ඓතිහාසික කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම රජමහා විහාරය

සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් පුරාණ මහා දේවාල පූජාභූමි ප්‍රදේශය

ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය

ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරය වර්ෂ 300ට එපිට ලිඛිත ඉතිහාසයක් පවතින ඓතිහාසික විහාරස්ථානයකි. ජනප්‍රවාදයෙන් ගම්පොල රාජ්‍ය යුගය වන තෙක් දිවය යි. විහාරාධිපතීන් වහන්සේලා දස නමකට වඩා අධිපතිත්වය දැරූ බවට පැහැදිලි වූ සාක්‍ෂි මෙම විහාර භූමියෙන් හඳුනා ගැනීමට අවකාශය ලැබේ.

ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය

ලංකාවෙහි ඇති කබලෑ දේවාල අතුරින් කබලෑ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන්ට පමණක් ඇප කැප වූ පළමු හා එක ම දේවාලය මෙය යි. මෙහි ප්‍රධානත ම දේව මාලිගය වෙන් වන්නේ මෙම කබලෑ දෙවියන්ට ම පමණක් වන අතර කබලෑවට ම ආවේණික දේව ප්‍රතිමාවකින් මෙම භූමිය අලංකාර වී ඇත.

සිද්ධ කබලෑ, මුල් සූනියම් දේවතාවුන් වහන්සේ

කබලෑ දෙවිඳුගේ උපත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එය ඓතිහාසික භාරතය වන තෙක් ම දිව යනු පෙනේ. මොහුගේ එම ඓතිහාසික කතාව ආත්ම වශයෙන් එකිනෙක බැඳී පවති. යක්ෂයා වන්නට පෙර ලබා තිබූ මනුෂ්‍ය ජීවිතයෙහි සිදු වූ ක්‍රියාකාරකම් ඔහුගේ සංසාරික ගමන වෙනත් මගකට යොමු කරන්නට හේතු විය.

ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය

කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කුලියාපිටිය බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් පෞරාණික බෞද්ධ පූජනීය ස්ථානවලින් එකකි. කබලෑව, ඇඹව පුරාණ ගම්මානයක් වන අතර එය ජනාවාස වූ අවධියේ ම වාගේ පන්සල ආරම්භ කරන්නට ඇත. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කබලෑව, ඉහළ ඇඹව ග්‍රාමසේවා වසමෙහි මෙම ඓතිහාසික කබලෑව, අඹවැව් වෙහෙර (වර්තමාන ශ්‍රී සුධර්මාරාම මහා විහාරය) සහ කබලෑව, ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය පිහිටා ඇත. අද ද මෙම විහාරස්ථානය කුලියාපිටිය ප්‍රදේශයේ ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා දේශපාලන ක්‍ෂේත්‍රයන්හි කේන්ද්‍රස්ථානයකි.

විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

පූජ්‍ය ඉරුදෙනියායේ සිරිරතන හිමි

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සහාකාර කථිකාචාර්‍ය, විද්‍යා විනොද මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති
ශාස්ත්‍රපති

 

ඓතිහාසික කබලෑව, ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය

මෙම කබලෑව, ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය ලංකාවේ ප්‍රථම දේවාලය වන්නේ වඩිග හෙවත් කබලෑ යකු දේවත්වයට පත් මුල් ස්ථානය වීම හා කබලෑ සිද්ධ සූනියම් දෙවියන්ට පමණක් ම වෙන් වූ ලංකාවේ එක ම හා පළමු දේවාලය මෙය වීමත් නිසා ය. ඓතිහාසික වශයෙන් ගොඩනැගුණු චාරිත්‍ර ධර්ම පද්ධතියක් ඇති වර්ෂ 265ක ලිඛිත ඉතිහාසයක් ඇති ගම්පොල රාජ්‍ය යුගය වන තෙක් ජනප්‍රවාදයෙන් දිවයන මෙය ඉතා ම ඓතිහාසික භූමියකි.

වර්තමාන දේවගැතිවර

ගංගානාත් වීරක්කොඩි මැතිතුමා

සංස්කෘතික අමාත්‍යාංශයේ විශේෂ නර්තන ඒකකයේ හිටපු ජ්‍යෙෂ්ඨ වාදන හා රංගන ශිල්පි සහ උපදේශක, නර්තන ධජ, දේශකීර්ති, සමාජ ධජ, නර්තන කලාවේදී, ලංකා වීරපුත්‍ර

විස්තර

විහාර භූමිය

විහාර භූමිය තුළ පිහිටුවා ඇති තුන්බෝධිය එක් තැනක සිටිනා පරිදි භික්ෂූන් වහන්සේට වන්දනා කිරීමට හැකිවන සේ පිහිටුවා තිබීම මෙහි සුවිශේෂත්වයකි. දේවාලයේ සිට කපුමහතාට ද එසේ වන්දනා කිරීමට හැකිවන සේ පිහිටා තිබීම එම සුවිශේෂිත්වය තව තවත් තීව්‍ර කරන්නක් ලෙස පෙන්වාදිය හැකි ය. අතීතයේ සිට ම භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයෙන් මොනයම් අවස්ථාවක පිට ව ගිය ද තුන් බෝධිය එක් ස්ථානයක සිට වන්දනා කිරීම සිදු කරනු ලබයි. එම නිසා මෙම පිහිටීම ඉතා වැදගත් ය.

මහා විහාරය

විහාරයෙහි ආරම්භක ඉතිහාසය ජනප්‍රවාදයට අනුව ගම්පොළ රාජ්‍ය යුගය වන තෙක් ද ලිඛිත ව මහනුවර යුගය වන තෙක් ද දිවය යි. ඒසේ ලිඛිත ව මහනුවර යුගය වන තෙක් අවධානය යොමු කිරීමේ දී සත්කෝරළය හා සබැදි භික්ෂු සමාජයේ සුවිශේෂී සංවර්ධනයක් දැකගත හැකි යුගයකි. එනම් මීට වර්ෂ 270 කට පමණ පෙර ය. මෙම යුගය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ සමය යි. වර්තමානයේ වන විට මෙකී ඇඹව විහාරයෙහි අධිපතිත්වය දරනු ලබන්නේ පූජ්‍ය ඉරුදෙනියායේ සිරිරතන හිමිපාණන් වහන්සේ ය.

මහා දේවාලය

අද වනවිට කබලෑව, ඇඹව දේවාලය විශාල බැතිමතුන් පිරිසකට පිහිටවන මහා දෙවොලක් බවට පත්ව තිබේ. සෙනසුරාදා සහ බදාදා යන කෙම්මුර දිනවල දී මෙන් ම අනෙක් දිනවල දී ද දිවයිනේ නන් දෙසින් බැතිමත්හු මෙහි සැපත් වෙති. අගෝස්තු මාසයේ මහා දේව මංගල්‍යය පවත්වන විට විහාර භූමිය පිරී ඉතිරී යන තරමට විශාල ජන ගංගාවක් මෙහි එක් රොක්වනු පෙනේ. මෙයට හේතුව සූනියම් දෙවියන්ගේ බල පරාක්‍රමය කෙරෙහි ජනතාව තුළ පවතින අචල භක්තිය සහ දේවාලයේ අනුහස් පිළිබඳ ව ඔවුන් තුළ ඇති වී තිබෙන දැඩි විශ්වාසය යි.

කබලෑ පටුන

ගම්භාර සිද්ධ කබලෑ මුල් සුනියම් දෙවියන් පිළිබඳ ව තොරතුරු අන්තර්ගත වන්නේ කබලෑ පටුන නම් පෞරාණික කවි පොතෙහි ය. මෙහි සූනියම් දේවතාවුන් වහන්සේගේ උපත පිලිබඳ ව හා ලංකාවට පැමිණි අන්දම මෙන් ම වඩිග යකු කබලෑ යකු වූ ආකාරය ආදී ශීර්ෂ යටතේ මෙය ලියැවී ඇත. මෙහි අන්තර්ගත යම් යම් ජනප්‍රවාදාත්මක කරුණු තෙලිඟු මන්ත්‍රකරුවන් ඇතුළු ඉන්දියාවේ සිට පැමිණි යම් යම් අයගේ ආවර්ජනා සමගින් එකතු වූ බව දැක්වේ.

කබලෑ දෙවිඳුගේ උපත
කබලෑ දෙවිඳුගේ උපත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එය ඓතිහාසික භාරතය වන තෙක් ම දිව යනු පෙනේ. මොහුගේ එම ඓතිහාසික කතාව ආත්ම වශයෙන් එකිනෙක බැඳී පවති. යක්ෂයා වන්නට පෙර ලබා තිබූ මනුෂ්‍ය ජීවිතයෙහි සිදු වූ ක්‍රියාකාරකම් ඔහුගේ සංසාරික ගමන වෙනත් මගකට යොමු කරන්නට හේතු විය. මුලින් උපත ලැබුවේ තෙලිගු රට වඩිග පුරයේ වඩිග රජුගේ කුමරා ලෙස ය.
හාස්කම්

කබලෑ දෙවියන්ගේ විශේෂ හාස්කමක් ලෙස බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන කරුණක් නම් බොහෝ දුරට රෝගාතුරු වූවන් වෙනුවෙන් කරනු ලබන භාරහාර ඉතා සාර්ථක අන්දමින් ඒ අය නිරෝගි වන බව දක්වති. යම් රෝගයක් නිසා පීඩාවට පත්ව මරණාසන්න අවස්ථාවේ ගතකරනු ලබන්නන් දෙවියන්හට භාරහාර වීමෙන් අනතුරුව නො සිතූ පරිදි රෝගයන්ගෙන් ඉවත් ව නිරෝගි සුවය ලබන බව විශ්වාසය යි.

වාර්ෂික ව සිදු කරන ආගමික කටයුතු

වාර්ෂික ආශිර්වාද පහන් පූජාව සහ දේව දානය

වසරක් ගෙවී නව වසරක් ලබන අවස්ථාවේ දී එම ලබන නව ව්‍යවහාරික වර්ෂය එනම් ජනවාරි පළවැනිදා දින කේන්ද්‍ර කරගනිමින් මෙම ආශිර්වාදාත්මක පහන් පූජාව සිදු කෙරේ. බොහෝදුරට මෙම පිංකම ඉටු කරනු ලබන්නේ පහන් එක්දාස් පන්සීයකට අධික ප්‍රමාණයක් දල්වමිනි

වාර්ෂික සර්වරාත්‍රික පිරිත් දේශනාව පැවැත් වීම

ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දෙවියන්ට සහ රටවාසී, ලෝකවාසී සැමට සෙත් පතා වාර්ෂිකව සෙත් පිරිත්, මහා පිරිත්, තිස්තුන් පැයේ පිරිත් දේශනා පැවැත්වේ. වාර්ෂික ව ජනවාරී මාසය මුල්කරගනිමින් තිස්තුන පැයේ පිරිත් දේශනාවක් සිදුකිරීම විශේෂ වන්නේ නව වර්ෂයක් මුල් කරගෙන සිදුවන නිසා ය.විටෙක මෙම පිරිත් දේශනාව අගෝස්තු මාසයේ දී ද සිදුකෙරේ. එහෙත් දේවාලයේ වාර්ෂික මහා මංගල්‍යයේ දී කටයුතු පහසුවනු පිණිස මහා පිරිතක් වාර්ෂික ව දේවාලයේ අභ්‍යන්තරයේ දී සිදු කෙරේ.

සිල් සමාදන් වීම

සිල් සමාදන් වීම සෑම මසක ම ප්‍රධාන පසළොස්වක පොහොය මුල්කරගනිමින් කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරයේ දී සිදුකෙරේ. මේ සඳහා දෙසියයකට අධික උවැසි උවැසියන් පිරිසක් සිය පොහොය වතාවත් ඉටු කරනු ලබයි

වාර්ෂික ව සිදු කරන සාමාජයීය කටයුතු

වාර්ෂික ගැබිනි මව්වරුන් සඳහා කෙරෙන ප්‍රජා සත්කාරය

අභිනව මව් තනතුරෙන් පිදුම් ලැබීමට බලාපොරොත්තු වන කාන්තාවන් තිස් පහකට (35) අධික සංඛ්‍යාවකට මෙම සත්කෘත්‍යට සිදුකෙරේ. මේ සඳහා ගැබිනි මව්වරුන් තෝරා ගනු ලබන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ මගපෙන්වීම යටතේ ය. මේ සඳහා පෞද්ගලික ව කරනු ලබන ඉල්ලීම් ද සලකා බැලේ. එසේ තෝරා ගැනීමෙන් අනතුරුව ජනවාරි මස දුරුතු පුන් පොහෝ දිනය කේන්ද්‍ර කර ගනිමින් උදෑසන මෙම කටයුත්ත සිදු කෙරේ.

දුෂ්කර ගම්මානවලට ගොස් වියළි සලාක බෙදාදීම

අඩු ආදායම්ලාභී පවුල් වෙත මෙම වියළි සලාක බෙදා දීම සිදු කෙරේ. මේ සඳහා තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ විහාරස්ථානයක ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ග්‍රාම නිලධාරිවරයා හරහා ය. එම කටයුත්ත වසර කිහිපයක සිට ම නොකඩවා සිදු කරන ලදී.

පාසල් දරුවන්ට පොත් ලබාදීම

යම් අවස්ථාවක උත්සවාකාරයෙන් ද තවත් විටෙක දුෂ්කර ළමුන්ගේ නිවෙස්වලට ගොස් මෙම පොත් බෙදා දීමේ ක්‍රියාවලිය සිදු කෙරේ. වර්ෂයක් තුළ ආසන්න වශයෙන් බලාපොරොත්තුව වන්නේ ළමුන් දෙසියකට පොත් ලබාදීමට යි. ළමුන්ගේ අධ්‍යාපනික කටයුතු සංවර්ධනය කිරීම උදෙසා දායකත්වය සැපයීම ලෙස මෙම කටයුත්ත සිදු කෙරේ.

දුෂ්කර ගම්මාන වලට ගොස් පාසල් උපකරණ බෙදාදීම සඳහා ද වර්ෂයෙහි එක් අවස්ථාවක් යොදාගැනේ. පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත වැඩි අවධානයක් යොමු කෙරේ. ඊට හේතුව අභිනවයෙන් පාසල් යාම ආරම්භ කරන දරුවන් වෙනුවෙන් විශාල මුදලක් දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් යෙදවීමට සිදුවේ. ඒ සඳහා නිල ඇඳුම්, පාසල් බෑග්, පොත්පත්, සපත්තු ආදිය සමගින් අවශ්‍ය සියලු උපකරණ බෙදා දෙනු ලැබේ.