හාස්කම්

කබලෑව, ඇඹව දේවාලයෙහි හා කබලෑ දෙවියන්ගේ හාස්කම් පිළිබඳ ව කථා රාශියක් ජනතාව අතර පවතින බව පෙනේ. පෘතුගීසින් 1505 දී මෙරටට පැමිණීමෙන් අනතුරුව සත්කෝරළය දෙසට ඔවුන්ගේ පැමිණීම අවස්ථා කිහිපයක දී සිදු වූ බව දැක්වේ. අද ද පෘතුගීසීන් විසින් මෙම කබලෑ පළාතේ සිටි බවට විවිධ සාධක පවති. ඒ අතර ඉඩම්වල ඔප්පු තුළින් ඒ බව හඳුනාගත හැකි ය. එයට උදාහරණයක් ලෙස මඩම් ගොඩැල්ල යනුවෙන් හඳුන්වන ඉඩමක් පවති. එහි පෘතුගීසීන් ගැහැනුන් නවතා ගන්නා ලද ස්ථානය ලෙස හඳුන්වනු ලැබේ. මෙසේ ඔවුන් මුහුදුබඩ පළාත්වල සිට දුම්මලසූරිය හරහා ගල පලා නුවර නොහොත් වර්තමාන ගල්පොල ගම්මානයේ පැත්තෙන් කබලෑවට පැමිණීමට ඔවුන් උත්සාහ කරන අවස්ථාවේ දී දේවාලයේ රන් ආභරණ සැඟවීමට දේවාලයේ එවකට භාරකරුවන් කටයුතු කර තිබේ. ඒ අතර තව නොයෙක් ආභරණ ද වූ බව සඳහන් වේ. එම ආභරණ වතාවත් කරමින් දේවාලයෙන් උතුරු දෙසට වන්නට තැන්පත් කළ බව ජනප්‍රවාදයේ එයි. එහි ආභරණ තැන්පත් කිරීමට දින හතක් ගත වී තිබේ. මෙම තැන්පත් කිරීම සිදු වන තුරු පෘතුගීසීන් කබලෑට ඇතුළුවීමට අවස්ථාව නො ලැබී ඇත්තේ ඔවුන්ට බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් ය. දිනක දී කබලෑවට ඇතුළුවීමට ඔවුන්ට අවස්ථාව තිබුණත් දින හතක් යනතුරු ඔවුන්ට කබලෑවට ඇතුල් වීමට ඉඩකඩ නො ලැබුණු බව ජනප්‍රවාදයෙහි එයි. මෙය දෙවියන්ගේ හාස්කමක් නිසා සිදු වූ බව ජනප්‍රවාදයේ තුළ සඳහන් වේ.

ඈත අතීතයෙහි අංකෙළිය ප්‍රකට ජන පීඩාවක් විය. ගම්වැසියෝ උඩුපිල හා යටිපිල යනුවෙන් දෙපිලකට බෙදී යහ ආශීර්වාද පතා වාර්ෂික ව අංකෙළි උත්සවය පැවැත්වූහ. මෙම ජයග්‍රහණය කරන අඟ උත්සවාකාරයෙන් වැඩමවා ගෙන අවුත් කබලෑව, ඇඹව දේවාලයෙහි තැන්පත් කර තබනු ලැබේ.

එක් වර්ෂයක කරගහගෙදර ග්‍රාමයෙහි අං කෙළියක් පැවැත්විණ. මෙහි දී භාවිතා කළ අං දෙක සති කිහිපයක් උත්සාහ කළ ද කැඩිය නොහැකි විය. ගම්මු ක්‍රීඩාව නතර කළ විට රාත්‍රි කාලයේ අන් දෙක එකට ඇතිල්ලෙන හඬ බොහෝ දෙනෙකුට අසන්නට ලැබිණ. ඔවුහු අං දෙක පෙරහැරේ වැඩමවාගෙන අවුත් දේවාලයෙහි තැන්පත් කළහ. රාත්‍රි කාලයට දේවාලය තුළ ද අං දෙක ඇතිල්ලෙන හඬ ඇසෙන්නට විය. එයින් එක අඟක් ඇපලදෙනිය විහාරස්ථානයට භාර දීමෙන් පසු හාස්කම් අවසන් විය. එය අද ද ඇපලදෙනිය විහාරස්ථානයෙහි වූ දේවාලයෙහි තැම්පත් කර ඇත.

ඉතිහාසයේ මෙම කබලෑ මහා දේවාලය පවතින ග්‍රාමයට රොඩී ජනතාවට පැමිණීමට නො හැකි වූ කාල වකවානුවක් පැවති බව පැරැණි මිනිසුන් සිහිපත් කරකි. එම කාල වකවානුවේ දී රොඩී මිනිසුන් ගමට පැමිණි විට කළු දෙඹරුන් මතු ව ඔවුන්ට පහර දෙන බව පැරැන්නෝ පවසති. මෙම අවස්ථාවේ දී කබලෑ දේවතාවුන් වහන්සේට භාරයක් විය. එම භාරය සිදු කිරිමෙන් අනතුරුව යළි කිසි දිනක ඔවුන්ට එසේ සිදු නොවූ බව දක්වති. මෙය ද දෙවියන්ගේ විශේෂ හාස්කමක් ලෙස සලකයි.

මෙම කබලෑ මහා දේවාලයෙහි කාලාන්තරයක් ප්‍රධාන කපුමහතෙකු ලෙස කටයුතු කරන ලද එබ්‍රහම් කපු මහතා ගමේ සිදු වූ කොටහලු කිල්ලක් නො දැන දේවාලයෙහි ප්‍රධාන දොරටුව විවෘත කිරීමට යන අවස්ථාවේ දී විශාල නාගයෙකු ඉන වටා එතුණු බව දැක්වෙයි. වේලාවක් එසේ සිටීමෙන් අනතුරුව කිල්ලක් වී ඇති බව දැන දෙවියන්ගෙන් සමාව ඉල්ලීමෙන් අනතුරුව එම නාගයා ඉවත් ව ගිය බව දැක්වේ. එසේ ම ඉන් පසු යළි දොර වසා දෙවියන්ගෙන් සමාව අය ද වතාවත් පූර්ණය කළ බව සඳහන් වේ. මෙම කපුමහතා මිය යන තුරුත් එතුමාගේ ශරීරයේ එම නාගයා එතුණු සලකුණු දැක ගන්නට තිබිණ. මෙය ද දෙවියන්ගේ හාස්කමක් ලෙස විශ්වාසය යි.

මෑත කාලයේ දේවාලය ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රජය විසින් කටයුතු කරන ලදි. මාර්ගය තැලීමට ගෙන ආ ගල්රෝල දේවාලය අසල දී අක්‍රිය විය. කොතරම් උත්සාහ කළ ද එය පණ ගැන්විය නො හැකි විය. ගල්රෝල රියදුරු විසින් කබලෑ දෙවියන්ට අපහාස වන වචනයක් ප්‍රකාශ කිරීම නිසා මෙය සිදු වූ බව දැනගත් ගම්මු දෙවියන්ට භාරයක් වන ලෙස රියදුරාගෙන් ඉල්ලා සිටියහ. අවසානයේ වැඩපොළ භාර නිලධාරියා දේවලයට පැමිණ භාරයක් වීමෙන් පසු ව ගල්රොල ගෙන යා හැකි විය.

කබලෑව මහා දේවාලයෙහි පූර්ණ අයිතිය හා පාලනය ඇත්තේ ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරයට ය. දෙවියන්ගේ සෑම වතාවක් ම ගරු විහාරාධිපති හිමිවරු ඒ ඒ යුගයෙන් යුගයට පවත්වාගෙන කටයුතු කර ඇති බව සඳහන් වේ. අද ද දේවාලයෙහි කටයුතු වෙනුවෙන් විහාරාධිපතීන් වහන්සේගේ මැදිහත් වීම නිතැතින් සිදුවෙයි. දේවාලයේ වෙනස් කම් කරනු ලබන සියලු කටයුතු වෙනුවෙන් මහා සංඝයාගේ මැදිහත්වීම සිදු විය යුතු ය. එසේ නො වන්නේ නම් කරනු ලබන කිසිදු කටයුත්තක් නිසි ලෙස ඉටු නොවේ. මෙය දෙවියන්ගේ මහා සංඝයාට කරනු ලබන ගෞරවයක් ලෙස දැක්වේ.

කබලෑ දෙවියන් වැඩ ඉන්නේ ද සාංඝික භූමියක් තුළ නිසා සංඝයා වහන්සේලාගේ ආශිර්වාදය උන්වහන්සේ නිතැතින් බලාපොරොත්තු වන බව දැක්වේ. කබලෑ දෙවියන් වෙනුවෙන් දෛනික ව භික්ෂූන් වහන්සේලා පිරිත් කිව යුතු බවත්, දෙවියන්ගේ නාමය උන්නාන්සේලා සිහිකරමින් පින් පෙත් අනුමෝදන් කළ යුතු බවත් ඓතිහාසික ව සිට පිළිගත් චාරිත්‍ර ධර්මයකි. එසේ භික්ෂූන් දෛනික ව පිරිත් කීමට නො වැඩිය හොත් අමනාපයකට පත්වෙන බවත් විවිධ දෑ තුළින් ඒ බව ප්‍රදර්ශනය කරනු ලබන බවත් අප ගුරු හිමිවරු පවසා තිබේ. මෙයත් දෙවියන්ගේ හාස්කමකි.

කබලෑව මහා දේවාලයට පැමිණෙන යම් යම් බැතිමතුන් පවසන පරිදි ඔවුන් දේවාලයට පැමිණෙන විට එක් අවස්ථාවේ ම දේවාලයටය පැමිණීමට නො හැකි වූ බවත් ඔවුහු ප්‍රකාශ කරති. විටෙක දේවාලයෙහි මාර්ගය අමතක ව කාලය මිඩංගු කිරීම ද සිදු වන බව ඔවුන් ප්‍රකාශ කරති. දේවාලයට පැමිණීමට ඉලක්කය වුවත් යම් යම් දේවාලවලට ගොස් මාර්ගය වැරදීම සිදුවෙන බව ඔවුහු කරුණු දක්වති.

කබලෑවේ යම් යම් නිවෙස්වල බල්ලන් වැනි සතුන් ඇති කිරීමට නොහැකි බව දැක්වේ. නිවෙස්වල කබලෑ දෙවියන් වෙනුවෙන් දෛනික ව පහන් දල්වන ස්ථානයක් වීම තුළ මෙවැනි දෑ සිදු වීම විශේෂත්වයකි. එම නිවෙස්වල සතුන් ඇති කිරීමට නො හැක්කේ දෙවියන්ගේ බලපෑම නිසා බව ඔවුන්ගේ මතයක් බවට පත්වී තිබේ. කෙසේ වුවත් දේවාලයෙහි කාලාන්තරයක් ජීවත් වූ “ආවා” නම් තිරිසන් බැල්ලියකට ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ඇවිදීමට නො හැකි විය. මෙම නිසා මෙම සතා විදින වේදනාව නිසා සුව වීම පතා දේවාලයෙහි සිටි උදවිය දෙවියන්ට භාරයක් වූයේ කිරි උතුරා හා බලු කපුටු දානයක් දී දෙවියන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම වෙනුවෙනි. මෙම භාරයෙන් පසුවය “ආවා” නම් සත්ත්වයාට සුවය ලැබූ බව අද ද ගම්මු ප්‍රකාශ කරති.

දේවාලයට අයත් කබලෑව, ඇඹව ග්‍රාමය තුළ මළ ගෙයක්, කොටහලු කිල්ලක් සිදු වූ විට දේවාලයෙහි වැඩ කටයුතු සීමා කිරීම පුරාණ චාරිත්‍රයකි. එම නිසා ගොදුරු ගමේ මළ ගෙයක්, කොටහලු කිල්ලක් සිදු වූ විට අනිවාර්යයෙන් ම ඒ අය දේවාලයට මතක් කිරීම සියලු ගම්මුන්ගේ ක්‍රියාදාමයකි. එය දැනගත් අවස්ථාවේ සිට ම දේවාලයේ මුරුතැන් බෑම ආදී පූජා චාරිත්‍ර රාශියක් නො කිරීමට කටයුතු කෙරේ. එහෙත් නියමිත දේවාලයට අයත් ගොදුරු ගම තුළ එසේ කිල්ලක් සිදු ව එය දේවාලයෙහි කාර්යමණ්ඩලයට නො දන්වා මුළුතැන් බෑම, ගොටු දීම ආදී කටයුතු ඉටු කළහොත් දේවාලයෙහි කපුමහතාට හෝ ආවතේව කරුවන් හදිසියේ රෝගාතුරයන්ට හා අනපේක්‍ෂිත සිදුවීම්වලට ගොදුරු වේ. එම අවස්ථාවල දී නැවත සොයා බැලීමක් සිදු කෙරේ. මෙය දෙවියන්ගේ හාස්කමක් දේව උදහසට ලක්වීමක් ප්‍රදර්ශනය කරන අවස්ථාවකි.

කබලෑ දෙවියන්ගේ විශේෂ හාස්කමක් ලෙස බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන කරුණක් නම් බොහෝ දුරට රෝගාතුරු වූවන් වෙනුවෙන් කරනු ලබන භාරහාර ඉතා සාර්ථක අන්දමින් ඒ අය නිරෝගි වන බව දක්වති. යම් රෝගයක් නිසා පීඩාවට පත්ව මරණාසන්න අවස්ථාවේ ගතකරනු ලබන්නන් දෙවියන්හට භාරහාර වීමෙන් අනතුරුව නො සිතූ පරිදි රෝගයන්ගෙන් ඉවත් ව නිරෝගි සුවය ලබන බව විශ්වාසය යි. මෙය දෙවියන්ගේ හාස්කම් ප්‍රදර්ශනය කරන්නකි.

විවිධ අවස්ථාවල දී ගොදුරු ගම තුළ සළං හඬ ඇසෙන බව ගම්මුන්ගේ විශ්වාසය යි. නො සිතන ලද අවස්ථාවල අයෙකු සළඹක් සොල වන්නාක් මෙන් මෙම සලං හඬ ඇසෙන බව ගම්මු විශ්වාස කරති. එසේ ම ප්‍රධාන දේව මාලිගයෙහි දොර වසා තබන කාලය තුළ දේවාලයෙහි අභ්‍යන්තර මාලිගයෙන් සලඹක හඬ එන බව දැක්වේ. මෙය දෙවියන්ගේ හාස්කමක් බව ගම්මුන්ගේ විශ්වාසය යි.

ඉහත ලෙස පවතින හාස්කම් රාශියක් දක්නට ලැබෙන අතර මෙවැනි දෑ ගමට ආවේණික විවිධාකාර බොහෝ හාස්කම් තව ද හඳුනා ගැනීමට අවකාශය ලැබේ.