව)

(මිදෙල්ලේ වැව)

මෙම වැව් අතර විශාල ම වැව වූයේ මහාවැව යි. මෙම මහවැවට අදාළ ව අද වන විට විහාරයේත්, දේවොලේත් නම යෙදුණා නම් අද මෙම ගම්මානය ලංකාවෙහි මහවැව එකතුව තවත් “මහව” යන ගමක් නිර්මාණය වන්නට ඉඩ තිබුණි. එහෙත් එය එසේ නොවුණේ අඹවැව කුඩා වැවක් වුව ද අඹවැව විහාරය වටා පැවති වැව් හතින් ම මෙම අඹ වැව ප්‍රධාන මූලස්ථානයක් ලෙස සැළකීය. එසේ මෙම වැව මූලස්ථානයක් ලෙස සැලකුවේ එම වැව අසල අඹවැව විහාරයත්, කබලෑ දෙවොලත් පැවතීම නිසා ය. එම නිසා මිනිසුන් මෙම විහාරය පූජනීය ලෙස සලකන්නට වූ නිසාවෙනි.

අඹවැව ලෙස ප්‍රසිද්ධ ව පැවති අප විහාරය අවට වැවෙහි ප්‍රධාන වශයෙන් විහාරයට නැගෙනහිරට වන්නට විශාල ඇටඹ අඹ ගසක් පැවත ඇති අතර එය මුල්කරගෙන අඹවැව යන්න මිනිසුන් විසින් හඳුන්වා ඇත. එම නිසා අඹවැවේ විහාරය පසුකාලීන ව ඇඹැව විහාරය යනුවෙන් හඳුන්වා තිබේ. මුලින් ම කබලෑවේ අඹවැව විහාරය එය පසුකාලීන ව විහාරයට මෙසේ නම යෙදීම නිසා ග්‍රාමික වර්ගීකරණයේ දී ඒ අවට ප්‍රදේශය අඹවැව, ඇඹැව, ඇබෝව ආදී නම්වලින් යොදා තිබේ. මෙය වර්තමානය වන විට මෙම අඹවැව, ඇඹව ලෙස ආමන්ත්‍රණය වේ. මෙසේ ආරම්භ වූ ඇඹැව ගමේ බර දැරුවේ කබලෑව යි. කබලෑව මුල්කරගෙන පැවතියේ වැඩවසම් සමාජයකි. මෙම වැඩවසම් සමාජයේ කුල බලයක් පැවත ඇත.

කබලෑව පළාත ඉතා විශාල වුවකි. මෙහි වපසරිය ඉතිහාසයෙහි පැතිර තිබූ ආකාරය පැරණි ලේඛන තුළින් තහවුරු කිරීමට අවකාශය ලැබේ. එසේ විශාල ව පැවති භූමිය අද වන විට ග්‍රාමික වර්ගීකරණය තුළ කුඩාවට දක්නට ලැබේ. මෙම කරුණු යම් යම් අය උලුප්පමින් කබලෑව දේවාලයක්, විහාරයක් එහි නැති බව ප්‍රකාශ කිරීමට උත්සුක වනු පෙනේ. එමගින් කබලෑ දෙවියන් පිළිබඳ ව දුර්මත ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම කනගාටුදායක කරුණකි. කබලෑව පළාතේ එක ම විහාරස්ථානය අප ඇඹැව විහාරය, අඹවැව විහාරය වශයෙන් ඓතිහාසික ලේඛන තුළ සඳහන් වන්නේ අප ආයතනය බව පැහැදිලි ව ම ප්‍රකාශ කිරීමට හැකි ය. අද පවතින කබලෑව මායිම් ව ඇත්තේ අප විහාරස්ථානයට ය. ඉතිහාසයේ ද කබලෑව පළාතේ අඹවැව් වෙහෙර ලෙස මෙය ප්‍රසිද්ධ ව පැවත ඇත. ඒ බව කපුමහතුන් සතු වන පහත කවිවලින් හදුනාගත හැකි ය.

නෙතු පා දහ අට දේශෙක භාසෙක විජ්ජා දහඅට දැන රැදු                    නා

සකළ ඒ දඹදිව යක්සෙන් පිරිවර සමඟින් මන්ත්‍රා පොත බැදු                 නා

අඹ වැව් තලයේ ජලමත වැටෙනා පුන්සද එළියට දොස් වැදු                 නා

තෙද ඇති බල ඇති අඹ වැව් වෙහෙරේ උතුරින් තල මල් දෙක පිපු           නා

අඹ වැව් වෙහෙරේ නිරිතින් බෝ මැඩ රන් දෙව් විමනක් සේ දිලු              නා

රුද්‍ර තෙදැති යක් සේනා පතිදා නව ගුණ ලක්ෂෙට දෙවිදු වු                    නා

සත් පත්තිනි මව් සත් පියුමින් වැඩ තෙද රන් හලඹෙන් සෙත් කෙරු          නා

ඒ තෙද මහිමෙන් උතුරෙන් සුපිපුණු තල මල් දෙකෙහි දොස ඇරු            නා

1861 වූ මාර්තු මස 17 දින වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් විසින් අත්සන් තබා ප්‍රකාශ කරන ලද දැනට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සුරක්ෂිත ව ඇති ලේඛනය හරහා ඔප්පු වන්නේ ද කබලෑව පළාත තුළ සඳහන් එක ම විහාරස්ථානය අප විහාරස්ථානය බව යි. එහි වෙන කිසිදු විහාරස්ථානයක් පැවති බවට සාක්‍ෂි නොමැත. අද වුව ද වර්තමාන සීමා දමා ඇති කබලෑවේ බොහෝ බෞද්ධ ජනතාවක් දායකත්වය දරන්නේ ඇඹැව විහාරයට බව සිහිපත් කළ යුතු ම ය. ඉතිහාසයෙහි ද අඹවැව නොහොත් ඇඹැව විහාරයට කබලෑව පළාතේ සියලු ම බෞද්ධයන් දායකත්වය ලබා ඇත්තේ මෙම ඓතිහාසික වෙහෙරට ම බව සිහි කැඳවිය යුතු ය. මෙහි වර්තමානය වන විටත් දායක පවුල් දහසකට ආසන්න පිරිසක් දායකත්වය දරමින් බෞද්ධාගමික වතාවත් පූර්ණය කරගනු ලබති.

අඹවැවේ සිල්වත් රාළ නොහොත් රාජපද්ම මුදියන්සේ විසින් කබලෑ යකු දමනය කිරීම උදෙසා පිරිත් කිරීමට යොදා ගත් භූමියේ එවකට පැවති බෝධීන් වහන්සේ ආශ්‍රය කරමින් අභිනව කබලෑ දෙවිඳුන්ගේ ප්‍රධාන වාසභූමිය සකස් වූ බව ජනප්‍රවාදයේ පවතින විශ්වාසය යි. රාජපක්ෂ මුදියන්සේ කිසිවෙකුට කිරීමට අපහසු යක්‍ෂයා දමනය කිරීමේ මෙම කර්තව්‍ය ඉටු කිරීමෙන් අනතුරුව ඔහුගේ නාමයත් හිතුවක්කාර යකු දේවත්වයට පත් වීමේ පුවතක් දසත විහි දී ගියේ ය. ගිහියෙකු වුවත් බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන ලද අඹවැවේ සිල්වත් රාළ නොහොත් රාජපක්ෂ මුදියන්සේ මෙම භූමිය ම මුල් කරගනිමින් සිය අධ්‍යාත්මික ජීවිතය පවත්වමින් කටයුතු කර තිබේ.

කබලෑ යකුගෙන් ඇති වූ කරදර පීඩාව නිසා නින්දගමේ මිනිසුන් යළි එසේ නො වෙනු ඇති බව විශ්වාස කිරීමටත්, යකු දෙවියන් ලෙස සළකා එක එල්ලේ ම පූජෝපහාර දැක්වීමටත් යම් බියක් දක්වා තිබේ. තමන්ට සිදු වූ අවැඩ අමතක කිරීමට ඔවුන් අකමැති විය. පසු ව නින්ද ගමේ මිනිසුන් සතුටින් සාමාන්‍ය ලෙස තම ජීවිකාව පවත්වාගෙන යන්නට විය. කල්යත් ම යළි යකුගෙන් පෙර සේ කරදර පීඩාවන් නො වෙනු ඇති බව සක්සුදක් සේ නින්දගමේ මිනිසුන් පැහැදිළි කරගන්නට විය.

මෙසේ කාලය ගතවෙත් ම නො හිතන ලද අවස්ථාවක වදුරු වසංගත රෝගයක් නින්දගම තුළ ආරම්භ වූයේ ය. එම නිසා ම මිනිසුන් වෙත පීඩා රාශියක් ම දැනෙන්නට විය. විවිධ දෑ සිදු කළ ද කිසිදු සුව තත්ත්වයක් ඇතී නොවී ය. මෙම දුක් ගැහැට කීමට අයෙක් නො වූ තැන යළිත් බ්‍රහ්මචාරී අඹවැවේ සිල්වත් රාළ නොහොත් රාජපද්ම බ්‍රහ්මචාරී උන්වහන්සේ වෙත මිනිසුන් ගොස් මෙම තත්ත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහුගේ මගපෙන්වීම යටතේ නව ගුණ වැල් හත් පොට පිරිත් කරන ලද බෝධීන් වහන්සේ ආශ්‍රය කරමින් කබලෑ දෙවිඳුන්ගේ ප්‍රධාන වාසභූමිය වූ බෝධිය අසලට පැමිණ දෙවියන්ට මිනිසුන්ගේ දුක කියමින් කන්නලව් කළහ. ඉන් පසු ව ඔඩ්ඩිස කබලෑ, සිද්ධ සූනියම් දෙවියන්ගේ දේවාශීර්වාදයෙන් මෙම වසංගත රෝගී තත්ත්වයන් දුරු ව ඉතා සශ්‍රීක දිවි පෙවතක් ඔවුන්ට ගත කිරීමට දායක වූ බව ජනප්‍රවාදය තුළ එයි.

කබලෑ, සිද්ධ සූනියම් දෙවියන්ගේ දේවාශීර්වාදයෙන් මෙම වසංගත රෝගී තත්ත්වයන් දුරුවීමෙන් අනතුරුව දෙවිදුට කෘතඥ වීමක් ලෙස කබලෑ, සිද්ධ සූනියම් දෙවියන් වෙනුවෙන් මෙම බෝධීන් වහන්සේ තුළ රුක් දෙවොලක් හෙවත් දේව සංහිඳක් වශයෙන් දේවාභරණ තැන්පත් කර දේවාලය ආරම්භ කර ඇත. කාලයාගේ ඇවෑමෙන් එය අසල වරිච්චි බිත්ති බැඳ වහලයට පොල් අතු සෙවිලිකර දේවාලයක් තනන ලදී. මෙම සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය අඹවැවේ සිල්වත් රාළ නොහොත් රාජපද්ම බ්‍රහ්මචාරී උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද්දක් ලෙස සැලකෙන්නේ කබලෑ යකු දේවත්වයට පත් කරමින් මූලාරම්භය ලබා දුන් නිසා ය.

කාලයාගේ ඇවෑමෙන් ගොවිතැනින් ජීවත් වූ ගැමියන්ගේ ජීවන රටාවේ මෙන් ම සිතුම් පැතුම්වල ද වෙනස්වීම් ඇති විය. කෝට්ටේ රාජධානි සමයේ දකුණු ඉන්දියාවේ සිට තෙලිඟු මන්ත්‍රකරුවන්, වෙළඳුන්, සංචාරකයන්, ශාස්තරකරුවන්, සිඟන්නන්, සරණාගතයන් ආදි විවිධ පිරිස් මෙරටට පැමිණ ගම් දනව් සිසාරා ගොස් තැනින් තැන පැලපදියන් වූහ. මොවුන්ගෙන් සමහරෙක් සන්නාසින් නමින් ගෙයින් ගෙට සිඟමන් යදිමින් ගියහ. ආඬිගුරුන් නම් පිරිස රාත්‍රී අම්බලම්වල නවාතැන් ගෙන සිට දහවල් කාලයේ ගම්වල ඇවිදිමින් ශාස්තර කියමින් හා මන්ත්‍ර ගුරුකම් කරමින් දිවි පෙවෙත රැකගත්හ. “ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වාගේ” වැනි ප්‍රස්තා පිරුලක් සිංහල භාෂාවට එකතු වූයේ මොවුන් නිසා ය. ළමුන් අල්ලාගෙන යන සන්නාසින් සහ බිල්ලන් ගැන කතා ගෙතී තිබෙන්නේ ද මෙම සංචාරකයින් වටා ය.

ඒ අතර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ බොහෝ තෙලිඟු මන්ත්‍රකරුවන් ඇතුලු බොහෝ පිරිසක් සත්කෝරළය සොයා පැමිණියේ ඔඩ්ඩිස මන්ත්‍ර පොතේ හාස්කම් හා වඩිඟ යකුගේ ප්‍රබලත්වය මනාව දන්නා නිසා ය. යකු නිදහස් වීමේ පුවත ඔවුන්ට දැනගන්නට ලැබිණ. එම ආරංචියත් සමඟ ඔවුන්ගේ මන්ත්‍ර ඉතා ම ප්‍රබල භාවිතයකට රැගෙන ගියේ ය. ලංකාවට පැමිණි තෙලිඟු මන්ත්‍රකරුවන්ගෙන් සිංහල ගැමියන් ද මන්ත්‍ර ගුරුකම්, හදි හූනියම් ආදී ගුප්ත ශාස්ත්‍ර ඉගෙන ගත්හ. එසේ ඉගෙන ගැනීමෙන් අනතුරුව හා ඉන්දියාවේ සිට පැමිණි තෙලිඟු මන්ත්‍රකරුවන්ගෙන් වඩිග යකුගේ ප්‍රභලත්වය හා ක්‍රියාදාමය සත්කෝරළයේ මිනිසුන් දැනගන්නට විය. ඔවුන් මෙපමණ කාලයක් කබලෑ යකු ලෙස අදහා ඇත්තේ ඉතා ම ප්‍රභලයෙකු බව ඔවුන්ගේ කතා සමඟින් තීරණය කළේ ය. ඒ නිසා නැවත මිනිසුන්ගේ ජීවිතයෙහි වැඩි ඉඩකඩක් දෙවියන් වෙනුවෙන් වෙන් කිරීමට යොමු විය. තෙලිඟු මන්ත්‍රකරුවන් ඇතුලු පිරිස් සත්කෝරළයෙහි මිනිසුන් පිළිබද ව යම් ගෞරව සම්ප්‍රයුක්ත බියක් දැක්වූයේ වඩිග යකු තරම් ප්‍රබලයෙකු බුදු ගුණයෙන් දමනය කිරීමට දස්කම් දැක් වූ නිසා ය.

මෙම යකු ලක්ෂ වාරයක් “ඉතිපිසෝ භගවා අරහං…….” යන නව අරහාදී බුදු ගුණයෙන් පිරිත් කළ නවගුණ වැල් හත් පොටින් තුන් පොටක් කරට වැටි දේවත්වයට පත් වුව ද මෙම යකුගේ පූර්ණ යක්ෂ ගති සම්පූර්ණයෙන් නැතිකර දමන්නට නො හැකි විය. මේ යකුගේ පැවති ප්‍රභල රෞද්‍ර වෛරි සිතුවිලි නිසාත් ඔඩ්ඩිස මන්ත්‍ර පොතෙහි බලපෑමත් මීට හේතු විය. එම නිසා  අද ද මෙම කබලෑ සිද්ධ සූනියම් දෙවියන් මාස දොළසේ ම පුර පක්‍ෂයේ දේවාත්ම ස්වරූපයෙන් ද මාස දොළසේ ම අව පක්‍ෂයේ යක්‍ෂාත්ම ස්වරූපයෙන් ද පෙනි සිටි.

මෙම කබලෑව, ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය ලංකාවේ ප්‍රථම දේවාලය වන්නේ වඩිග හෙවත් කබලෑ යකු දේවත්වයට පත් මුල් ස්ථානය වීම හා කබලෑ සිද්ධ සූනියම් දෙවියන්ට පමණක් ම වෙන් වූ ලංකාවේ එක ම හා පළමු දේවාලය මෙය වීමත් නිසා ය. ඓතිහාසික වශයෙන් ගොඩනැගුණු චාරිත්‍ර ධර්ම පද්ධතියක් ඇති වර්ෂ 265ක ලිඛිත ඉතිහාසයක් ඇති ගම්පොල රාජ්‍ය යුගය වන තෙක් ජනප්‍රවාදයෙන් දිවයන මෙය ඉතා ම ඓතිහාසික භූමියකි.

මෙම දේවාලයෙහි පරිපාලන ම ය අයිතිය ඇත්තේ විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේට ය. දේවාලය ආරම්භක දවස කවදා ද? යන්න ස්ථිර ව ප්‍රකාශ කිරීමට ලිඛිත සාක්ෂි ගැලපා පෙන්වීමට හැකියාවක් නොමැත. ඒහෙත් දේවාලයෙහි පෞරාණිකත්වය ශීර්ෂ කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකි ය.

  1. ලිඛිත සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි අශ්‍රයෙන්
  2. ජනප්‍රවාද අශ්‍රයෙන්
  3. පෞරාණික හා ස්ථානයට ආවේණික චාරිත්‍ර අශ්‍රයෙන්

වර්ෂ 1757 එපිට සිට ම මේ වන තෙක් ම දේවාලයත්, විහාරස්ථානයත් පැවති බවට තොරතුරු අන්තර්ගත වේ. විහාරස්ථානයේ ඉතිහාසය දක්වන පරිච්ඡේදයේ දී මෙහි ඓතිහාසිකත්වය ලිඛිතව පැහැදිළිව ම පෙන්වා ඇත. ඒ අතර දේවාලය විෂයෙහි මුරුතැන් පූජාව සැකසීම වෙනුවෙන් සහල් ලබාගැනීමට වෙන් වූ කුඹුර අද ද විහාරස්ථානය සතුවේ. මෙම කුඹුරෙහි නම වන්නේ කෝවිල කුඹුරයි. මේ සඳහා වෙන් වූ වැවක් සහ කමතක් ද තිබී ඇත. අද කමත දක්නට ඇතත් වැවේ වැව් බැම්ම පමණක් දක්නට ලැබෙන අතර එය මහවැව විශාල කුඹුරු යායක් බවට පත්ව තිබේ. දේවාලය හා විහාරස්ථානය වටා පැවති පැරණි වැව් හතෙන් විශාල වැව කෝවිල කුඹුරේ මහවැව යි. මෙය මහවැවේ දියවර ලබාගෙන අස්වද්දවා ඇත. කෝවිල කුඹුරෙන් නැගෙනහිරට මහ වැව පිහිටා තිබූ බවටත්, එය වර්ෂ 1818 වන තෙක් පැවතියේ කල්ලෙලියේ සුමංගල හිමියන් යටතේ බවටත් එය පසුව වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් භාරගත් බවටත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද ලේඛනයෙහි සඳහන් වේ. “කබලෑවේ පළාත ඇබෝව විහාරේ නොහොත් දේවාලේ කටුගම්පොල කොරලේ කබලෑව පළාත තිබෙන ගම්බිම් ලේඛණයයි” යනුවෙන් සදහන් කර තිබේ. මෙම සදහනෙන් කබලෑව පළාතේ සුවිශාලත්වය ද  විහාරය හා දේවාලයට අයිති සියලු ඉඩම් පිළිබද ව ද හදුනාගත හැකි ය. විහාරය මෙන් ම දේවාලයක් ද පැවති බව ද මේ තුළින් තහවුරු කරගැනීමට අවස්ථාව තිබේ.

(1861 වූ මාර්තු මස 17 දින වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් විසින් අත්සන් තබා ප්‍රකාශ කරන ලද දැනට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සුරක්ෂිතව ඇති ලේඛනය)

ඉහත මෙම ලේඛනයෙහි ද, අංක 16506 යන ඔප්පුවෙහි ද මහ වැව එසේ කෝවිල කුඹුරට නැගෙනහිරට මායිම් ව පැවති බව දක්වා ඇත. මෙම විහාරස්ථානය සතු පෞරාණික ඉඩම්වලින් දෙවැනි ඉඩම යි. ප්‍රථම පෞරාණික ඉඩම වන්නේ විහාරය හා දේවාලය පිහිටි පූජා භූමිය යි.

මෙම කෝවිල කුඹුර අඹවැව් වෙහෙරට ලැබීම පිළිබද ව ද ජනප්‍රවාදයක් පවතී. මුල්කාල වකවානුවේ දී දේවාලයේ ප්‍රධාන තේවාභාර දේවගැතියා ලෙස කටයුතු කර ඇත්තේ දීගල්ලේ රාළයි. මොහු විසින් එවකට සීතාවක රාජධානිය පාලනට කළ සීතාවක රාජසිංහ රජුගේ බිසවට දෙවි දෝෂයක් නිසා වැලදුණු රෝගයක් දුරුකිරීමට මෙම දීගල්ලේ රාළ ගිය අතර පැවරුණු කාර්යය මනාව ඉටුකිරීම වෙනුවෙන් සතුටු වූ සීතාවක රජතුමා විසින් කබලෑව ගම්වරය සමග දේවාලයේ වතාවත් වෙනුවෙන් කුල හයක් ද, වතාවත් සැපිරීමට වීදුරු පාත්‍රයක්, රන් පන්හිදක්, ඇත්දත් ජෝඩුවක් සේම වදින දෙවියන්ට බත සැපයීමට මෙම කෝවිල කුඹුර දේවාලය ආසන්නයේම වැව, කමත, ගොඩ ඉඩම සහිත ව පුදදුන් බව කියැවේ. ව්ර්ෂ 1861 ලියා ප්‍රකාශකර ඇති එවකට විහාරාධිපති වේයංගොඩ අත්ථදස්සි හිමියන් විසින් ලියූ ලේඛණය තුළ වර්ෂ 1820 තමන් වහන්සේ පංසල සහ දේවාලය භාරගන්නා විටත් එය පෙර විහාරාධිපති කල්ලෙලියේ සුමංගල හිමියන්ගෙන් ලැබුණ බව සදහන් කරයි. මෙම කෝවිල කුඹුරේ අයිතිය විහාරස්ථානය සතු බව ස්ථාවරය නිසා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් වේයංගොඩ අත්ථදස්සි හිමියන් අපවත්වීමෙන් පසුව අධිපතිත්වයට පත් වේරගොඩ ඉන්දජෝති හිමියන් වෙත වර්ෂ 1875 ඔක්තොම්බර් 26 NO 100907 යටතේ විහාරස්ථානයේ නමින් හිමිකම් පිඹුරක් ප්‍රධානය කොට නැවත විහාරස්ථානයේ අයිතිය තහවුරු කොට තිබේ. එහි නැගෙනහිර වන්නට මහා වැව පැවති බවත් සදහන්ව ඇත.

(වර්ෂ 1875 ඔක්තොම්බර් 26 දී කෝවිල කුඹුරට ලබාදුන් හිමිකම් පිඹුරු සිතියම)

(කෝවිල කුඹුර හා එය අස්වැද්ද වූ ඉතිරිව ඇති මහ වැවේ වැව් බැම්ම)

මෙම කුඹුරෙහි සී සෑම් කටයුතු ඉතා ගෞරවයෙන් ඉතිහාසයේ සිට සිදු කර තිබේ. ප්‍රථම ව දෙවියන්ට භාර කරමින් කුඹුරට දකුණු ප්‍රදේශයෙහි වන්නට පහන් දල්වා ආශිර්වාදය කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කර ඇත. අස්වැන්න නෙලා ගන්නා තෙක් ම පහන් පැළක් වෙන් වන අතර මෑතක් වන තුරු ම රූක්‍ෂ නුග ගසක් දක්නට ලැබුණු අතර එය ඉඩම් වෙන්දේසියෙන් පසු ව ඉවත් කර තිබේ. ඉතිහාසයෙහි පළමුවෙන් ම වෙල්යායේ අනෙක් කුඹුරු අතර අස්වද්දන්නේත්, බැතලන්නේත් මෙම කුඹුර යි. මෙය දෙවියන්ට කරනු ලබන වතාවතකි. මෙම කුඹුර වැපිරීමේ සිට අවසානය දක්වා ම අචාර ධර්ම හා චාරිත්‍ර ධර්ම මත සිදු කෙරේ. 

දේවාලයේ පැරණි බව දක්වන මෙම අවස්ථාවෙන් අනතුරුව සකරාජ වර්ෂ 1742 හි ලියන ලද තල් පතකින් දේවාලයේ සිදු වූ භාරයක් ඔප්පු සිද්ධ කරන අවස්ථාවක් පිළිබඳ ව කරුණු දක්වා ඇත. මෙම තල්පත ද විහාරස්ථානය සතු වන අතර එයට යම් යම් හානි සිදු ව තිබේ. එය සඳහන් වන්නේ ඇපලදෙණියේ පදිංචි අන්දො අප්පු නයිදේ හාමි තමන්ට පැවැති මානසික කලකිරීම දුරු කරගනු පිණිස විහාරයෙහි කබලෑ දේවාලයට සිදු වූ භාරයක් ඔප්පු සිද්ධ කිරීමක් ලෙස ඇඹව විහාරයෙහි සතර දිගින් වඩින මහා සංඝයා සිහිපත් කරගෙන තමන්ට අයිති ව පැවති භාණ්ඩ පූජාවක් පිළිබඳ ව තොරතුරු ය. එය භාර වූ ආකාරයට ම ඉටු කරන ලද බවත් මේ ඉටු කරන ලද බව දැක්වීමට සාක්ෂි ලෙස ගමේ ආරච්චිල ද, දේවාලයෙන් පරිබාහිර කපුවෙකු ද නම් කර ඇත. එසේ ම මෙය ලියා දක්වා ඇත්තේ කබලෑවේ තේනුහාමි විසින් බව ද තල්පත අවසානයෙහි සඳහන් වේ.

(සකරාජ වර්ෂ 1742 හි ලියන ලද තල් පත)

ඉන් පසුව දේවාලය අඹවැව් වෙහෙරේ පැවති බවට වර්ෂ 1877 දී මිනුම්පති විසින් ප්‍රකාශයට පත් කරන ලද පිඹුරෙහි දේවාලය ඉතා පැහැදිලි ව දක්වා ඇත. එදා දේවාලය පැවැති ස්ථානයේ ම අදත් කිසිදු වෙනස් කිරීමක් සිදු කර නොමැත. මෙම දේවාලය පිහිටා ඇති භූමියෙහි කඹලෑ යකු දේවත්වයට පත් වූ ස්ථානය බව ජනප්‍රවාදයෙහි එයි. මෙම මිනුම්පති සැලැස්මට අදාළ ව එදා දේවාලය පැවැති තැන ම පැවතීමෙන් මෙම කරුණු දක්වන අවස්ථාව තුළත් පැහැදිළි වන්නේ දේවාලයෙහි ඓතිහාසික බව යි.

(වර්ෂ 1875 දී දේවාලය දක්වා ඇති මිණුම්පති හිමිකම් පිඹරු සිතියම)

ඉහත මෙම සියලු කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් පෙනෙන්නේ ඇඹව විහාරයේ පවතින කබලෑ මහා දේවාලය ඓතිහාසික පැවැති ආකාරය යි. කබලෑ දේවාලයෙහි ඉතිහාසය වර්තමාන ගොඩනැගිල්ලෙන් පමණක් එය පැරණි නො වන බව දැක්වීමට යමෙක් උත්සාහ කරන බව පෙනේ. විශේෂයෙන් ම 1933 පමණ වන විට දේවාලයට ඉහළින් පැවති බෝධීන් වහන්සේ දේවාලයට කඩා වැටීම නිසා දේවාලයේ පැරණි ප්‍රතිමාව හැර වහලය විනාශ වූ බව මීට පෙර ද සිහිපත් කරන ලදී. එම කාල වකවානුව තුළ පැවති බිත්ති අදටත් දැක ගත හැකි ය. යමෙකුට ඒ බව සැක සංකා පවතී නම් අප දේවාලය ගොඩනැගිල්ල, වහලය, පවතින ස්ථානය, කබලෑවට ම පමණක් ආවේණික දේව ප්‍රතිමාව, පැරණි ආභරණ, කබලෑ මුල් සූනියම් මහා දේවාලයට ම ආවේණික චාරිත්‍ර ආදිය පිළිබඳ ව සලකා බැලීමට අවස්ථාව ලබාදිය හැකි ය. මේ හැර ඉහත දක්වන ලද ලිඛිත සාක්ෂි සේ ම කබලෑ දෙවියන් වෙනුවෙන් වෙන් වූ කෝවිල කුඹුර ද යන මෙම සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ මෙහි ඉතිහාසය යි.

කබලෑව ගම්මානය වටා ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවා යක්ෂ අවධිය මුල් කරගෙන කටයුතු සිදුකරන කාලවකවානුව තුළ ඇසුරු කරනු ලැබූ ගම් පියස ඇතුළත අද ද විවිධ ස්ථාන පූජනීයත්වයට පත්ව ඇත. ඊට හේතුව වඩිග නොහොත් කබලෑ යක්ෂයා තම ක්‍රියාකාරකම්  දිස්වෙන සලකුණු දක්නට ලැබීම යි. එම ස්ථාන වෙත බෞද්ධ, අබෞද්ධ කාගෙත් ගෞරවාදරයට පත්වන්නේ දෙවියන් පිළිබද ව පොදුවේ පවතින විශ්වාසය මුල්කරග‍ෙන ය. කබලෑ යක්ෂයා පාද ස්පර්ශවයට ලක් වූ යැයි සැලකෙන ස්ථානයක් දක්නට ලැබේ. එම ස්ථානය පොළොවට බරවන සේ ඉහළට නැගුණු තැනක් ලෙසට ගම්මුන් විසින් විශ්වාස කෙරේ. බැලු බැල්මට පාදයෙහි ඇගිලි දෙකක් දිස්වෙන අතර එයින් එක් ඇගිල්ලක් වලක් සැකසෙන සේ වැරෙන් ගල යටට නැඹුරුව ඇත.

ඉහත මෙම සියලු කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් පෙනෙන්නේ ඇඹව විහාරයේ පවතින කබලෑ මහා දේවාලය ඓතිහාසික පැවැති ආකාරය යි. කබලෑ දේවාලයෙහි ඉතිහාසය වර්තමාන ගොඩනැගිල්ලෙන් පමණක් එය පැරණි නො වන බව දැක්වීමට යමෙක් උත්සාහ කරන බව පෙනේ. විශේෂයෙන් ම 1933 පමණ වන විට දේවාලයට ඉහළින් පැවති බෝධීන් වහන්සේ දේවාලයට කඩා වැටීම නිසා දේවාලයේ පැරණි ප්‍රතිමාව හැර වහලය විනාශ වූ බව මීට පෙර ද සිහිපත් කරන ලදී. එම කාල වකවානුව තුළ පැවති බිත්ති අදටත් දැක ගත හැකි ය. යමෙකුට ඒ බව සැක සංකා පවතී නම් අප දේවාලය ගොඩනැගිල්ල, වහලය, පවතින ස්ථානය, කබලෑවට ම පමණක් ආවේණික දේව ප්‍රතිමාව, පැරණි ආභරණ, කබලෑ මුල් සූනියම් මහා දේවාලයට ම ආවේණික චාරිත්‍ර ආදිය පිළිබඳ ව සලකා බැලීමට අවස්ථාව ලබාදිය හැකි ය. මේ හැර ඉහත දක්වන ලද ලිඛිත සාක්ෂි සේ ම කබලෑ දෙවියන් වෙනුවෙන් වෙන් වූ කෝවිල කුඹුර ද යන මෙම සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ මෙහි ඉතිහාසය යි.

කබලෑව ගම්මානය වටා ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවා යක්ෂ අවධිය මුල් කරගෙන කටයුතු සිදුකරන කාලවකවානුව තුළ ඇසුරු කරනු ලැබූ ගම් පියස ඇතුළත අද ද විවිධ ස්ථාන පූජනීයත්වයට පත්ව ඇත. ඊට හේතුව වඩිග නොහොත් කබලෑ යක්ෂයා තම ක්‍රියාකාරකම්  දිස්වෙන සලකුණු දක්නට ලැබීම යි. එම ස්ථාන වෙත බෞද්ධ, අබෞද්ධ කාගෙත් ගෞරවාදරයට පත්වන්නේ දෙවියන් පිළිබද ව පොදුවේ පවතින විශ්වාසය මුල්කරග‍ෙන ය. කබලෑ යක්ෂයා පාද ස්පර්ශවයට ලක් වූ යැයි සැලකෙන ස්ථානයක් දක්නට ලැබේ. එම ස්ථානය පොළොවට බරවන සේ ඉහළට නැගුණු තැනක් ලෙසට ගම්මුන් විසින් විශ්වාස කෙරේ. බැලු බැල්මට පාදයෙහි ඇගිලි දෙකක් දිස්වෙන අතර එයින් එක් ඇගිල්ලක් වලක් සැකසෙන සේ වැරෙන් ගල යටට නැඹුරුව ඇත.


(කබලෑ යකුගේ පා සටහනක් යැයි සැලකෙන ස්ථානය)

පුරාණ කබලෑ මුල් සුනියම් මහා දේවාලයෙහි අභ්‍යන්තර දේව මාලිගයෙහි ඇති ප්‍රතිමාව ආකෘතිය මෙම දේවාලයෙහි පමණක් ම දැකගැනීමට හැකි අතර එහි පෞරාණිකත්වය ඉතා ඉහළ ය. මෙම ප්‍රතිමාව ඉදිකිරීම පිළිබඳ ව විවිධ ජනප්‍රවාද රාශියක් පවති. මෙම ප්‍රතිමාව විශේෂ වූවකි. අප ගම්භාර සිද්ධ කබලෑ මුල් සුනියම් මහා දේවාලය වෙන් ව ඇත්තේ කබලෑ සිද්ධ සූනියම් ගම්බාර දෙවියන් උදෙසා ම පමණි. නවගමු පත්තිනි මහා දේවාලය පත්තිනි මෑණියන්ට ද, අලුත්නුවර මහා දේවාලය දැඩිමුණ්ඩ දෙවියන්ට ද, දෙවුන්දර මහා දේවාලය විෂ්ණු දෙවියන්ට ද වෙන් වන්නා සේ ම අප මහා දේවාලය කබලෑ සිද්ධ සූනියම් ගම්බාර දේවතාවුන් වහන්සේට ම වෙන් වේ. එම නිසා මෙම දේවාලයෙහි සියලු වතාවත් පූර්ණ වශයෙන් වෙන් වන්නේ මෙම දෙවියන්ට ය. කුඩා මල් පැල ආකාරයෙන් කපු මහතුන්ගේ වතාවත් විෂයෙහි පමණක් කුඩා දේව පිළිම වෙන්කර තිබේ. අනෙකුත් සෑම දේවාලයක ම පාහේ ප්‍රධාන දේව මාලිගායෙහි විෂ්ණු, පත්තිනි, කතරගම, සමන්, භද්‍රකාලි ආදී දේව ප්‍රතිමා ප්‍රධාන දේව මාලිගයෙහි තැන්පත් කරනු පෙනේ. එහෙත් මෙම දේවාලයෙහි එසේ සිදු නො කෙරේ.

මෙම පිළිම වහන්සේ ඉදිකර ඇත්තේ මීට වර්ෂ 177 ට එපිට ය. එවකට විහාරස්ථානයේ අධිපතිත්වය දරා ඇත්තේ වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් ය. මෙම පිළිමය ඉදි කර ඇත්තේ බරිගොඩ වාසය කරන ලද බිහල්පොල මොහන්දිරම් හෙවත් බරිගොඩ ගුරුන්නාන්සේ නම් ශිල්පියා විසිනි. පුරාණ කාලයේ දේවාලයෙහි අලුත්වැඩියා නිර්මාණ කටයුතු කරන පවුල් කීපයක් සිටියහ. ඒ අනුව දේවාලයේ ප්‍රධාන දේව ප්‍රතිමාව නිර්මාණය කිරීමේ වගකීම බිහල්පොල මොහන්දිරම් හෙවත් බරිගොඩ ගුරුන්නාන්සේ නම් ශිල්පියාට පැවරී තිබිණ. ඔහු විසින් කාලයක් තිස්සේ මහත් වෙහෙස මහන්සි වී පිළිමය තනන ලදි. අවසානයෙහි නැතත් වේලාවක් බලා උත්සවශ්‍රීයෙන් නේත්‍රා කරන්නට යෙදිණ. මෙම කාර්යය සඳහා තෑගි වශයෙන් ලැබුණු වී, හාල්, පොල් ආදිය කරත්තයක පටවා යවා ශිල්පියා තම කරත්තයෙන් නැගී පිටත් ව ගියේ ය. රාත්‍රී බරිගොඩ කන්ද නගින විට කලු බල්ලෙකු පාර හරස් කරගෙන සිටිනු ඔහු දුටුවේ ය. එයින් බියට පත් ශිල්පියා ගෙදරට යන විට තදින් උණ ගැනී තිබිණ. පසුදින උදේ භාර්යාව අවදි වී බලන විට ඔහු අතුරුදන් වී ඇති බව පැහැදිලි විය. නිසි පරිදි පිළිමය නේත්‍රා තැබීම හේතුවෙන් ඔහුට වස් වැදුණු බවත්, ප්‍රතිමාවේ රැවුල නො පෙන් වීමත්, එම නිසා මුහුණ කාන්තාවගේ මෙන් සියුමැලි ව නෙළා තිබෙන නිසාත් ඔහුට දෙවියන් දඬුවම් දුන් බව සඳහන් වේ.

ඉහත ලෙස පුරාණ කබලෑ මුල් සුනියම් මහා දේවාලයෙහි අභ්‍යන්තරික මාලිගයෙහි අන්තර්ගත පිළිමය කබලෑ දෙවියන් විරාජමානව වැඩ සිටින ආකාරය විදා පාන්නක් වැනි ය. ජීවමාන ලෙස ම එම පිළිමය දක්නට ලැබේ. පැරණි තඹ පතින් ලියූ කබලෑ පටුන ද, කබලෑ දෙවියන්ගේ ප්‍රධාන හලඹ ද තැන්පත් කරමින් මෙම උතුම් පිළිම වහන්සේ නෙළා ඇති බව සඳහන් වේ.

මෙම පිළිමයෙහි ඡායාරූපයක් දැක්වීමට අවශ්‍ය වුව ද අපගේ අනන්‍යතාවයට ගරු කිරීමක් ලෙස මෙය පළ කිරීමට නො හැකි ය. එහෙත් එහි ආවේණික ලක්ෂණ කීපයක් ම පෙන්වා දිය හැකි ය. මෙම පිළිමය ඔටුන්නක් දරා සිටින ඉතා අලංකාර ලක්ෂණ පෙන්නුම් කරන්නකි. එක අතිකින් සලඹක් ද අනක් අතින් භස්තමක් ද දරමින් සිටින මෙය නැගෙනහිරට සහ ගිනිකොනට අතර මුහුණ ලා සිටිනු පෙනෙයි. මෙහි දිශා නිසි ලෙස මැන සකස් කර තිබේ. ගිනිකොන හා නැගෙනහිර දිශාවට සම වන සේ තනා ඇත. ආපස්සට පාදයක් ගත් විට දෙවියන් ද පාදයක් ඉස්සරහට ගතහොත් යක්‍ෂ භාවයත් පෙන්නුම් වන සේ නිර්මාණය කර ඇත. මෙනයින් ගත් කළ නැගෙනහිර දිශාවෙන් දේවත්වයත්, ගිනිකොන දිශාවෙන් යක්‍ෂ ස්වරූපයත් අරුත් ගැන් වේ. එම නිසා මෙම පිළිමය දැවැන්ත තෙජස් බවක් පෙන්නුම් කරනු පෙනේ. මෙම ගති ලක්ෂණ ඇති පිළිමය කබලෑව අප දේවාලයට ම ආවේණික වූවකි. එම නිසා ලංකාවේ කිසිදු තැනක දක්නට නො ලැබෙන මෙම පිළිමය කබලෑ දේවාලයෙහි පෞරාණිකත්වය සේ ම අනන්‍යතාවය ද විදහා දක්වනු පෙනේ. රජෙකුගේ ලක්‍ෂණ දක්නට ලැබේ. බඳ පටියකින් යුක්ත ය. ඔටුන්නෙන් කබලෑවට පමණක් නොව විශ්වයට ම රාජ ඔඩ්ඩිස බව ද, බඳපටියෙන් තේජාන්විත භාවය ද, අභිෂේක ලැබූ ආකාරය ද පත්තිනි මෑණියන්ගෙන් සලඹේ ආශීර්වාදයෙන් විරාජමාන වූ ආකාරය ද පෙන්නුම් කෙරේ.

මෙම උතුම් පිළිම වහන්සේට චාරිත්‍ර ධර්ම රාශියක් මහා මංගල්‍යය පවත්වන අගෝස්තු මාසයේ දී සිදු කෙරේ. මේ ප්‍රධාන පිළිමවහන්සේ වැඩ සිටින දේවමාලිගාව අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්ද ලැබීමට පෙර දොර වැසීම සිදු වන අතර එය ප්‍රධාන දොර වැසීමේ මංගල්‍යය ලෙස එය හැඳින්වේ. මේ පිළිම වහන්සේ ස්ථානයෙහි අනන්‍යතාවයක් පෞරාණිකත්වය විදහා පානු ලැබේ.

කබලෑව ගම රජුන්ගෙන් ලැබුණු ගම්වරයක් ලෙස ද ජනප්‍රවාදයක් පවතී. එය සීතාවක රාජ්‍යය යුගය වන තෙක් ම දිව යනු ලබයි. සීතාවක සිටි පළමුවන රාජසිංහ රජතුමා රාජ්‍ය කාලය 1581 හා 1573 යන කාලවකවානුව යි. එතුමා අභිෂේක ලබන්නේ 1581 වර්ෂය තුළ යි. මොහු ඉතා ම දක්‍ෂ රණශූරයෙක් ලෙස ඉතිහාසයෙහි සඳහන් වේ. මුලින් ම ඔහු ටිකිරි කුමරු ලෙස නම් ලබා ඇති අතර මාවනැල්ල නොදුරු අලුත්නුවර යුද්ධයෙන් පසු ව රාජසිංහ යන නමට පත්විය.

කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය යුගයේ දී මහවංසයෙහි හතරවන පරිච්ඡේදය ලියන අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක මාහිමිපාණන් වහන්සේ පෙන්වා දෙන්නේ රාජසිංහ රජු විසින් තමන්ගේ පියරජු වූ මායාදුන්නේ රජු ඝාතනය කරන ලද බව යි. මෙම පාපකර්මය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් විමසීමෙන් අනතුරුව එය ආනන්තරිය පාප කර්මයක් බව පෙන්වා දීම නිසා රජු හා භික්ෂූන් වහන්සේලා අතර මතභේද හට ගත් බවත්, එම නිසා රජු බෞද්ධ පදනම රැක ගැනීමට වඩා බෞද්ධ විරෝධී ලෙස කටයුතු කිරීමට යොමු ව ඇති බව දක්වා ඇත. එම නිසා රජු බොහෝ සෙයින් විශ්වාස කර ඇත්තේ හින්දු දේව සංකල්පය මුල්කරගත් සංස්කෘතියකි. එම නිසා ඔහු විසින් දෙවියන් මුල්කරගත් කතාවලට දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කර තිබේ. පත්තිනි මෑණියන් පිළිබද ව දැඩි විශ්වාසයකින් ජීවත් වූ මෙම රජතුමා පත්තිනි දේවමෑනියන් සිහිකරමින් දේවාල හතළිස් අටක් (48) ඉදිකර තිබේ.

මෙම සීතාවක යුගයේ දී විවිධ මාන්ත්‍රකරුවන් මෙන් ම දේව කටයුතු වෙනුවෙන් විවිධ පිරිස් ලක්දිවට පැමිණ තිබේ. එම මන්ත්‍රකරුවන් ඇතුළු පැමිණි බොහෝ පිරිසක් වඩිග යක්ෂයාගේ තොරතුරු අසා තිබිණ. ඔවුන්ගේ මව්භූමිය වූ ඉන්දියාවට පවා දමනය කිරීමට අපහසු වූ යක්ෂ පිරිසක් දැවැන්ත පරිශ්‍රමයකින් යුතුව මන්ත්‍රාචාර්‍යවරුන් හයසියයක් එකතුව අල්ලා පොතක බැද නැවියන් රහිත නැවක නංවා විවිධ පිදවිලි සහිත ව ලක්දිව දෙසට එවන ලද මෙම කතාව ඔවුන් දැන තිබිණ. එම නිසා ම මෙම තොරතුරු පිළිබද ව ඉතා ම වුවමනාවෙන් සොයා බැලීමට ඔවුන් කටයුතු කළේ ය. මෙම ඔඩ්ඩිස මන්ත්‍රපොත මාතරටත්, දෙවුන්දරටත් පසු ව අනුශාසක බමුණාගේ අනුදැනුමින් හා තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ නියෝගයෙන් දකුණු වන්නියට පිටමන් කරන බවත්, එහි දී අතරමග යකුන් පොතින් පිට වූ ආකාරයත් මොවුන්ට දැනගන්නට ලැබිණ. එම නිසා මොවුන් පිට වූ යක්ෂයාන්ට සිදු වී දෙය සොයා සත්කෝරළයේ කබලෑව ප්‍රදේශයට පැමිණෙන්නට විය. පැමිණීමෙන් අනතුරුව යක්ෂයා බුදුගුණයේ අනන්ත ආශීර්වාදයෙන් දේවත්වයට පත් වූ ආකාරයත්, ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවා ලෙස වන්දනා කරන ආකාරයත් දැක පුදුම වී තම දේශයේ දී සිදු වූ සිද්ධි සියල්ල සත්කෝරළයේ මිනිසුන්ට කියා දී මෙම යක්ෂයා හට වන්දනා කරන ආකාරය මෙන් ම විවිධ මන්ත්‍ර ශාස්තයන් ද ඉගැන් වූ බව ජන ප්‍රවාදයෙහි සදහන් වේ. ඉන්දියාවේ සිට සීතාවකට පැමිණී මොවුන් සත්කෝරළයට පැමිණි මෙම ගමනේ දී මන්ත්‍රකරුවන් සියල්ලන් ම මෙම ප්‍රදේශයෙන් නොගොස් යම් කෙනෙක් කබලෑවේ නතර වී මෙම මන්ත්‍ර ඥානය දිගින් දිගට ම උගන්වා මෙම දෙවියන් වටා මෙන් ම යක්ෂයා වටා ද විවිධ අභිචාරයන් සමීප කිරීමට සමත් විය. නැවත සත්කෝරළයේ කබලෑවට පැමිණී ගමන නිමවා සීතාවක බලා පිටත් වී ගිය මන්ත්‍ර ශාස්ත්‍රඥයන් මෙම සියලු ප්‍රවෘත්තිය සීතාවක රජසිංහ රජු වෙත දන්වමින් පත්තිනි මෑණියන්ගේ හාස්කම ද ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවගේ ද හාස්කම් පවසා ඇත. පත්තිනි මෑණියන් පිළිබද ව අපමණ ගෞරවයක් ඇති නිසා ද බුදුගුණය සහ  පත්තිනි දේව මෑණියන්ගේ තෙද බලය නිසා ද ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දෙවියන් පිළිබද ව විශේෂ ගෞරවයක් ඇති වීමට ද හේතු විය.

පසු ව කල්යත්ම සීතාවක සිටි පළමුවන රාජසිංහ රජුගේ අගමෙහෙසියට ඇති වූ රෝගී තත්ත්වය නිසා රජු මහත් පීඩාවට පත්විය. රෝගාතුර වූ සිය අගමෙහෙසිය සුවකර ගැනීමට බොහෝ මන්ත්‍රාචාර්යවරු උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. ඉන්පසු ව පෙර වඩිග හෙවත් කබලෑ යකු දේවත්වයට පත්වීම හා එම සූනියම් දෙවියන්ගේ හාස්කම් සත්කෝරළයට පැමිණි මන්ත්‍රකරුවන්ගෙන් දැනගත් සිදුවීම සිහිපත් විය. රජුට සිහිපත් වීමෙන් අනතුරුව කබලෑ මුල් සුනියම් මහා දේවාලයේ දෙවන පරපුර නියෝජනය කරන ලද දීගල්ලේ රාළ මාලිගාවට කැඳවා තම අගමෙහෙසිය සුව කර දෙන ලෙස නියෝග කර ඇත. එම වගකීම දීගල්ලේ රාළ භාර ගැනීමෙන් අනතුරුව දෙවියන්ගේ ආශීර්වාදය සමගින් අගමෙහෙසිය සුවය ලබා තිබේ. එයින් සතුටු වූ රජතුමා කබලෑව ගම් වරය සමගින් කබලෑ දෙවිඳුට ආවතේව උදෙසා කුල හයක් කබලෑවට එවන ලද බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කබලෑවේ ගම්වරය ලබාදුන්නේ මෙම කුල හත පදිංචි කිරීම සදහා ය. ඉහත පෙන්වාදුන්නා සේ වතාවත් සැපිරීමට වීදුරු පාත්‍රයක්, රිදියෙන් තැනු පුවක් මලක්, රන් පන්හිදක්, ඇත්දත් ජෝඩුවක් සේම වදින දෙවියන්ට බත සැපයීමට මෙම කෝවිල කුඹුර දේවාලය ආසන්නයේ ම වැව, කමත, ගොඩ ඉඩම සහිත ව පුදදුන් බව කියැවේ. මෙම සම්මතය නිසා ම කබලෑවේ ගම්වරය හිමි වූ දේවාලයේ ප්‍රධාන දේවගැති තැන පසුකාලීන ව ගම් විදානේ තනතුර හොබවා ඇත. එම නිසා ඓතිහාසික පසුබිම තුළ සියවස් කිහිපයක් ගමමෙහි මුලාදෑනින් හෙවක් විදානේ හැටියට ම කටයුතු කරමින් දේවාල කටයුතු කළ නිසා විදානේ යනුවෙන් හැදින්වෙන පිරිස මෙම තනතුර පිරිමසා තිබේ. ඒ බව සකරාජ වර්ෂ 1742 දී ලියන ලද තල් පතකින් ලියන ලද දේවාල තල්පතින් දේවාලයට සිදු වූ භාරයන් නිදහස් කිරීමක් සදහන් කරන ඇපලදෙනියේ පදිංචි අන්දො අප්පු නයිදේ හාමි සාක්ෂි හැටියට තබන්නේ විදානේ තැන සහ ගමේ දේවාලයෙන් පරිබාහිරව බලි ගුරා නමැත්තා ය. මෙසේ සටහන් තැබීම පවා විශේෂයෙන් සැලකිය යුක්තකි.

මේ සමග ම එසේ පැමිණි පිරිස කබලෑ දේවාලය හා කබලෑව ඇසුරු කරගනිමින් දෙවියන්ගේ වතාවත් පූර්ණය කරගෙන තිබේ. පසු ව ඔවුන්ගේ කාර්යභාරය අගයමින් අඹවැව විහාරයෙන් කබලෑ ගම්වරයෙන් දේවාලයට කැප වූ ඉඩකඩම් පරිත්‍යාගය කර තිබේ. එම කුලවලට අනුව දේවාල මංගල්‍යය චාරිත්‍ර පිදවිලි හතක් අන්තර්ගත ව ඇත. මෙම පිදවිලිවලට අනුව මෙම සියලු කුලයන්ට අද ද දේවාලයේ කාර්යභාරයන් පැවරී ඇති අතර මංගල්‍යය අවසානයෙහි ඔවුන්ට එම කාරයයභාරයන් සලකා පුද සඬුරු පරිත්‍යාග කිරීමේ චාරිත්‍ර ඇත. එසේ ම දෙවියන් වෙනුවෙන් පිදවිලි අනුව දෙවියන්ට වෙන් කරනු ලබන ගොටු හතෙන් සමසේ බෙදීයන සේ එම පිදවිලි ගොටු බෙදා දීම සම්ප්‍රදාය යි. අද ද එය අප දේවාලය තුළ සිදු කෙරේ. මංගල්‍යයට පමණක් නො ව සතියේ දින දෙකේ එනම්, සදුදා සහ බ්‍රහස්පතින්දා හැරුණු කොට අනෙක් සියළු දිනයන්හි දී දෙවියන් වෙනුවෙන් ඔවුන්ගේ සේවය සැපයීම එම පිරිස් වෙත පැවරෙන කාර්යයකි. එම කාර්යය නිවැරදි ව ඉටු කිරීම අත්‍යාවශ්‍ය වූ වතාවකි. මෙම සියලු කුල ගෝත්‍ර එකතුව දෙවියන් වෙනුවෙන් කරනු ලබන යාදිනී ඉතා ප්‍රබල වන අතර කබලෑ දෙවියන්ගේ එය ඉතා හොඳින් අසන බවත්, දෙවියන්ගේ පිහිට ඒ ආකාරයෙන් ම ලැබෙන බවත් ඔවුන්ගේ විශ්වාසය යි.

කබලෑව ග්‍රාමය සීතාවක යුගෙන් පසුකාලීන ව පැවතියේ වැඩවසම් ලක්‍ෂණ සහිත සමාජයකි. කබලෑව ගම් වරය සමගින් කබලෑ දෙවිඳුට ආවතේව උදෙසා පැමිණි කුල හයක අය තොවිල් හය ලෙස ජනප්‍රවාදය තුළ අසන්ට ලැබේ. මෙම තොවිල් හය මෙසේ ය. 

  1. නැකති ආවතේව කුලය
  2. වහුම්පුර ආවතේව කුලය
  3. රදා ආවතේව කුලය
  4. ආචිරි ආවතේව කුලය
  5. බඩහැල ආවතේව කුලය
  6. බත්ගම ආවතේව කුලය

නැකති කුළයේ අයගේ කාර්යභාරය වූයේ විහාරස්ථානයේ සහ දේවාලයේ තේවා කටයුතු කිරීම, බෙර දවුල් වාදනය, නක්‍ෂත්‍රය, නැටුම් හා සංගීත කලාව යන අංශයන් ගෙන් ගමට සේවය සැලසීම ය.

වහුම්පුර කුළයට පැවරී තිබුනේ දේවාලයේ මුරුතැන් පිසීම, ගම් වැසියන්ගේ මගුල් තුළාවල දී කත් ගෙන යාම වැනි වගකීම් ය. මොවුන් පැණි හකුරු කර්මාන්තයේ ද යෙදී සිටි බව පෙනේ.

රදා කුළයේ අය විහාරස්ථානයේ පිංකම්වල දීත්, දේවාලයේ මංගල්‍ය අවස්ථාවල දීත් පිරුවට සැපයීම මගුල් තුලාවල දී පාවාඩ දැමීම හා පිරුවට සැපයීම, වැනි සේවාවන් කළහ.

ආචිරි කුළයේ වගකීම වූයේ දේවාලයට ආභරණ තනා දීම, සිත්තර ඇඳීම හා පිළිම නෙලීම හා ගම් වාසීන්ගේ ගෙවල්වලට හා කුඹුරු වැඩට අවශ්‍ය ආයුධ තනා දීම හා ඒවා පණ පෙවීම වැනි නඩත්තු කටයුතු ද ඔවුන් අත සිදු ව ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් පසු කාලයේ වෙදකම, කට්ටඩිකම, වැනි සේවාවන් ද කළහ.

බඩහැල හෙවත් කුඹල් කුළයේ වගකීම වූයේ දේවාලයට අවශ්‍යය කරන ආභරණ කරඬු සකස් කර දීම, මුරුතැන් පූජාවට හා කිරි ඉතිරීමටත්, අනෙක් වතාවත් සදහාත් අවශ්‍ය කරන වලං සකස් කර දීම මෙන් ම ගම් වාසීන්ට අවශ්‍ය කළ හැලි වලං සාදා දීම ය. මුලින් ගමේ පදිංචි ව සිටි මෙම කුළයේ අය මැටි ලබාගැනීමේ පහසුව පිණිස පසුව දීගල්ල වලං ගංගොඩේ පදිංචියට ගිය බව කියනු ලැබේ.

බත්ගම කුලයේ අය දේවාල පෙරහැරවල කොඩි රැගෙන යාම, දේවාලයෙහි ආරක්‍ෂා කටයුතු වෙනුවෙන්  සහභාගී වීම, ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම ආදිය ඇතුලත් ය. ජන වංශයේ මෙම කුලය හඳුන්වන්නේ බොහෝ දුරට කුලී ශ්‍රමිකයන්ගෙන් සමන්විත කුලයක් ලෙස යි.

මෙම කුල හයත්, අනුමැති රාළ නියෝජනය කරන අනුමැති පිදවිල්ලත් සහිත කුලයත් සමඟ මෙම කුල හත එදා මෙදා තුරු දේවාලයෙහි සේවාවන් වෙනුවෙන් බැඳී පවතී. මෙම දේවාලයට ආවේණික කුල ක්‍රමය හරහා පිදවිලි හතක් ක්‍රියාත්මක වේ. කුලයන්ට අදාල ව මෙම පිදවිලි හත නම් කර ඇති අතර දෙවියන් උදෙසා දිනපතා, සතිපතා, වාර්ෂික චාරිත්‍ර වෙනුවෙන් මෙම අය එකතු වීම දෙවියන්ගේ අපේක්‍ෂාව බව පිළිගැනීම යි. අනුමැති රාළ මුල් වෙමින් මෙම සියලු කුළ නියෝජනය වෙනුවෙන් කබලෑ සිද්ධ සූනියම් දෙවියන්ට පිදවිලි පූජාවන් පැවැත් විය යුතු ය. කබලෑ සිද්ධ සූනියම් දෙවියන් උදෙසා සියලූ ම අවශ්‍යතා සම්පූර්ණ වන පරිදි හා සියලු දෙනාට ගෞරවය ඇති වන පරිදි මෙම කුළ නියෝජනය වේ.

අරලියා ගහේ අරහන්තය සහ ගල් පහන

රාජපද්ම සිල්වත් තැන නොහොත් අඹවැව සිල්වත් රාළ බ්‍රහ්මචාරීවරයා පත්තිනි දේව මෑණියන්ගේ සිහිපත් කිරීමෙන් අනතුරුව අඹවැව පැවති ස්ථානයට පැමිණෙන විට එම ස්ථානයේ බෝගසක් සහ අරලියා ගස් හතක් පැවති බව ජනප්‍රවාදයේ එයි. යකු දේවත්වයට පැමිණීමෙන් අනතුරුව පැමිණි වසංගතය මුල්කරගනිමින් එම වසංගතය දුරුකර ගැනීම උදෙසා ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දෙවියන්ගෙන් කරන ලද ඉල්ලීම ඉටුවීමෙන් අනතුරුව සතුටු වූ ගම්වැසියෝ බෝධීන් වහන්සේ අසල දේවාලය ද පසු ව ප්‍රධාන අරලිය ගහ අසල දෙවියන් උදෙසා ප්‍රධාන පහන් පැල ද ඉදිකළ බව සදහන් වේ. පසුකාලීන ව අරලිය ගස එම ස්ථානයෙන් ඉවත් වී ගිය ද එම ස්ථානය හැදින්වීමට ‘‘අරලියා ගහේ අරහන්තය” යන නම එයට භාවිතා කොට ඇත. එම අරලියා ගස් පරපුරේ එක ගසක් ද අද ද දක්නට ලැබේ.

(අරලියා ගහේ අරහන්තය සහ ගල් පහන)

(අරලියා ගස් පරපුරේ අද ඇති අරලිය ගස)

(අරලියා ගස් පරපුරේ අද ඇති අරලිය ගස)

රදා ආවතේව කුලයේ රදා තොට නොහොත් ගල්වාන

ඓතිහාසික කබලෑ මහා දේවාලයේ තේවා කටයුතු භාරවන ප්‍රධාන කුලයක් ලෙස රදා ආවතේව කුලය හැඳින්වෙයි. ඔවුන් අතින් සිදුවූයේ දේවාලයයේ උඩු වියන් බැඳීම, පාවඩ දෑමීම ආදී මූලික ක්‍රියාවලීන් ය. දෛනික ව සුදුපිරුවට හා සැබැදි මූලික ක්‍රියාවන් දේවාලයේ වූ නිසා නියමිත දේවාල කාලවල දී ඒ අය සම්බන්ධ වීම අනිවාර්යෙන් ම සිදු වූ බව පෙනේ. දෛනික තේවා කටයුතුවල සිට මහා මංගල්‍යය හා පෙරහර ආදී දේවාලයේ සියලු වාර්ෂික චාරිත්‍ර දක්වා ම මේ අයට එම කර්තව්‍යයේ වගකීම පැවරිණ. එසේ ම විහාරස්ථානයේ විශේෂ පිංකම් අවස්ථාවල දී ද සුදුපිරුවටවල අවශ්‍යතා ව මනාව පූර්ණය කිරීමේ වගකීම ද මෙම අය අතින් ම ඉටුකිරීම අනිවාර්ය විය. මේ අයට විහාරස්ථානයේ සුදුපිරුවට සැපයීමේ ආගමික අවශ්‍යතා කාලාන්තරයකින් යෙදෙන නිසා දේවාලය ප්‍රධාන කරගෙන මේ අයගේ දිවිපෙවෙත පැවතියේ ය. මෙසේ දේවාලයේ හෝ විහාරස්ථානයේ අවස්ථාවෙන් අවස්ථාවට යොදාගත් සුදුපිරුවට පිරිසිදු කිරීමේ වගකීම ද පැවරුණේ මෙම ආවතේව කුලයට ම වේ. ඒ සඳහා යොදාගත් ස්ථානය ‘‘රදා තොට නොහොත් ගල්වාන” ලෙස හැඳින්වේ.

(රදා ආවතේව කුලයේ රදා තොට නොහොත් ගල්වාන)

මෙම ගල්වාන ස්වභාවික ලෙස නිර්මාණය වූවක් වන අතර යම් තැනක ගල් කැබිලි සිර කොට බේසමක් ආකාරයෙන් සාදාගෙන ඇති බව පෙනේ. එසේ සිදුකර ඇත්තේ මෙම සුදුපිරුවට සේදීමේ පහසුව උදෙසා ය. අද වන විට මෙහි වතුර ගලාගෙන යාම යම් සීමාවක පැවතිය ද ආසන්න කාලයක් නිරතුරුව ම මෙහි වතුර ගලාගෙන යාම දැක ගැනීමට හැකි විය. මෙම අවට ප්‍රදේශය තුළ විවිධ සංවර්ධනය ද ජල මුලාශ්‍රය හිග වීම ද මීට හේතු වන්නට ඇත. සුදුපිරුවට සේදීම සදහා යොදාගන්නා රදාතොට නොහොත් මෙම ගල්වාන දෙස බලන්නෙකුට පෙනෙන්නේ මනා නිමාවක් මෙම ස්ථානයෙනි දක්නට ලැබෙන අකාරය යි. ඉහළ සිට කාලාන්තරයක් ජලය ගලායාම නිසා ස්වභාවික ලෙස සෑදුනු තැනක් ලෙස මෙය නිර්මාණය වී ඇති බව දක්නට ලැබෙන අතර දේවාලය ඇතුලු අවට අඹවැව ඇතුළු වැව් හතක් පැවතිය ද ඒ කිසිදු වැවකින් ඉතිහාසයේ සුදුපරුවට සේදීම සිදුකළ බවට කිසිදු තොරතුරක් දැනගන්නට නැත. ඒ අනුව පෙනෙන්නේ ගලා යන දිය දහරක පමණක් දේවාලය හා සම්බන්ධ සුදුපිරුවට සේදූ බව හදුනාගත හැකි ය. එසේ සිදුකිරීමට ප්‍රධානත ම හේතුව බවට පතිවන්නට ඇත්තේ පිරිසිදුකම විය යුතු ය.

මෙම ගල්වානෙන් දේවාලයේ තේවා කටයුතු සඳහා භාවිතා කරන උඩුවියන්, පාවඩ දේවාලයේ ආවතේව කරන රදා ආවතේව කුලයේ සුවිශේෂී වූ කාන්තාවක් විසින් රැගෙන ගොස් එම සුදුපිරුවට සේදීම සිදුකරයි. කාන්තාවන්ට දේවාලයේ ආවතේව කටයුතු වෙනුවෙන් ඉඩ කඩක් උරුමව නැතත් මෙම අවස්ථාව වෙනුවෙන් කාන්තාවකට මේ සදහා විශේෂ ඉඩක් ලැබේ. එම නිසා ම වාර්ෂික දේවාල මංගල්‍යය අවස්ථාවක් ඇතුළු ව දේවාලයේ මණ්ඩපයේ උඩුවියන් බැද පයට පාවඩ එලා වාතාවතක් සිදුවන ඕනෑ ම අවස්ථාවක පැමිණෙන පිරිමි බැතිමතෙකුට වුවත් යම් සීමාවක් පැමිණියත් ‍රදා ආවතේව කුලයේ උඩුවියන්, පාවඩ සෝදන කාන්තාවට මණ්ඩපය ඇතුළත එකත්පස ව සිටීමට අවසරය ලැබේ. මණ්ඩපයෙන් ඉවත් කිරීමට හෝ එසේ කිරීම වැරදියි කියා හෝ පෙන්වීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේ. එසේ ඉවත් කිරීමට යමෙක් උත්සහා කළහොත් දෙවියන්ගේ උඩුවියන්, පාවඩ සෝදන මට කාගෙන්වත් අවසරයක් මොකට ද? යනුවෙන් පවා විමසීමට ඈට අවසරයක් ඈ ලබා සිටී. එය මෙම කාන්තාවට ලැබෙන විශේෂ වූ භාග්‍යයකි.

මෙම ගල්වානෙහි දුර දේවාලයෙහි මහා මණ්ඩපයට සමාන බව දැක්වේ. ඊට හේතුව උඩුවියන් සේදීම පහසුවෙන් සිදුකිරීම නිසා ය. බැලූ බැල්මට මෙහි ස්ථර කිහිපයක් දිස්වෙයි. පළමුව දේවාලයේ සුදු පිරුවට ද දෙවනුව සුදුපිරුවටවලට අමතර ව කපුමහතුන් සිය දේවගැති කාර්යේ දී තේවා වෙනුවෙන් පරිහරණය කරන ඇඳුම් ද ඉන් අනතුරුව ගොවිගම කුලයේ වස්ත්‍ර ද පසුව අනෙක් ආවතේව කුලයන්හි වස්ත්‍ර වෙනුවෙන් ද ඒ ඒ ස්ථානවල භාවිතා වූ බව සඳහන් වේ. කෙසේ නමුත් දේවාලය හා සබැදි තේවා වෙනුවෙන් වෙන් වූ වස්ත්‍ර සෝදා අවසන් කළ පසු අනෙක් කටයුතු වෙත අවධානය යොමු කරයි. මෙලෙස අවධානය යොමු කිරීමේ දී පෙනෙන්නේ සියලු දෙනාගේ ම වස්ත්‍ර සේදීමට ද පොදුවේ අවස්ථාවක් මෙහි අවසන් ස්ථරයට හිමි වූ බව යි.

ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දෙවිඳු වෙනුවෙන් සිය තේවා කටයුතු මනාව පිරිමසාලීමට මෙම අවතේව කුලයේ අය කටයුතු කර තිබේ. මෙම රදාතොට නොහොත් ගල්වාන තුළ පෙනෙන්නේ අවතේව කුලයන්ගේ කාර්යයභාරය යි. මෙම ස්ථානය කබලෑ මහා දේවාලයේ අනන්‍ය වූ පරිසරය තහවුරු කිරීමට සමත්වෙයි.

රජවාසලෙන් හමු ත්‍යාගවලට මොකද වුණේ….?

පෘතුගීසින් වර්ෂ 1505 දී මෙරටට පැමිණියේ ය. එසේ පැමිණීමෙන් අනතුරුව ඔවුන් වර්ෂ 1505 සිට 1658 වන තෙක් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ බව දැක්වේ. මොවුන් ඇති කළ ආගමික පසුබිම සැමවිට ම සිංහල ජාතිය සහ එම ජනතාව අතර නිරතුරු ඝට්ඨන ඇති කිරීමට හේතු විය. ඒ අතර බුදුදහමට වූ විවිධ, විෂම පීඩනයන් නොයෙක් අකාරයෙන් ඒ ඒ තැන හදුනාගැනීමට අවකාශය ලැබේ. උතුම් දළදා වහන්සේට පවා එම හිරිහැර මුහුණ පාන්නට සිදුවීමෙන් ම ඒ බව තහවුරු කරගත හැකි ය. එම නිසා ම භික්ෂූන් වහන්සේලාට දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂිත ස්ථානයකට රහසේ ගෙනයන්නට පවා සිදු වූ බව වාර්තා වේ. එවැනි කරුණු මත බෞද්ධයන්ට ඇති වූ පීඩනය කෙතරම් ද යන්න විෂද වේ.

පෘතුගීසීන් විනාශ කළේ කැළණිය රජමහා විහාරය ඇතුළු ඓතිහාසික විහාරස්ථාන පමණක් නොවේ. ප්‍රධාන දේවාල ද ඒ අතර විය. විනාශ වූ දේවාල පිළිබද ව සලකා බැලීමේ දී නවගමුව පත්තිනි දේවාලය, දෙවුන්දර විෂ්ණු දේවාලය මුන්නේෂ්වරම් දේවාලය ආදිය හදුනාගැනීමට අවකාශය ලැබේ. මුන්නේෂ්වරම් දේවාලයට පෘතුගීසීන් පැමිණීමත් සමග ක්‍රමික ව මාදම්පේ ආදී ඒ හා සම්බන්ධ ප්‍රදේශ රාශියක් මොවුන් යටතට පත්වීමේ අවධානමක් ඇති වී තිබේ. මන්ද මාදම්පේ වරාය කේන්ද්‍ර කරගනිමින් දුම්මලසූරිය හරහා ගල්පලා නුවර නොහොත් ගල්පොල දෙසින් කබලෑවටත්, ඒ හරහා නිකවැරටිය දෙසටත්, අනිත් පැත්තෙන් කුරුණෑගල ඇතුළු මහනුවර මෙන් ම තදානුබද්ද ප්‍රදේශ ගණනාවක් ආවරණය වනසේ දිවෙන මාර්ග රාශියක් පැවතීමත් නිසා ය. ගම්පොළ යුගයේ වඩිග යකු සිර වී සිටි පොත මැති, ඇමති, රජපුරුෂයන් පැමිණෙන්නේ ද දෙවුන්දරින් මාදම්පෙටත්, එයින් දුම්මලසූරියෙන් ගල්පොලත් හරහා ය. මෙසේ සත්කෝරළය දෙසටත් ඔවුන්ගේ පැමිණීම අවස්ථා කිහිපයක දී සිදු වූ බව විවිධ තොරතුරු මතින් හදුනාගැනීමට අවකාශය ලැබේ. ඒ අතර ගින්මාන්දාවල, කබලෑව, මූණමල්දෙනිය ආසන්නයේ බුජ්ගමුව ඔයෙන් එපිට ඇති පරංගිගල ආදි බොහෝ ස්ථාන දැකගත හැකි ය. මේ හරහා පරංගි පැමිණි බවට තොරතුරු රාශියක් අවධාරණය කරගැනීමට අවකාශය ලැබේ.

අද ද පෘතුගීසීන් විසින් මෙම කබලෑ පළාතේ සිටි බවට විවිධ සාධක පවතී. ඒ අතර ඉඩම්වල ඔප්පු තුළින් ඒ බව හඳුනාගත හැකි ය. එයට උදාහරණයක් ලෙස මඩම් ගොඩැල්ල යනුවෙන් හඳුන්වන ඉඩමක් තිබේ. එහි පෘතුගීසීන් ගැහැනුන් නවතා නවතැන් ගත් ස්ථානයක් ලෙස හඳුන්වනු ලැබේ. අද ද එම ප්‍රදේශය තුළ යම් යම් භාණ්ඩ, පැරණි ගඩොල් ආදිය මුණ ගැසේ. දේවාලයේ සිට මීටර් 100 ක් පමණ දුරින් මෙම ස්ථානය පිහිටා තිබේ. මොවුන් පැමිණි මාර්ගවල මුණ ගැසෙන යම් යම් පුරාවිද්‍යාත්මක සාධක ද ගවේෂණාත්මක ලෙස ගලපා බැලීමේ දී ද මේ හා සැබැදි බොහෝ කාරණා අවධානයට හසු කරගැනීමට හැකි ය.   

මෙසේ ඔවුන් මුහුදුබඩ පළාත්වල සිට දුම්මලසූරිය හරහා ගලපලානුවර නොහොත් වර්තමාන ගල්පොල ගම්මානයේ පැත්තෙන් කබලෑවට පැමිණීමට ඔවුන් උත්සාහ කර ඇති අතර මුන්නේෂ්වරම් ආදී දේවාල වෙත සිදු වූ ඛේදනීය තත්ත්වයන් එහෙ මෙහෙ යන පුද්ගලයන් (වෙළදුන් ආදී සංචාරයේ යෙදෙන පුද්ගලයන්) අත දසත විහිදී ගියේ ය. මුන්නේෂ්වරම් දේවාලයට දෙවතාවක් ම මෙම අභියෝගයන්ට මුහුණ පෑවේ ය (අද දිවෙන මාර්ගවල දුර සලකා බලන විට ද 35KM පමණ දුරක් දක්නට ලැබේ. මෙහි දක්වන මාර්ගය ඊටත් වඩා ආසන්න මාර්ගයක් වී ඇති බව සිතිය හැකි ය). එයින් දේවාල භූමියට සේ ම දේවාලයේ ඇති ඓතිහාසික වටිනාකම් ඇති සම්පත්වලට සිදු වූ විනාශය හා ඒ ඒ වටිනා සම්පත් පැහැර ගැනීම නිසා සිදු වූ හානිය ද දසත විහිදී ගිය කටකතා අතර ප්‍රධාන විය. මෙවැනි තත්ත්වයක් අසන්නෙකුට හදවත කම්පා කළේ ය.

ඉහත මෙවැනි පසුබිමක් තුළ ඓතිහාසික කබලෑව මහා දේවාලයට ද යම් ප්‍රහාරයක් දියත් විය හැකි බව එවකට මෙහි වගකීම දරන්නන්ට වැටහී ගියේ ය. එවැනි පසුබිමක් කල්තියා ම ඉවවැටුණු අප මුතුන්මිත්තෝ මෙම අවස්ථාවේ දී දෙවියන්ගේ වතාවත් වෙනුවෙන් රජවාසලින් සේ ම යුගයෙන් යුගය, පරම්පරික පූජනීය වස්තූන් පරංගි අතට පත්වුවහොත් තමන්ට කිසිසේත් එය දරාගැනීමට නොහැකි වීමත්, තම අනාගත පරම්පරාවන්ගෙන් එල්ල විය හැකි දෝෂදර්ශය නිසා ද රජවාසලින් උරුම වූ තේවා භාණ්ඩ, දේවාලයේ එවකට ආරක්ෂා වූ රන් ආභරණ සැඟවීමට දේවාලයේ එවකට භාරකරුවන් ලෙස ඔවුන් කටයුතු කර තිබේ. පෘතුගීසීන්ගේ සංක්‍රමණය කබලෑව දෙසට සිදුවෙන බව දැනගත් මෙහි එවකට භාරකරුවන් මෙම කටයුක්ත කඩිනමින් කිරීමට අදහස් කළේ ය. ඔවුන් දෙවියන්ට කන්නලව් කරමින් මෙය අනාගතයේ දේවාලයෙහි හා භූමියෙහි පැවැත්ම වෙනුවෙන් සිදුකරන ක්‍රියාදාමයට කාලය හා අවස්ථාව ලබාදෙන ලෙස කබලෑ දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ ය. පසු ව එම ආභරණ වතාවත් කරමින් දේවාලයෙන් බටහිර දෙසට වන්නට තැන්පත් කළ බව සදහන් වේ. එහි ආභරණ තැන්පත් කිරීමට දින හතක් පමණ ගත වූ බව ජනප්‍රවාද කතාවන් තුළ අදහස වන අතර මෙම තැන්පත් කිරීම සිදු වන තුරු කබලෑ දෙවිදුන්ගේ හාස්කම් විදහාපාමින් පෘතුගීසීන් කබලෑට ඇතුළුවීමට අවස්ථාව නො ලැබී ය. ඊට හේතුව වූයේ ඔවුන් බඹර ප්‍රහාරයකට හා විවිධ පීඩාවන්වලට ලක්වීමත් ය. දිනක දී කබලෑවට ඇතුළුවීමට ඔවුන්ට අවස්ථාව තිබුණත් දින හතක් යනතුරු ඔවුන්ට මෙම ව්‍යසනය මගහැර කබලෑවට ඇතුල් වීමට ඉඩකඩ නො ලැබුණු බව සදහන් වෙයි. නිසි ක්‍රියාදාම ඉටුවීමෙන් අනතුරු ව ක්‍රමානුකූල ව භාණ්ඩ දේවාලය තුළ පැරැන්නන් විසින් තැම්පත් කර ඇත.

මෙම කරුණු සලකා බැලීමේ දී පෙනෙන්නේ පැරැන්ණෝ මෙම රාජවාසලින් ලෑබු ප්‍රධාන ආභරණ සම්බන්ධ ව ඉතා ම වගකීමෙන් කටයුතු කර ඇති ආකාරය යි. මෙම ලැබුණු සියල්ල දේවාලයේ තැම්පත් කරමින් ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවා විෂයෙහි ප්‍රධාන කුල හයෙහි දායකත්වය සමගින් කපුමහතුන් විසින් ඒ ඒ අවස්ථාවන්හි වතාවත් ඉටු කර තිබේ. අප මුතුන්මිත්තන් දිවිහිමියෙන් දේවාලයෙහි වතාවත් ඉටුකරීමට බැදි ඇති අතර ඒ වතාවත් ඉටුකිරීම වෙනුවෙන් යොදාගන්නා ආභරණ ආදි සියලු වස්තූන් මනාව ආරක්ෂා කිරීමට ද ඔවුන් කටයුතු සිදුකර ඇත. එම නිසා රජවාසලෙන් ලැබුණු ආභරණවල ආරක්ෂාව උදෙසා අනාගතය තුළ සිදු වූ අවධානමක් දැක ඇත්දත් කුට්ටම හැර අනෙක් සියලු ආභරණ දේවාල ගලෙහි නිදහන් කළ බව දැක්වේ. ඒ නිදහන් කළ බව තහවුරු කිරීමට දේවාල ගලෙහි නිදහන් සැලැස්ම ද සලකුණු කර ඇත.

(අදත් දැකගත හැකි දේවාල නිදහන් සැලැස්ම)

මෙම නිදහන් සැලැස්ම විශේෂ ආකාරයකට සකස් කර තිබේ. අගල් 3 ක පමණ කුඩා කොටුවක සිට එම කොටුව යළි වට වන සේ අගල් 5 ක පමණ කොටුවකි. නැවතත් එම කොටුව ද වටවන සේ අගල් 7 පමණ කොටුවකින් යළිත් වට වී තිබේ. මෙසේ වට වූ ඒ ඒ කොටුවල සම්බන්ධතාවය වෙන්වනසේ සටහන් කර ඇත. මුළින් ම ඇති අගල් තුනක පමණ කොටුවෙහි අඩ අශ්ව රූපයකි.

මෙම සැලසුම පිළිබද ව සලකා බැලීමේ දී මෙම නිධන් කටයුතු සිදුවන අවස්ථාවේ දැනට පවතින පෞරාණික පිළිමය නොතිබූ අතර ආරම්භය සේම බෝධීන් වහන්සේ අසල අතු සෙවිලි කළ මැටි ගා සකස් කළ වෙන් වූ දේවාලාභ්‍යන්තරයෙහි කිසිවෙකුට නොපෙනෙන සේ ඉතා ම රහසිගත ව එවකට වගකීම් දරන්නමන් මෙම ක්‍රියාදාමයෙහි යෙදී තිබේ. විශේෂයෙන් ම දේවාලය ඉදිවිය යුතු ආකාරය ද මෙම සැලැස්මෙන් ඉගිකර ඇත. මෙය පාදක කොටගෙන විහාරාධිපති වේයංගොඩ අත්ථදස්සි හිමිපාණන් වහන්සේගේ කාලයේ දී අද තිබෙන රාජ ඔඩ්ඩිස දේවප්‍රතිමාව ඉදිකර තිබේ. මෙම සැලැස්මෙහි දක්වන ආකාරයට මැද කොටු‍වෙහි අඩ අශ්ව රූපය එම දේවප්‍රතිමාව එම ස්ථානයේ ඉදිකිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ. මෙම සැලසුමෙහි අන්තර්ගතය අද ද කපුමහතුන් සිය කන්නලව්වල දී සිහිපත් කරමින් මෙහි ආශීර්වාදය මෙම ඓතිහාසික දේවාලයෙහි වන්දනාමානයට පැමිණෙන බැතිමතුන්ට සමීප කිරීම සිදුවෙයි. එම අකෘතිය කන්නලව් වෙත ඇතුලත් වී ඇත්තේ මෙසේ ය.

“පොත් ගුල් සතරකට, නිදහන් හතරකට, රන් පන්හිදමකට, විදූරු (පලිගු) පාත්‍රාවකට ඇත්දත් කුට්ටමකට, මේ හිමි මාලිගාවකට දිවැස් බලා…….’’

රජවාසලින් ලැබුණු භාණ්ඩ අතරෙහි තිබූ ඇත්දත් කුට්ටම නිදහන් නොකළ අතර එසේ ලැබුණු ඇත්දත් කුට්ටමේ විශාලත්වය සම්බන්ද ව කරුණු කිහිපයක් සදහන් වේ. මෙය වඩු රියනකුත් තුන්ගුලක් ලෙස සැලකේ. පෘතුගීසීන් ඇත්දත් පැහැරගැනීමට ප්‍රබල දක්ෂයෝ වූහ. එම නිසා ඔවුන් නිරතුරුව ම ඒවා තිබෙන තැන් පිළිබද විශේෂ අවධානයකින් කටයුතු කර තිබේ. අප මුතුන් මිත්තන් ද ඒ පිළිබද විශේෂ අවධානයකින් යුක්ත වූ අතර ඔවුන්ගේ මෙවැනි පැහැර ගැනීම් ගැන සලකා බැලුවේ ය. ගලක් යට ඇත්දත් නිදහන් කිරීම ප්‍රායෝගික ක්‍රියාවලියක් නොවේ. එය තේරුම්ගත් අප මුතුන් මිත්තෝ පෘතුගීසීන් ඇත්දත් කුට්ටම පැහැරගෙන යනු ඇතැයි විශ්වාස කරමින් මුලින් ම එය සගවා තැබුවේ ය. පසු ව පෘතුගීසීන්ගේ ආක්‍රමණ පහව ගිය පසු යළිත් මෙවන් උවදුරු පැමිණීමට ඉඩකඩ ඇති බව වටහාගත් අප පැරැන්ණෝ මෙම ඇත්දත් ජෝඩුවෙහි ටිනාකම අවතක්සේරු කරනු වස් එයින් බුදුපිළිම නිර්මාණය කිරීමට තීරණය කළේ ඒවා පෘතුගීසීන් ඇතුළු පසුකාලීන ව සොරුන්ට ඒවා ඇත්දත් පැහැරගෙන ගියත් ඵලක් නොවන නිසා ය. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු වූ තථාගතයන් වහන්සේගේ බුද්ධ රූපය කොපමණ වටිනා දේ වුවත් ඒ තුළින් නිර්මාණය කිරීම භාග්‍යවතුන් වහන්සේට කරන ගෞරවණීය පූජෝපහාරයක් ලෙස ද අප පැරන්ණෝ සලකා ඇත. එම නිසා ඇත්දත් දෙක ම භාවිතා කරමින් බුදු පිළිම හතක් ද, බෙහෙත් මංජුසාවක් ද, කුඩා ධාතු කරඩුවක් දෙකක් ද නිර්මාණය කීරීමට ඔවුන් කටයුතු කර තිබේ. ඒවා ද පැරන්ණෝ ම විහාරස්ථානයේ සුදුසු තැන ආරක්ෂා පිණිස තැම්පත් කර ඇත.   

(මෙවැනි බුදුපිළිම සකසා තැම්පත් කර ඇති බව සදහන් වේ – ඡායාරූපය අන්තරජාලයෙනි)

ඉහත මෙම සියලු කරුණුවලින් පෙනෙන්නේ කබලෑවේ ඓතිහාසික දේවාලය තුළ ගොඩ නැගි ඇති ඓතිහාසික තත්ත්වය යි. මෙමඟින් දේවාලය හා ඒ වටා ගොඩනැගි පවතික පෞරාණිකත්වය ඉතා පැහැදිලි ය. සියලු නින්දගම්වල බලය කබලෑව සතු වන බව හා මෙය මුල් ස්ථානය ලෙස දැක්වෙන්නේ කබලෑ සිද්ධ සුනියම් ගම්භාර දෙවියන් දේවත්වයට පත් වීම ආදි කරුණු නිසා ය.