හැඳින්වීම

කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කුලියාපිටිය බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් පෞරාණික බෞද්ධ පූජනීය ස්ථානවලින් එකකි. කබලෑව, ඇඹව පුරාණ ගම්මානයක් වන අතර එය ජනාවාස වූ අවධියේ ම වාගේ පන්සල ආරම්භ කරන්නට ඇත. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කබලෑව, ඉහළ ඇඹව ග්‍රාමසේවා වසමෙහි මෙම ඓතිහාසික කබලෑව, අඹවැව් වෙහෙර (වර්තමාන ශ්‍රී සුධර්මාරාම මහා විහාරය) සහ කබලෑව, ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය පිහිටා ඇත. අද ද මෙම විහාරස්ථානය කුලියාපිටිය ප්‍රදේශයේ ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා දේශපාලන ක්‍ෂේත්‍රයන්හි කේන්ද්‍රස්ථානයකි.

ලංකාවෙහි ඇති කබලෑ දේවාල අතුරින් කබලෑ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන්ට පමණක් ඇප කැප වූ පළමු හා එක ම දේවාලය මෙය යි. දෙවිනුවර විෂ්ණු දෙවියන්ට ද, නවගමුව පත්තිනි දේව මෑණියන්ට ද, කතරගම ස්ක්න්ධ කුමාර දෙවියන්ට ද, සීනිගම දෙවොල් දෙවියන්ට ද, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්ට ද වෙන්වෙන්නා සේ මෙම දේවාලය ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවට පමණක් වෙන් වූ එක ම දේවාලය යි. විවිධ අය තම තමන්ගේ ස්ථානවල ඇති දේවාල මුල් ම දේවාලය ලෙස හුවා දැක්වීමට උත්සහා කරනු පෙනේ. එහෙත් එම දේවාල තුළ දේවාල බොහෝමයක් පවත්වමින් විවිධ දේව සමූහයා වන්දනාවට යොමුවෙමින් දේවාල සීමාවේ ම බහුවිධ දේවාල පවත්වමින් එසේ කීම සාධාරණ නොවේ. පහත කරුණු මත මෙම දේවාලය ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවට පමණක් වෙන් වූ මුල් ම දේවාලය ලෙස කරුණු දැක්වීමට අවකාශය ලැබේ.

  1. අද ද මෙම භූමිය තුළ ගම්භාර සිද්ධ සූනියම් කබලෑ දේවතාවුන් වහන්සේගේ ප්‍රධාන දේවාලයට අමතර ව කිසිදු දේවාලයක් ඉදිකිරීමට නොහැකි වීම. යුග ගණනාවක් මෙම එකගතාවය ආරක්ෂා කිරීම.
  1. ගම්භාර සිද්ධ සූනියම් කබලෑ දේවතාවුන් වහන්සේගේ ආවතේව කටයුතු වෙනුවෙන් ප්‍රධාන කුල හතක් වෙන් වූ එක ම ස්ථානය වීම. අද ද මෙම කබලෑව, ඇඹව ගම ඇතුළත මෙම කුලයන් ජීවත් වීම.
  1. මෙම දේවාලයට ම ආවේණික ප්‍රධාන ලක්ෂණ සහිත ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවුන් වහන්සේගේ චිත්‍ර සහ මූර්ති පැවතීම
  1. මෙම මුල් කබලෑවේ දේවාලයට ආවේණික දෛනික, සතිපතා, මාසික සහ වාර්ෂික ආචාර ධර්ම, අභිචාර විධි පැවතීම
  1. ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලයෙහි ආවතේව කරනු ලබන ප්‍රධාන කපුමහතා විහාරස්ථාන මායිමේම සිය නිවස පිහිටීම හා කුඩා කල සිට ම විහාරස්ථානය ඇසුරු නිසරු කරමින් සිය වතාවත් පූර්ණය කිරීම.
  1. ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් යකු දෙවි කළ අඹ වැව සිල්වත් රාළ නොහොත් රාජපද්ම සිල්වත් තැනගෙන් අවිච්ඡින්න ව වර්තමානය වන තෙක් පැවත එන සග පරපුරක් පැවතීම හා එම භික්ෂූන් වහන්සේගේ අධීක්ෂණයෙන් දේවාලයේ සියලු වතාවත් පිරිමැසීමට සම්මතයෙන් අවසර ලැබීම

මෙම දෙවොලේ සුවිශේෂත්වය වන්නේ වෙනත් මුල් තැනයැයි කියාගන්නා කබලෑ සිද්ධ සූනියම් දේවාලවල කබලෑ දෙවිදුන්ගේ දේව පිළිමයට අමතර ව විෂ්ණු, පත්තිනි හා කතරගම යනාදි විවිධ දෙවිවරුන්ගේ දේව ප්‍රතිමා ද එක ම දේවාලේ එක ම යහනේ තැම්පත් කර තිබීම හා ඒ ඒ දෙවියන්ට වෙන් වූ වතාවත් දක්නට ලැබීම යි. නමුත් මෙහි ප්‍රධානත ම දේව මාලිගය වෙන් වන්නේ මෙම කබලෑ දෙවියන්ට ම පමණක් වන අතර ඔටුණු දරා රන් පටියෙන් යුතු තේජාන්විත බව විදහා පානු ලබන කබලෑවට ම ආවේණික දේව ප්‍රතිමාවකින් මෙම භූමිය අලංකාර වී ඇත. මෙම ප්‍රධාන දේව මාලිගයෙහි ඇති උතුම් පිළිම වහන්සේ ඉතා පෞරාණික වූවක් වන අතර එය වසර 177කට වඩා පැරණි බව සදහන් වේ. මෙම දෙවියන්ගේ පවතින වංශක්කාර, මාන්නක්කාර, බලපුළුවන්කාර, කෙරුම්කාර, නම්බුකාර, නඩුකාර, හැඩකාර, අහංකාර ගති නිසා කබලෑවේ දෙව් පියසේ වෙනත් දෙවිවරුන් සමග එක යහනේ විසීමට අකමැත්තක් දක්වන බව ජනප්‍රවාදයේ එයි. එම නිසා අද ද කබලෑ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන්ට පමණක් ප්‍රධාන දේව මාලිගය වෙන්වෙන අතර වෙන කිසිදු දේවාලයක් මෙම විහාරස්ථාන භූමියේ හෝ දේවාල භූමියේ ඉදිකිරීමට නොහැකි වීම භූමිය සතු හාස්කමක් ලෙස ද සැලකේ. යමෙක් මෙම පාරම්පරික නීතිය කඩා දැමුවහොත් ඔවුන්ට විවිධාකාර දේව දඩුවම් ලබාදුන් අවස්ථා ද ඒ අතර වේ.

ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරය වර්ෂ 300ට එපිට ලිඛිත ඉතිහාසයක් පවතින ඓතිහාසික විහාරස්ථානයකි. ජනප්‍රවාදයෙන් ගම්පොල රාජ්‍ය යුගය වන තෙක් දිවය යි. විහාරාධිපතීන් වහන්සේලා දස නමකට වඩා අධිපතිත්වය දැරූ බවට පැහැදිලි වූ සාක්‍ෂි මෙම විහාර භූමියෙන් හඳුනා ගැනීමට අවකාශය ලැබේ. මෙම පුණ්‍ය භූමිය සැමවිට ම සංවර්ධනය වූයේ පුරාණ ගම්භාර සිද්ධ කබලෑ මුල් සුනියම් මහා දේවාලය මූලික කොටගෙන ය. එම නිසා මෙම ආයතන දෙක එකිනෙකට ඓතිහාසික වශයෙන් බද්ධ ව පවතින බව පෙන්වා දිය හැකි ය. කබලෑ දේවාලය සම්බන්ධ ඓතිහාසික වශයෙන් කරුණු සාකච්ඡා කරන විට කිසිසේත් ඇඹව විහාරය අමතක කළ නො හැකි ය.

කබලෑව, ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය පිහිටා තිබෙන්නේ ඓතිහාසික කබලෑවේ අඹවැව් වෙහෙර නොහොත් වර්තමාන කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථාන භූමියෙහි ය. අඹවැව් වෙහෙර ලෙස ප්‍රසිද්ධ ව පැවති අප විහාරයට නැගෙනහිරට වන්නට පැවත ඇති වැවෙහි විශාල ඇටඹ අඹ ගසක් තිබී ඇති අතර එය මුල්කරගෙන අඹවැව යන්න මිනිසුන් විසින් හඳුන්වා ඇත. ඒ වැව ආසන්නයේ තිබූ විහාරය අඹවැව් වෙහෙර යි. මුලින් ම කබලෑවේ අඹවැව් වෙහෙර පසුකාලීනව ශ්‍රී සුධර්මාරාම මහා විහාරය යන නම යෙදීම නිසා ග්‍රාමික වර්ගීකරණයේ දී ඒ අවට ප්‍රදේශය අඹවැව, ඇඹැව, ඇබෝව ආදී නම්වලින් යොදා තිබේ. මෙය වර්තමානය වන විට ඇඹව ලෙස ආමන්ත්‍රණය වේ. මෙසේ ආරම්භ වූ ඇඹැව ගමේ බර දැරුවේ කබලෑව යි. කබලෑව මුල්කරගෙන පැවතියේ වැඩවසම් සමාජයකි.

ලක්දිව තිබෙන මුල් ම සූනියම් දේවාලය වන මෙය මුලින් පැවතියේ ගම්භාර කබලෑ දෙවියන්ගේ රුක් දෙවොලක් හෙවත් දේව සංහිඳක් වශයෙනි. පසු කාලයේ එනම් ගම්පොල රාජධානි සමයේ ඔඩ්ඩිස මන්ත්‍ර පොතින් නිදහස් ව සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවුන් වහන්සේ ලෙස මෙම භූමියෙහි දේවත්වයට පත් වීමෙන් පසුව උන්වහන්සේ මෙහි ලැගුම් ගත්හ. මෙම දෙවියන් වෙනුවෙන් ම පුද පූජා පවත්වන්නට වූයෙන් දෙවියන්ගේ ස්වභාවයන් සලකා දේවාලයට ශ්‍රී ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය යන නම ව්‍යවහාර විය.

අද වනවිට කබලෑව, ඇඹව දේවාලය විශාල බැතිමතුන් පිරිසකට පිහිටවන මහා දෙවොලක් බවට පත්ව තිබේ. සෙනසුරාදා සහ බදාදා යන කෙම්මුර දිනවල දී මෙන් ම අනෙක් දිනවල දී ද දිවයිනේ නන් දෙසින් බැතිමත්හු මෙහි සැපත් වෙති. අගෝස්තු මාසයේ මහා දේව මංගල්‍යය පවත්වන විට විහාර භූමිය පිරී ඉතිරී යන තරමට විශාල ජන ගංගාවක් මෙහි එක් රොක්වනු පෙනේ. මෙයට හේතුව සූනියම් දෙවියන්ගේ බල පරාක්‍රමය කෙරෙහි ජනතාව තුළ පවතින අචල භක්තිය සහ දේවාලයේ අනුහස් පිළිබඳ ව ඔවුන් තුළ ඇති වී තිබෙන දැඩි විශ්වාසය යි. කවුරුත් කියන්නේ කබලෑව, ඇඹව දේවාලයට පැමිණ සූනියම් දෙවියන්ට පූජාවක් කළ පමණින් තම සිතැඟි, අවශ්‍යතා, ඉල්ලීම් සහ බලාපොරොත්තු ඉටුවන බව ය. කරදර, දුක්, කම්කටොලු, අණවින, හදිහූනියම් දුරින් දුරුවන් වන බව ය.

වර්තමාන පුරාණ ගම්භාර සිද්ධ කබලෑ මුල් සුනියම් දේවාලයෙහි පූර්ණ අයිතිය ඇත්තේ කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරයට ය. මෙසේ කරුණු දැක්වීමට අප තීරණය කළේ බොහෝ බැතිමතුන්ගේ හා ඉතිහාසය සෙවීමට කැමති අයවලුන්ගේ ඉල්ලීම් පරිදි ය. එසේ ම වර්තමානය තුළ අප ඓතිහාසික වශයෙන් බැඳුණු බොහෝ කරුණු යම් අභාවයට යමින් පවතින නිසා එම කරුණු සුරක්ෂිත කිරීම උදෙසා වැඩපිළිවෙලක් සැකසිය යුතු නිසාවෙනි. එසේ ම අප විහාරස්ථානයේ අනන්‍යතාවයට යම් යම් හානි කරනු ලබන පුද්ගලයන්ගේ මතවාදවලට උත්තර සැපයීමක් ද වශයෙනි. අප මෙමගින් කබලෑ දෙවියන්ගේ අයිතිවාසිකම තහවුරු කිරීමට බලාපොරොත්තු නොවේ. මන්ද ගම්භාර කබලෑ සිද්ධ සූනියම් දෙවියන් යනු විශ්වීය වශයෙන් බැඳුණු ආධ්‍යාත්මික උත්කෘෂ්ට චරිතයකි. ඒ බව ඉතා ම පැහැදිලි ය. උන්වහන්සේගේ නියම අයිතිකාරයන් යනු මූලස්ථාන වන අපගේ ආයතනය හා මෙම ප්‍රදේශයේ පුද්ගලයන් පමණක් නොව දෙවියන් පිළිබඳ ව අප්‍රමාණ විශ්වාසයකින් යුතු භක්තිමත් ඔබ ය. නිසියාකාරව කුසලයක පිහිටමින් ධර්මානුකූල ව ජීවිත ගතකරන උදවිය උන්වහන්සේගේ නියම අයිතිකරුවන් ය. එම නිසා කබලෑ දෙවියන් පිළිබඳ ව ගැටලු සහගත ව පවතින ඉතිහාසය ඉතා පැහැදිලි කිරීම මගින් පුණ්‍ය භූමියේත්, දෙවියන්ගේත් අනන්‍යතාවය තහවුරු කිරීම් උදෙසා එය වැදගත් වන බව පෙන්වා දිය හැකි ය.

ඉහත මෙම කරුණු නිසා ඓතිහාසික දේවාලය බොහෝ බැතිමතුන්ට ඉතා වැදගත් ස්ථානයක් වේ. බොහෝ බැතිමතුන්ට මෙම මුල් සූනියම් දේවතාවුන් වහන්සේ හා කබලෑව, ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය පිළිබඳ ව සත්‍ය වූ තොරතුරු දැන ගැනීමේ වුවමනාවක් ඇත. මෙමගින් දෙවියන් පිළිබඳ ව හා දෙවියන් වෙනුවෙන් වෙන් වූ මෙම දේවාලයෙහි පුද සිරිත්, වතාවත් ආදිය පිළිබඳ ව ද යම් සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වේ. මෙම දේවාලය හා කබලෑ දෙවිඳු පිලිබඳ දුර්මත රාශියක් ම සමාජගත කිරීමට බොහෝ දෙනෙක් උත්සාහා කරයි. එම නිසා සත්‍යය කරුණු සමාජගත කිරීමේ අරමුණින් මෙම වෙබ් ලිපිනය හරහා ද අදහස් පළකිරීමට තීරණය කරන ලදි. මෙය සාර්ථක ව ඉදිරිපත් කරගැනීමෙහිලා කබලෑව, ඇඹව විහාරස්ථානයේ ඉතිහාසය සොයා ගැනීමට අදාල කරගත හැකි ලිඛිත මූලාශ්‍ර තුනක් අපට හමු විය. ඒවානම් 1. විහාරස්ථානයේ ඉඩකඩම්වල හා කුඹුරුවල ඔප්පු 2. පුස්කොළ බණ පොත්හි පත්ඉරුවල ලියා තිබෙන උපසම්පදා සීට්ටු හා වෙනත් තොරතුරු 3. 1861 මාර්තු 17 දින වේයන්ගොඩ අත්තදස්සි හිමියන් ඇතුලු ඒ ඒ විහාරාධිපතීන් වහන්සේලා තම ධූරකාලය තුළ තම අත්අකුරින් ලියා තිබෙන ගම්බිම් ලේඛන හා විහාරධිපති හිමිවරුන්ගේ සටහන් යනාදිය ද ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය අධ්‍යයන, ක්ෂේත්‍ර අධ්‍යයන හා ජනප්‍රවාද, ජනශ්‍රැති සේ ම කපුමහතුන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යන කවි, කොල්මුර, කන්නලව්, යන්ත්‍ර මන්ත්‍ර හා ශ්ත්‍රෝත්‍ර ආදිය යොදා ගැනේ. මෙය පර්යේෂණාත්මක කරුණු දැක්වීමකි.

මේ වෙනුවෙන් සහයෝගය ලබාදුන් ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලයේ වර්තමාන දේවගැති තුමා වන ගංගානාත් වීරක්කොඩි මැතිතුමා ඇතුළු දේවාලයේ කාර්යමණ්ඩලයට ද, ඉතිහාසය සෙවීමෙහි උනන්දුවක් දක්වන වර්තමාන දායක සභාවේ ලේකම්, ‘‘කබලෑ දෙවියෝ කෘතියෙහි කතුවරයා වන එච්. එම් පියතිලක හල්පේ ශූරීන්, භාණ්ඩාගාරික සරත් අධිකාරී මහත්මා ඇතුළු විහාරස්ථ දායක සභාවේ නිලධාරීන්ට ද, Kabalewamahadevalaya.lk/com, Kabalewatemple.lk/com යන වෙබ් ලිපිනයන් කාර්යබහුල වුවත් කාලය, ශ්‍රමය වෙන්කර සකස්කර දුන් සාලිත සේනානායක මහත්මාට ද, දීගල්ල ග්‍රාමයෙහි පදිංචි ලේඛනාරක්ෂක දේපාර්තමෙන්තුවේ සේවා කටයුතු සිදුකරන මහින්ද මැතිතුමා ඇතුළු එම දෙපාර්තමෙන්තුවේ සැමට ද, පංසලේ අපි තරුණ කැලේ සහෘදයන්ට ද, ප්‍රසන්න විතානාරච්චි ඉහළ ඇඹව ග්‍රාමනිලධාරී තුමන්ට හා නිම්මි නැන්දා ඇතුළු දේවාලයට පැමිණෙන මා හිතවත් බැතිමතුන්ට ද නම් නොකී සැමට ද ගෞරවණීය පුණ්‍යාණුමෝදනාව මෙමගින් පුදකරමි.

 

පූජ්‍ය ඉරුදෙනියායේ සිරිරතන හිමි,

ශ්‍රී සුධර්මාරාම මහා විහාරය,

ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය,

කබලෑව (ඇඹව) – කුලියාපිටිය

070 – 2614272

037 – 2281547