විහාර භූමිය සහ විහාරාරංග

අප විහාරස්ථානයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඒ බව සනාථ කරන ලියවිලි අතර ඉඩම් ඔප්පුවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. 1875 සැප්තැම්බර් 01 දින P.NO 101079 යටතේ ලියාපදිංචි කරන ලද හිමිකම් පිඹුර විහාරස්ථානයෙහි අයිතිය තහවුරු කර තිබේ. මෙය වර්තමාන විහාරස්ථානය හා කබලෑ දේවාලය පිහිටා තිබෙන පංසල් වත්ත වේ. 1875 දී මැන සකස්කරණ ලද පංසල් වත්තේ හිමිකම් පිඹුරේ සිතියමක් ද විහාරස්ථානය සතු ව පවතී. එයට අනුව උතුරෙන් ගල්වෙල පිල්ලෑවෙන් හා වෙදපිටිය කුඹුරෙන් ද, නැගෙනහිරින් සිංගුරුපිටිය කුඹුරෙන් හා ඇටඹගහවෙල කුඹුරෙන් ද(අඹවැවේ ඉහත්ත), දකුණු දෙසින් බක්මීගහ වෙලෙන් හා බක්මීගහවෙල පිල්ලෑවෙන් ද, බටහිරින් මැද කනත්ත හේනෙන් ද පංසල් වත්ත මායිම් වී තිබේ.

සිතියමේ දැක්වෙන පරිදි භූමිය මධ්‍යයේ විහාරය, පන්සල නමින් හැඳින්වෙන සංඝාවාසය, බණ මඩුව හා දේවාල ගොඩනැගිල්ල සලකුණු කර තිබේ. මෙම පූජනීය ස්ථාන වටා කම්බිවැටක් ද තිබූ බව පෙනේ. මෙහි දැක්වෙන විහාරය අද (2022) අප වන්දනාමාන කරණ විහාරගෙය නොව එයට පෙර තිබූ එකකි. 1930 දශකයේ අද තිබෙන විහාර ගෙය ඉදිකරන විට එම ස්ථානයේ ම පිහිටා තිබූ නටඹුන් වූ දැවපිට විහාරය ඉවත් කළ බව පැරැන්ණෝ පවසති. 1875 සිතියමක දැක්වෙන දැවපිට විහාරය 1930 ඉවත් කළේ නම් එය අවුරුදු එකසියයපනහකටත් වැඩි කාලයක් අප මුතුන් මිත්තන් විසින් වන්දනාමාන කරන ලද්දක් විය යුතු ය.

කබලෑ දේවාලය ද මුල සිට ම විහාර භූමියේ පවත්වාගෙන ගිය බව 1875 හිමිකම් පිඹුරින් මනාව පසක්කර ගැනීමට අවකාශව ලැබේ. සිතියමේ දැක්වෙන දේවාල ගොඩනැගිල්ල ටැම්පිට විහාරයට දකුණින් කම්බි වැට අද්දර පිහිටියේ ය. මෙය මුල් ම වකවානුවේ වරිච්චි බැඳ, මැටි ගසා, වහලයට පොල් අතු සෙවිලිකරන ලද්දකි. එහෙත් වර්ෂ 1875 වන විට මෙය සිංහල උළු සෙවිලි කළ ස්ථාවර ගොඩනැගිල්ලක් වීම නිසා හිමිකම් පිඹුරු සිතියමෙහි පැහැදිළි ව දක්වා තිබීමෙන් පසක් වේ. අද වන විට එයට වර්ෂ 148 වඩා පැරණි වේ.

මෙහි දැක්වෙන බණ මඩුව, වැඩිහිටි උදවිය කුඩා කාලයේ දහම් පාසල පවත්වන ලද පරණ ධර්ම ශාලාව විය නො හැකි බව පවසති. 1875 පැවති ගොඩනැගිල්ලක් 1960 දක්වා පැවතියේ නම්, එය අවුරුදු 85කට වඩා පැරණි විය යුතුය. එහෙත් ඔවුන් කරුණු දක්වන ආකාරයට වැඩිහිටියන් දුටු පරණ බණ මඩුව එතරම් පෞරාණික නොවීය. සංඝාවාස ගොඩනැගිල්ල ද එම වැඩිහිටියන් කුඩා කළ දුටු, වර්තමාන ධර්මශාලාව ඉදිකර තිබෙන ස්ථානයේ පිහිටා තිබූ එක නොවේ. එයට ද පූර්වයෙහි ගොඩනගන ලද්දකි. එම කරුණුවලට අනූව පැරණි ගොඩනැගිලි උචිත පරිදි ඉදිකර ඇතත් කාලයාගේ ඇවෑමෙන් ඉදිකරගත් ඒවා ය. 

ගම්ප්ලෑන අප විහාරස්ථානය පිලිබඳ ව තොරතුරු සොයාගත හැකි වැදගත් මූලාශ්‍රයකි. ගමේ ඉඩම් මැන සිතියම්ගත කර තිබෙන්නේ 1925-35 අතර කාලයේ දී ය. මෙහි දැක්වෙන පංසල් වත්තේ මායිම් 1875 සිතියමට බොහෝ දුරට සමාන ය. එම හිමිකම් පිඹුර පිළිගනිමින් ගම්ප්ලෑන වෙත කරුණු ඇතුළත් කළ බව පන්සල් වත්තේ ලොට් අංක විස්තරය තුළ හිමිකම් පිඹුරේ අංකය යෙදීමෙන් තහවුරු වේ. මෙහි  වෙනසකට තිබෙන්නේ එහි බස්නාහිර මායිමෙහි, අද ගම මැදින් දිවෙන මහා මාර්ගය සලකුණු කර තිබීම ය. මේ හැර දැවපිට විහාරය, පරණ බණ මඩුව හා පැරණි ලැගුම් ගෙය ද 1925 වනවිට විහාර භූමියෙහි පිහිටා තිබින. එමගින් පැහැදිළි වන්නේ පැරණි දේවාල ගොඩනැගිල්ල ඇතුළු බොහෝ පෞරාණික සියල්ලම නිසි ලෙස පැවති ආකාරයයි. පංසල් වත්තේ බෝධිය පිහිටා තිබෙන ස්ථානයට නැගෙනහිරින් පෙනෙන කුඹුර 1925 දී පැවතී ඇත්තේ ගොඩ ඉඩමක් වශයෙනි. මෙය අඹවැව වූ අතර එය වැලි සහිත දියළු පසින් යුක්ත විය. 1930 දශකයේ විහාර මන්‍දිරය ඉදිකිරීමෙන් පසුව මළුව ගොඩකිරීම සඳහා මෙම ස්ථානයෙන් පස් කපාගෙන ඇත. මේනිසා වගුරු බිමක් බවට පත් වූ භූමිය 1930 දශකය අවසාන භාගයේ දී කුඹුරක් බවට හරවා ගන්නා ලදි.

2010 වර්ෂයේ මෙම විහාරභූමියේ සැලැස්ම ද මෙයට ඇතුළත් කිරීම කාලෝචිත යැයි සිතේ. මෙහි සරණංකර පාර හා ඉඩමේ බස්නාහිර මායිමෙන් වැටී ඇති බොරළු ඇතිරූ පාර ද, ඉඩමේ නැගෙනහිර දිශාවේ ඇති කුඹුර ද 1925 න් පසුව ඇති වූ නව භූ විෂමතාවයන් ය. සංඝාවාසය, චෛත්‍යය, ධර්ම ශාලාව, බෝධිය, ගාන්ඨාර කුළුණ හා මල් ආසනය අළුතින් ඉදිකරණු ලැබූ ගොඩනැගිලි වේ.

විහාර භූමිය තුළ පිහිටුවා ඇති තුන්බෝධිය එක් තැනක සිටිනා පරිදි භික්ෂූන් වහන්සේට වන්දනා කිරීමට හැකිවන සේ පිහිටුවා තිබීම මෙහි සුවිශේෂත්වයකි. දේවාලයේ සිට කපුමහතාට ද එසේ වන්දනා කිරීමට හැකිවන සේ පිහිටා තිබීම එම සුවිශේෂිත්වය තව තවත් තීව්‍ර කරන්නක් ලෙස පෙන්වාදිය හැකි ය. අතීතයේ සිට ම භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයෙන් මොනයම් අවස්ථාවක පිට ව ගිය ද තුන් බෝධිය එක් ස්ථානයක සිට වන්දනා කිරීම සිදු කරනු ලබයි. එම නිසා මෙම පිහිටීම ඉතා වැදගත් ය. දේවාලයෙහි සිටින කෙනෙකුට ද මෙම විහාර භූමියේ පිහිටුවන ලද තුන්බෝධිය ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන්. එක්තැනක සිට පිලිවෙලට වන්දනා කිරීමට අවකාශය උදා වී ඇත. එය ද රෝගාතුර වූ බැතිමතකුට වුව මනා පහසුවකි.

ගම්ප්ලෑන අප විහාරස්ථානය පිලිබඳ ව තොරතුරු සොයාගත හැකි වැදගත් මූලාශ්‍රයකි. ගමේ ඉඩම් මැන සිතියම්ගත කර තිබෙන්නේ 1925-35 අතර කාලයේ දී ය. මෙහි දැක්වෙන පංසල් වත්තේ මායිම් 1875 සිතියමට බොහෝ දුරට සමාන ය. එම හිමිකම් පිඹුර පිළිගනිමින් ගම්ප්ලෑන වෙත කරුණු ඇතුළත් කළ බව පන්සල් වත්තේ ලොට් අංක විස්තරය තුළ හිමිකම් පිඹුරේ අංකය යෙදීමෙන් තහවුරු වේ. මෙහි  වෙනසකට තිබෙන්නේ එහි බස්නාහිර මායිමෙහි, අද ගම මැදින් දිවෙන මහා මාර්ගය සලකුණු කර තිබීම ය. මේ හැර දැවපිට විහාරය, පරණ බණ මඩුව හා පැරණි ලැගුම් ගෙය ද 1925 වනවිට විහාර භූමියෙහි පිහිටා තිබින. එමගින් පැහැදිළි වන්නේ පැරණි දේවාල ගොඩනැගිල්ල ඇතුළු බොහෝ පෞරාණික සියල්ලම නිසි ලෙස පැවති ආකාරයයි. පංසල් වත්තේ බෝධිය පිහිටා තිබෙන ස්ථානයට නැගෙනහිරින් පෙනෙන කුඹුර 1925 දී පැවතී ඇත්තේ ගොඩ ඉඩමක් වශයෙනි. මෙය අඹවැව වූ අතර එය වැලි සහිත දියළු පසින් යුක්ත විය. 1930 දශකයේ විහාර මන්‍දිරය ඉදිකිරීමෙන් පසුව මළුව ගොඩකිරීම සඳහා මෙම ස්ථානයෙන් පස් කපාගෙන ඇත. මේනිසා වගුරු බිමක් බවට පත් වූ භූමිය 1930 දශකය අවසාන භාගයේ දී කුඹුරක් බවට හරවා ගන්නා ලදි.

2010 වර්ෂයේ මෙම විහාරභූමියේ සැලැස්ම ද මෙයට ඇතුළත් කිරීම කාලෝචිත යැයි සිතේ. මෙහි සරණංකර පාර හා ඉඩමේ බස්නාහිර මායිමෙන් වැටී ඇති බොරළු ඇතිරූ පාර ද, ඉඩමේ නැගෙනහිර දිශාවේ ඇති කුඹුර ද 1925 න් පසුව ඇති වූ නව භූ විෂමතාවයන් ය. සංඝාවාසය, චෛත්‍යය, ධර්ම ශාලාව, බෝධිය, ගාන්ඨාර කුළුණ හා මල් ආසනය අළුතින් ඉදිකරණු ලැබූ ගොඩනැගිලි වේ.

විහාර භූමිය තුළ පිහිටුවා ඇති තුන්බෝධිය එක් තැනක සිටිනා පරිදි භික්ෂූන් වහන්සේට වන්දනා කිරීමට හැකිවන සේ පිහිටුවා තිබීම මෙහි සුවිශේෂත්වයකි. දේවාලයේ සිට කපුමහතාට ද එසේ වන්දනා කිරීමට හැකිවන සේ පිහිටා තිබීම එම සුවිශේෂිත්වය තව තවත් තීව්‍ර කරන්නක් ලෙස පෙන්වාදිය හැකි ය. අතීතයේ සිට ම භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයෙන් මොනයම් අවස්ථාවක පිට ව ගිය ද තුන් බෝධිය එක් ස්ථානයක සිට වන්දනා කිරීම සිදු කරනු ලබයි. එම නිසා මෙම පිහිටීම ඉතා වැදගත් ය. දේවාලයෙහි සිටින කෙනෙකුට ද මෙම විහාර භූමියේ පිහිටුවන ලද තුන්බෝධිය ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන්. එක්තැනක සිට පිලිවෙලට වන්දනා කිරීමට අවකාශය උදා වී ඇත. එය ද රෝගාතුර වූ බැතිමතකුට වුව මනා පහසුවකි.

ඇඹැව විහාරයෙහි විහාර මන්‍දිරය

කබලෑවේ ඇඹවැව් වෙහෙරේ ඓතිහාසික කරුණු විමසීමේ දී එහි ටැම්පිට විහාරයක් පැවති බවට තොරතුරු සඳහන් වේ. ශ්‍රී ලාංකේය ජාතික ආගමික පුනරුද ව්‍යාපාරයෙහි ප්‍රථම අවස්ථාව ලෙස 1753 ඇතිකරන ලද ශ්‍යාමෝපාලිවංශික උපසම්පදාවත්, මෙරට ආගමික හා සමාජයීය වශයෙන් ඇති ප්‍රබෝධයත් සමඟ සත්කෝරළය ඇතුළු ව ප්‍රදේශ ගණනාවක ටැම්පිට විහාර ඇතුළු බොහෝ බෞද්ධාගමික කලා ශිල්ප බිහිවිය. එසේ ම කලා කෘති රාශියක එකතුවක් සමඟ ටැම්පිට විහාර බෞද්ධ ගෘහ නිර්මාණ කලාව තුළ සම්ප්‍රදායක් ව ගොඩ නැගී තිබේ.

“ටැම්පිට” යන්නෙහි වචනාර්ථය පිලිබද ව අවධානය යොමු කිරීමේ දී ගල්ටැම් හෝ දැව පිට ඇතිරූ ලෑලි තට්ටුවක් පොළොවසේ සලකා කුඩා පිළිම ගෙයක් නිර්මාණය කිරීමයි. මෙය 17 සියවසෙහි සිට ම ආරම්භ ව 19 සියවසෙහි දෙවන භාගය වන තෙක් ම හමුවේ. එනයින් ගත් කළ ඇඹැව විහාරයෙහි පැවති ටැම්පිට විහාරය දාහත්වන සියවස වන තෙක් ම දිව යන බව කිව හැකි ය. මන්ද, අප ඇඹැව භික්ෂු පරපුර 17 වන සියවසෙහි මැද භාගය වන තෙක් ම ලිඛිත ව පවතින බැවිනි. භික්ෂූන් වහන්සේලා එකල සිට වැඩ වාසය කරන ලද නම් විහාරයක් අනිවාර්යෙන් ම පැවතිය යුතු ය. 18 වන සියවසෙහි මැද භාගය දක්වා ඇති හිමිකම් පිඹුරෙහි ඉතා පැහැදිලි ව දැක්වෙන්නේ ලිඛිත ව ඒ බව පෙන්වා දීමට සාක්‍ෂි පවතින ආකාරයයි. එසේ ම අදත් ඇඹව විහාරයෙහි තිබු ටැම්පිට විහාරෙහි ශේෂ වූ ගල් ටැම්හි කොටස් කිහිපයක් දක්නට ලැබේ.

මේ බව මිනුම්පති පිඹුරෙහි ඉතා පැහැදිලි ව සඳහන් ව ඇත. ඇඹැව විහාරයෙහි භික්ෂූන් වහන්සේලා 1757 එපිට සිට වැඩ සිටියේ නම් අනිවාර්යයෙන් ම එහි ප්‍රධාන විහාරයක් තිබිය යුතු ය. ටැම්පිට විහාරය මිනුම්පති පිඹුරෙහි සඳහන් කිරීමෙන් එය ඉතා පැහැදිලි කරගත හැකි ය.

(1875 මිණුම්පති සිතියම)

මෙම විහාරය පිහිටි ගල් තලාව මත ගල් කුට්ටි තබා ඒ මත දැව කඳන් යොදා ටැම්පිට විහාරය ගොඩනංවා තිබිණ. එහි වරිච්චි බිත්තිවල මහනුවර යුගයේ බිතු සිතුවම් ඇඳ තිබුනු බව විශ්වාස කළ හැකි ය. දැවපිට විහාරය හෙවත් ටැම්පිට විහාරය නුවර යුගයේ විහාරස්ථානවල පිහිටි සුවිශේෂී ගොඩනැගිල්ලකි. අප විහාරස්ථානයේ තිබූ ටැම්පිට විහාරය අද විහාර ගෙය පිහිටි ස්ථානයේ ම තිබූ බව දැක ගැනීමට හැකි ය. ගල්තලාව මත අඩියක් හමාරක් පමණ මහත කළුගල් කිහිපයක් තැන්පත්කර ඒ මත දැව බාල්ක සහ ඝනකම් ලෑලිවලින් ගෙබිම සකස් කිරීම මෙම විහාර සම්ප්‍රදායේ ලක්‍ෂණයකි. එම ලෑලි ගෙබිම මත වරිච්චි බිත්තිවලින් වටකර ගන්ධ කුටි සම්ප්‍රදායේ ගර්භ ගෘහය නිම කෙරින. එය තුළ ප්‍රධාන හිඳි පිළිමය ද, එය අබියස දෙපසින් හිටි පිළිම දෙකක් අඹා, බිත්තිවල දේවතා රූප සිතුවම් කරණ ලදි. ගෘහයේ පිටත බිත්තිය සත්සතිය, සූවිසි විවරණ වැනි බිතුසිතුවමින් අලංකාරවත් විය. මෙම ගර්භ ගෘහය වටා අඩි දෙකක පමණ ප්‍රදක්‍ෂිණා පථයක් සෑදෙන පරිදි දැව ම ය ගරාදි වැටක් ඉදි කෙරින. ගෘහයේ එක ම දොරටුව දකුණු දිශාවට යොමු වූ අතර එයට උඩින් මකර තොරණ ද, දෙපස බිත්තියේ දොරටුපාල රූප ද විය. දොරටුව අබියස වූ ප්‍රදක්ෂිණා පථය පුළුල්කර මණ්ඩපය තැනුන අතර එයට ගොඩවීම සඳහා ගල් පඩි කිහිපයක් තබන ලදි. විහාරයේ වහලයට සෙවිලිකරණ ලද්දේ පෙති උළු ය. මේ හා සමකාලීන ව ඉදි වූ මෙවැනි ආකාර ටැම්පිට විහාර දෙකක් කොන්ගහගෙදර සහ දණ්ඩගමුව විහාරස්ථානවල තවමත් සුරැකි ව තිබේ.

මෙම විහාරයෙන් ශේෂ වූ ගල් කණුවක් අප විහාර මන්‍දිරයේ පඩි කඳ වශයෙන් යොදා තිබෙන බව පෙනේ. අනෙක් ශේෂ වූ ගල් කණු තැනින් තැන හදුනාගත හැකි ය. පැවති ටැම්පිට විහාරයෙහි තිබූ බිතු සිතුවම් ද දායක කර ගනිමින් වර්තමාන විහාරයෙහි බිතු සිතුවම් ඇඳ ඇති බව පැරණ්නන්ගේ අදහස වේ.

(පැරණි ටැම්පිට විහාරයෙහි තිබූ පඩි කද වරතමාන විහාරෙට යොදා ඇති ආකාරය)

(පැරණි ටැම්පිට විහාරයෙහි ශේෂ ගල් කණු)

මෙහි පැවති ටැම්පිට විහාරය 1930 පමණ ඉදිරි වැටුණු බව අප දායක සභාවන්හි ලේඛන තුළ හඳුනා ගැනීමට අවකාශය ලැබේ. එය පැරණි දායක උදවියත් තවමත් කරුණු දක්වනු ලබයි.

අප විහාරස්ථානයෙහි වර්තමානයෙහි ඇති විහාරයෙහි අලංකාර බිතු සිතුවම් සහ පිළිමවලින් සමන්විත ව තිබේ. එය ගොඩනගන ලද්දේ කහටවිල සරණංකර ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ දායක පිරිස විසිනි. විහාරය ගොඩනැන්වීම සඳහා 1926 දී විහාර වර්ධන සමිතිය පිහිටුවා ගනු ලැබීය. විහාර මන්‍දිරයේ වැඩ අවසන්කර නේත්‍රා පිංකම පවත්වන ලද්දේ 1935 වර්ෂයේ දී ය.

(වර්තමාන විහාර මන්දිරය)

විහාර මන්දිරය අභ්‍යන්තර ව පිහිටි ගර්භ ගෘහය සහ එය වටා පිහිටි අන්තරාලය යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වේ. ගර්භ ගෘහය උස් බිත්තිවලින් නිමකර තිබෙන හෙයින් එහි පියස්ස අනෙක් වහලයට වඩා ඉහලින් පල තුනක් ලෙස දිස්වන පරිදි පිහිටුවා ඇත. අන්තරාලයේ පියස්ස ගර්භ ගෘහය වටා එයට පහතින් පල තුනකට නිමවා තිබේ. අන්තරාලයෙන් බටහිර දෙසට නෙරා ඇති ද්වාර මණ්ඩපය ලෙස සැලකිය හැකි කොටසට ඇත්තේ දෙපල වහලයකි. වහලයට රට උළු සෙවිලිකර ඇත.

(වර්තමාන විහාරයෙහි බිතු සිතුවම් ලයිස්තුව)

ගර්භ ගෘහය තුළ උතුරු දෙසට හිස ලා ප්‍රධාන සැතපෙන පිළිමය පිහිටා ඇත. එහි හිස අසල හිඳි බුදු පිළිමයක් ද සැරියුත් පිළිමය ද දැකිය හැක. ශ්‍රී පාදය අසල හිටි බුදු පිළිමයක් ද මුගලන් ප්‍රතිමාව ද වෙයි. සිවිලිමේ බුද්ධ යන්ත්‍රය ඇඳ ඇත. ප්‍රධාන දොරටුවෙන් විහාර මන්‍දිරයට ඇතුළු වන කෙනෙකු ප්‍රථමයෙන් ම පිවිසෙන්නේ ද්වාර මණ්ඩපයට ය. එහි ඉදිරි බිත්තියේ අලංකාර මකර තොරණකි. වම් සහ දකුණු බිත්ති දෙකේ ම දුටුගැමුණු-එලාර යුද්ධය පිළිඹිබු කරන සිත්තම් දෙකක් ද, මහමායා දේවිය, සුද්ධෝදන රජතුමා, අනේපිඩු සිටුතුමා හා විශාඛා උපාසිකාවගේ බිතු සිතුවම් ද ඇඳ තිබේ. දොරටුව දෙපස ඇතුළු පැත්තේ ඓතිහාසික අඹවැව් වෙහෙරටම ආවේණික කබලෑ දෙවියන්ගේ බිතුසිතුවම් හා පත්තිණි මෑණියන්ගේ සිතුවම ද දක්නට ලැබේ. සිවිලිමෙහි සදෙව්ලොව දසුන් සිතුවම් කර ඇත. ගර්භ ගෘහය වටා ඇති අන්තරාලයේ බිත්තිවල සත් සතිය හා සූවිසි විවරණය නිරූපිත බිතු සිතුවම් වෙයි. අන්තරාලයේ දකුණු පස දොරටුව දෙපස වෙස්සන්තර රජ දරුවන් දන් දීම හා සිද්ධාර්ථ කුමාරොත්පත්තිය පිළිඹිබු කරන ප්‍රතිමා ද, අනෙක් බිත්තිය අබියස මෛත්‍රී බෝසතුන්ගේ හා විෂ්ණු දෙවියන්ගේ විශාල ප්‍රතිමා දෙකක් ප්‍රධාන දේවාලය දෙසට මුහුණලා සිටුවා තිබෙනු පෙනේ.
චෛත්‍යය රාජයාණන් වහන්සේ
විහාර මන්‍දිරය සාදා නිම කිරීමෙන් පසුව, විහාරස්ථානයට අඩුවක් ව පැවති චෛත්‍යය ගොඩනැගීමට කටයුතු කරන ලදි. මේ සඳහා කහටවිල ශ්‍රී සරණංකර නායක හාමුදුරුවන් වහන්සේගේ උපදෙස් මත 1935 දී චෛත්‍යය වර්ධන සමිතිය පිහිටුවා ගනු ලැබීය. එම සමිතියේ මෙහෙයවීම යටතේ චෛත්‍යය ගොඩනැගීම සඳහා විහාර ගෙයට උතුරින් පිහිටි ගල් තලාව තෝරාගන්නා ලදී. එහි චෛත්‍යය ඉදිකිරීම සඳහා සකස් කළ පාදම්වල අද පවා දැකිය හැකි ය.

(චෛත්‍යය ඉදිකිරීම සඳහා කණින ලද වල අද දක්නට ලැබෙන ආකාරය)

මේ අතර කල්යත් ම විහාර ගෙයට දකුණු දිගින් පිහිටා තිබූ පැරණි බෝධිය ඉදිරී වැටිණ. බෝධිය පිහිටි ස්ථානය චෛත්‍යය ඉදිකිරීම සඳහා වඩාත් සුදුසු බව කාගේත් අදහස විය. ඒ අනුව බෝ මුලගලවා ඉවත්කර, එම ස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම සඳහා අත්තිවාරම දමන ලදී. මෙම සිද්ධිය දැනට පහළ ගම පදිංචි 86 හැවිරිදි එච්.එම්.හේරත්බණ්ඩා මහතා විස්තර කරන්නේ මෙසේ ය.

 “දහ දෙනෙකුටවත් වටකරන්න බැරි තරම් බෝධියක් තිබුණා. මුදුනේ තමයි අතු තිබුනේ. ඒක හතර අතට කඩා වැටුණා. දේවාලයේ වහලත් විනාශ වුණා. දේව රූපය විතරක් ඉතිරිවුණා. හාමුදුරුවො සිවුරක් ගෙනත් පටලවල, තල අතුවලින් වහල දේව රූපය ආරක්‍ෂා කරළ තිබ්බා” 

 “චෛතයය සෑදීම සඳහා චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවා ගත්තා නේද 1935?” මම විමසා සිටියෙමි.

“ඔව් සමිතියෙන් එක පවුලකින් ශත දහය බැගින් එකතු කළා. කට්ටිය ගමේ ඇවිදල පිං පොල් ගස් වෙන් කෙරුවා. ඒ ගස්වල ගෙඩි කඩල ඒකත් චෛත්‍ය අරමුදලට ගත්තා. චෛත්‍යය හදන්න වැලි ඇද්දෙ මම. අපේ අළුත් කරත්තෙන්. දැන් ඔය වෙලේ කඩේ ඉස්සරහ වෙල තියෙනවා නේද? ඔතන තිබුනෙ පිට්ටනියක්. ඕක කපල තමයි වැලි ගත්තෙ”

චෛත්‍යයට මුල් ගල තබන ලද්දේ 1943 වර්ෂයේදී ය. 1935 චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවා, වසර අටකට පසුව ය. අද මෙන් ම එදා ද මෙවැනි භාරධූර කාර්යයක් කිරීමේ දී මුදල් හා ශ්‍රමය සොයා ගැනීමේ අපහසුතා පවතින්නට ඇත. අත්තිවාරම් කැපීමේ දී දායකයින් ශ්‍රමයෙන් දායක වූ බව පැවසේ. අත්තිවාරම සඳහා අවශ්‍ය කළුගල් කඩා ගන්නා ලද්දේ පංසල් වත්තෙන් ම ය. සාමාන්‍යයෙන් ස්ථූපයක් ගොඩනගන අවස්ථාවේ, එය ආවරණය වන පරිදි කුළුගෙයක් සාදනු ලැබේ. මෙයින් ගොඩනැගිල්ලටත්, එහි වැඩකරන අයටත් සෙවන සෑදේ. ස්ථූපයේ පාදමට පිටතින් වටේට ම, ඇතුළට ඇලව සිටින පරිදි පුවක් ගස් සිටුවා, පොල් අතු සෙවිලි කිරීමෙන් කුළු ගෙය නිර්මාණය කෙරේ.

අප විහාරස්ථානයේ චෛත්‍යයට, අවස්ථා තුනක දී එනම්, බිම් මට්ටමේ දී, ගර්භය තුළ හා සතරැස් කොටුව යන ස්ථානවල ධාතු නිදන්කර ඇත. මේවා උත්සවාකාරයෙන් සිදුකරන ලද බව පැවසේ. ගමේ දායක පිංවත්හු තම තමන්ට පුලු පුළුවන් සැටියෙන් රන්, රිදී ආභරණ, පිත්තල හෝ රිදියෙන් කරන ලද බුද්ධ ප්‍රතිමා, බෝධි ආකෘති ආදිය නිදන් කිරීම සඳහා පූජා කළහ. ස්ථූපයේ වැඩ අවසන්කර කොත පලඳවන ලද්දේ 1946.06.22 දින උදලාගම නමැති විනිශ්චයකාරතුමාගේ අතිනි. මෙදින ම ගලයායේ පියරතන මාහිමිපාණන් වහන්සේගේ මහණ පිංකම ද සිදු කර ඇත.

(වර්තමාන චෛත්‍යය රාජයාණන් වහන්සේ)

අප විහාරස්ථානයේ ස්ථූපය එතරම් විශාල එකක් නොවන නමුත් අලංකාර නිමාවකින් යුක්ත ය. එහි හැඩය ඝාන්ඨාකාර වේ. ගර්භය මත, සතරැස් කොටුවට පහතින් සතර දිශාවට සිටින පරිදි බෝ කොළ සතරක් අර්ධෝන්නත ලෙස මතුකර තිබේ. ගර්භයේ පහත තීරුවේ තුන්වන පේසාවට ඉහලින් වටේට ම අලංකාර ලියවැල් මෝස්තරයක් කැටම්කර තිබෙනු දැකිය හැකි ය. සතරැස් කොටුවේ උතුරු පැත්තේ චෛත්‍යය ඉදිකළ වර්ෂය සඳහන්වේ. දේවතා කොටුව කෙටි සිලිංඩරයකි. එයමත ද චාම් කැටයක් දැකගත හැකි ය. කොත් කැරැල්ල අඩි 15 පමණ උස ය. එය මත නෙළුම් පෙති මෝස්තරයකින් නිරූපණයකර තිබෙන්නේ චත්‍රාවලියයි. කොත ගෝලාකාර කොටස් දෙකකින් යුක්ත ව පිත්තලෙන් නිමවා තිබේ. එහි අග චූඩාමානික්‍යය ද නිර්මිත ව ඇත.

චෛත්‍යයේ පේසා වලලු තිබෙන්නේ මළුවේ සිට අඩි පහක් පමණ ඉහලිනි. එයින් පහළ කොටස අටපට්ටම් හැඩයෙන් යුක්ත වේ. මෙහි මුහුණත්වලට සිමෙන්තියෙන් කළ සිංහ මූණු කැටයම් සවිකර තිබේ. චෛත්‍යයේ නැගෙනහිර සහ බටහිර පැතිවල මල් හා පූජාභාණ්ඩ තැබීමට ආසන දෙකක් පනවා තිබෙන අතර ඒවා අලංකාර මලසුන් ගෙවල් දෙකකින් ආවරණයවේ. 

චෛත්‍යය වටා ඇති, අඩි සතරක් පමණ පුළුල් ප්‍රදක්‍ෂිණා පථය හෙවත් සලපතල මළුව, වැලි මළුවේ සිට අඩි දෙකක් පමණ උස් මට්ටමක පිහිටියේ ය. එය සිමෙන්තියෙන් කළ වා කවුළු කැටම් සහිත අඩි සතරක් පමණ උස ප්‍රාකාරයකින් ආවරණය වේ. සලපතල මළුවට නැඟීම සඳහා උතුරු, නැගෙනහිර හා බටහිර පැතිවල පඩි පෙල සහිත දොරටු හතරක් තිබේ.

චෛත්‍යයක් ධවල වර්ණයෙන් බබලන්නේ වාර්ෂික ව සුදු හුණු ආලේප කරන හෙයිනි. වාර්ෂික ව නො වුණත් දියසෙවල බැඳී දුර්වර්ණ වනවිට අප චෛත්‍යයට ද හුණු ගෑම සිදු වේ. මෑත භාගයේ සිට හුණු වෙනුවට ඊට වඩා දිගු කාලයක් පවතින සුදු තීන්ත වර්ගයක් ආලේප කරනු ලැබේ. මෙය දායක සභාව විසින් හෝ එහි අනුමැතිය ඇතිව දානපතියන් විසින් සිදුකෙරේ.

ඝණ්ඨාර කුළුණ
විහාරස්ථානයෙහි ඇති ගොඩනැගිලි අතරින් පෞරාණික ගොඩනැඟිල්ලක් ලෙස ඝණ්ඨාර කුළුණ හැඳින්විය හැකි ය. මෙය ඉදිකරණ ලද්දේ කහටවිල ශ්‍රී සරණංකර නා හිමියන් විසිනි. 1943 චෛත්‍යය රජයාණන් වහන්සේට මුල් ගල තබන දින ම මෙම ඝණ්ඨාර කුළුණ වෙනුවෙන් මුල් ගල තබා 1946.06.22 දින වැඩ කටයුතු අවසන් කර උදලාගම නමැති විනිශ්චයකාරතුමාගේ අතින් විවෘත කරන ලදැයි සැලකේ. මෙදින චෛත්‍යය රජයාණන් වහන්සේට කොත පැලදීමේ උත්සවය ද තිබි ඇත. එදින මීට සමගාමි ව මෙය විවෘත කර තිබේ.

(කණු හතරකින් සමන්විත ඝණ්ඨාර කුළුණු)

මෙම ඝණ්ඨාර කුළුණ මෙම ප්‍රදේශයේ ඇති කණු හතරකින් සමන්විත ඝණ්ඨාර කුළුණු අතර උස ම ඝණ්ඨාර කුළුණ ලෙස සැලකේ. මහල් දෙකකින් සමන්විත මෙම ඝණ්ඨාර කුළුණ අඩි 45ට ආසන්න උසින් සමන්විත ය. ඝණ්ඨාර කුළුණ මුදුනත කුඩා චෛත්‍යයක් ඉදිකර ඇත.
ඇඹැව විහාරයෙහි බෝධීන් වහන්සේ

ඇඹැව විහාරයෙහි ඓතිහාසික බෝධි පරම්පරාවක් ඇත. කබලෑ යකු දමනය කිරීම සදහා නවගුණවැල් හත්පොට ඉතිපි සෝ ගාථාවෙන් පිරිත් කළේ ද පළමු කබලෑ දේවාලය පිහිටියේ ද බෝධින් වහන්සේ ඇසුරු කරගෙන ය. බෝධීන් වහන්සේ ආශ්‍රිත ව ගම්භාර සිද්ධ කබලෑ මුල් දේවතාවාගේ ජීවිතය සකස් වූ නිසා රුක් දේවතාවෙකු වශයෙන් යම් යම් අය සලකන බව ද පෙනේ. අදද දේවාලයේ කටයුතුවලට බෝධිය ප්‍රධාන වේ. වර්තමාන බෝධීන් වහන්සේට පෙර ඉතා පැරණි බෝධීන් වහන්සේ නමක් තිබී ඇත. එය එක් අවස්ථාවක ඇති වූ අධික සුලං තත්ත්වයක් නිසා පැරණි කබලෑ දේවාලය මතට කඩා වැටී ඇති අතර එමගින් දේවාලයෙහි පැරණි වහලයට දැඩි ලෙස හානි වී ඇත. ඒ බව එවකට විහාරාධිපති සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කහටවිල ශ්‍රී සරණංකර හිමියන්ගේ අත් සටහන්වල සඳහන් ව ඇත. මෙම පැරණි බෝධීන් වහන්සේ පැරණි කබලෑ දේවාලයෙහි වහලයට මතට කඩා වැටුණු අවස්ථාවේ බෝ වෘක්ෂයෙහි අතු දෙකක් අතර දැනට පවතින පැරණි කඹලෑ දෙවියන්ගේ ප්‍රතිමාව බේරී තිබේ. මෙම අවස්ථාවේ පැරණි දේව ප්‍රතිමාවට කිසිදු හානියක් සිදු වී නොමැති අතර පසුව එවකට විහාරාධිපති කහටවිල සරණංකර හිමියන් තමන් වහන්සේගේ සිවුරු රැගෙන ගොස් දේවතා පිලිමය වැසෙන සේ සිවුරුවලින් වසා වටේට තල අතුවලින් ආවරණය කොට ඇත. මෙය ආශ්චර්යජනක සිද්ධියක් ලෙස නාහිමියන් විශ්වාස කර තිබේ. මන්ද, ඒ අවස්ථාවෙහි චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කිරීමට සූදානම් ව සිටියේ විහාරයට උතුරු දෙසින් වන අතර ඒ සඳහා මූලික අත්තිවාරම දැමීමට අවශ්‍ය වූ පාදම්වල ද ගලෙහි ම ඉදිකර ඇති අවස්ථාවකයි. ඉන් පසුව එවකට විහාරාධිපති හිමියන් තීරණය කළේ මේ දෙවියන්ගෙන් දැක් වූ පෙරනිමිත්තක් ලෙස යි. වහා චෛත්‍යය විහාරයට උතුරු ප්‍රදේශයෙහි තැනීම අත්හිටුවා පසුව එය විහාරයෙන් දකුණු දෙසට එනම් වර්තමානයේ චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදි කරන ලද ස්ථානයට රැගෙන ගොස් තිබේ. අද එය කබලෑ දෙවියන්ගේ ඓතිහාසික පිළිමයට එනම් පැරණි දේවාලයට ඉහළින් ඉදිකර තිබේ. කබලෑ දෙවියන් මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ අද ද වන්දනාමානයට පැමිණෙන බව බොහෝ බැතිමතුන්ගේ විශ්වාසය බවට පත්ව ඇත.

ඉහත මෙම ස්ථානයෙහි චෛත්‍යරාජයාණන් ඉදිකිරීමෙන් අනතුරු ව සුළඟට කඩා වැටුණු පැරණි බෝධීන් වහන්සේගේ ආදාහනයෙන් අනතුරුව ඇඹැව විහාරයෙහි පූජාභූමි පරිසරයෙහි නැගෙනහිර වන්නට වෙල්යාය අද්දර බෝධීන් වහන්සේ රෝපණය කර තිබේ. කබලෑ දෙවියන් මෙම බෝධීන් වහන්සේ වන්දනා මානයට බොහෝ ඇල්මක් දක්වන බවත්, එකී බෝධීන් වහන්සේ වන්දනා කරන්නන්ට බොහෝ රැකවරණයක් සපයන බවත් ගම්මු බොහෝ සෙයින් විශ්වාස කරනු ලබයි.

(ඉතා අලංකාරය වර්තමාන බෝධීන් වහන්සේ )

වර්තමාන බෝධීන් වහන්සේ ඉතා අලංකාරය බවක් උසුලන අතර එහි බෝ කොළ ඉතා කුඩා ය. වැල් ආකාරයෙන් බෝ අතු විහි දී තිබේ. වසරකට දෙවතාවක් බෝ කොල වැටී යන අතර බෝ කොළ වැටෙන්නේ එක කොටසක් වැටී අවසන් ව අනෙක් අතුවල පසුවට බෝ කොල වැටි යළි කොළ සම්පූර්ණ ව දලු ලන විට බෝ ගස හරිත වර්ණාලෝකයෙන් බැබළේ.

බැතිමතුන් රාශියක් මෙම බෝධීන් වහන්සේ වන්දනාවට පැමිණෙන අතර දුර කතර ගෙවාගෙන පැමිණ දෛනික ව බෝධිපූජා ඉටු කිරීමට වැඩි ඇල්මක් දක්වති. බෝධීන්වහන්සේ වරම් ලැබූ දේවගැති කපුමහතුන් බෝධින් වහන්සේ වන්දනා කර කබලෑ දෙවියන්ට පින් පැමිණිය යුතු බවට ද විශ්වාසයක් ඇත. බොහෝ සෙනසුරාදා සහ බදාදා දිනයන් යම් ආලෝක දහරාවක් මෙම බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට පතිත වන බව බොහෝ දෙනෙකු දැක ඇති අතර මධ්‍යම රාත්‍රියෙහි ද හිමිදිරි පාන්දර ද බෝධිය වන්දනයට ඒ උදවිය වැඩි ඇල්මක් දක්වති.

මෙහි වන්දනාමානයට පැමිණෙන ඔබෙන් මේ අවස්ථාවේ දී ඉල්ලීමක් කිරීමට අප බලාපොරොත්තු වෙමු. බෝධීන් වහන්සේ වන්දනාවට පැමිණෙන බොහෝ පිරිස් කොඩි වැල් පඬුරු, මල්වැල් බැඳීම නිසා බෝධීන් වහන්සේගේ පහළ බෝ අතු අපවත් වීමේ අවදානමකට පත්ව ඇත. මෙසේ බඳිනු ලබන අවස්ථාවල දී ගැට ගසන නූල්, රෙදි කැබලි මගින් එම හානිය සිදුව තිබේ. එසේ ම බෝධීන් වහන්සේට පැන් කල දැමීමේ දී යොදනු ලබන රසායනික යෙද වූ සුවඳ කුඩු වර්ග ද, බෝධීන් වහන්සේට හානිය ගෙන දෙන්නක් බව ද සිහියේ තබා ගැනීම වැදගත් ය.

පරණ බණ මඩුව

අප විහාරස්ථානයේ දැනට තිබෙන ධර්ම ශාලාව තනන්නට පෙර, ගම්වාසීන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළේත්, සමිති සමාගම් සහ දහම් පාසල පැවැත්වූයේත් පරණ බණ මඩුවෙහි ය. එය ගැමි ජනතාවගේ ආගමික, අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය වූ හෙයින්, දැනුදු එහි මතක සටහන් ගමෙහි පැරණි මිනිසුන්ගේ හදවත් තුළ රැඳී පවතී.

අපවත් වී වදාළ විහාරාධිපති ගලයායේ පියරතන අප ගුරු හිමියන්ගෙන් සහ ගමේ වැඩිහිටියන්ගෙන් ඒ ඒ අවස්ථාවල දැනගන්නට ලැබුන ආකාරයටත් පරණ බණ මඩුව සම සතරැස් ගොඩනැගිල්ලකි. එහි සතර අතට දොරටු සතරක් තිබුනි. ප්‍රධාන දොරටුව එනම් උතුරු පැත්තේ දොරටුව පැරණි සංඝාවාසය දෙසට යොමු ව තිබූ අතර, එයට සම්බන්ධ පෝටිකෝවක් වැනි පැන්නුමක් තිබුනි. මිටි, දෙපලු දොර සවිකර තිබුනේ පෝටිකෝව කෙළවරට ය. ධර්ම දේශනය සඳහා ස්වාමීන් වහන්සේලා වැඩම කළේ මෙම දොරටුව තුළිනි. ධර්ම ශාලාව මැද අඩියක් පමණ උස වේදිකාවකි. එහි සතරපල වහලය උස කුළුණු සතරකින් දරා සිටි අතර, එය වහලයේ අනෙක් කොටසට වඩා ඉහලින් තිබුනි, වහලය මුදුනේ මැටි කොතක් විය. පහත වහලය ද පල සතරේ එකකි. වහල සෙවිලි කර තිබුනේ රට උළු වලිනි. වේදිකාව කොටසේ බිම සිමෙන්ති දමා සකස්කර තිබුණු අතර, සෙසු ගෙබිමට ගොම මැටි ගා තිබුනි. වර්ෂයකට වරක් ගමේ කාන්තාවන් එක්ව බණ මඩුවේ ගෙබිම ගොම ගා සකස් කළ බව කියනු ලැබේ. බණ මඩුවේ මණ්ඩපයේ කුළුණු සතර මෙන් ම බිත්ති ද මැටිවලින් කපරාරු කර, සුදු හුණු ආලේප කර තිබුනි. ගොඩනැගිල්ල තුළට හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන පරිදි, සතර වටේ ම බිත්තිවල බිම සිට අඩි තුනක් පමණ ඉහලින් අර්ධ කවාකාර කවුළු සාදා තිබුනි. ධර්ම දේශනා සහ වෙන්දේසි පවත්වන අවස්ථාවල ගමේ තරුණයෝ මෙම කවුළු අසල සිට ඒවා නැරඹූහ.

අද මෙන් නොව එකල සෑම පසළොස්වක පොහෝ දිනක ම පාහේ විහාරස්ථානයේ ධර්ම දේශනා පැවැත්වුනි. මේ සඳහා දිවයිනේ නම ගිය ධර්ම දේශකයානන් වහන්සේලා පවා වැඩම කළහ. ගමේ හා අවට ගම්වල විශාල පිරිසක් රාත්‍රී කාලයේ ධර්ම ශ්‍රවණය සඳහා පැමිණියහ. ඔවුහු ධර්ම ශාලාවේ තමන්ට නියමිත පැත්තේ පැදුරු එලා වාඩිවී ධර්ම දේශනයට සවන් දුන්හ. කබලෑ දෙවියන් වෙනුවෙන් ආවතේන කුල වෙන්වෙන් බණ මඩුවේ විශේෂ තැනක් යොමු වූයේ කබලෑ දෙවිදු වෙනුවෙන් පිං පැමිණ වීමට එම කුල එකතුව බොහොම වැදගත් විය. එමනිසා බණ මඩුවේ උතුරු පැත්ත ගොවිගම කුළයට ද, නැගෙනහිර පැත්ත වහුම්පුර කුළයට ද දකුණු පැත්ත ආචාරි කුළයට ද, බටහිර පැත්ත රදා කුළයට ද වෙන් වී තිබුන බව අපවත් වී වදාළ විහාරාධිපති ගලයායේ පියරතන අප ගුරු හිමියෝ පවසා ඇත. ස්වාමීන් වහන්සේ වේදිකාව මත පණවන ලද ධර්මාසනයේ වැඩ සිට දහම් දෙසූ අතර, ප්‍රධාන උපාසක මහතා උන්වහන්සේ පසෙක බිම පැදුර එලා වාඩි වී සිට ”එහෙයි හාමුදුරුවනේ” කියමින් හූවිටි තැබීය. දායක සමිතිය හා වෙනත් සමිති සමාගම් ද, ඉරුදින දහම් පාසල ද එකල බණ මඩුවෙහි පවත්වන ලදී. ඇඹව පාසල මුලින් ම ආරම්භ කරණ ලද්දේ ද අප බණ මඩුව තුළ ය.

පැරණි බණමඩුව ඉදිකරණ ලද ආකාරය පිළිබඳ ව දැනට ජීවතුන් අතර සිටින කිසිවකු දන්නා බවක් නො පෙනේ. ඒ අනුව එය විහාරස්ථානයේ තිබූ මුල් ම ගොඩනැගිලිවලින් එකක් ලෙස සැලකිය හැකි ය. වර්ෂ 1875 හිමිකම් පිඹුරෙහි ද 1925 ගම් ප්ලෑනයෙහි ද මෙය සලකුණු කර තිබෙන හෙයින් මෙම ගොඩනැගිල්ල එම වර්ෂයට පෙර ඉදිකරන ලද්දක් බව පැහැදිලිය. 1965 දී පමණ දැනට තිබෙන ධර්ම ශාලාවේ වැඩ අවසන්කර එය භාවිතයට ගැනීමෙන් පසුව, පරණ බණමඩුව කඩා ඉවත්කරන ලදී. එහි උළු වලින් කොටසක් ණයදෙන සමිති ශාලාවේ වහලයට තබා ඇත.

ධර්ම ශාලාව
අප විහාරස්ථානයේ දැනට තිබෙන ධර්ම ශාලාව ඉදිකරවන ලද්දේ කහටවිල සරණංකර නායක හාමුදුරුවන් විසින් 1960 ගණන්වල ය. (1964 ශාසනාරක්‍ෂක මණ්ඩලය මගින් ආරම්භ කළ ධර්මශාලා ගොඩනැගිල්ල 1965 වනවිට අවසන් වූ බව කහටවිල ශ්‍රී සරණංකර චරිතාපදානයේ දැක්වේ) එය අඩි අසූවක් ප්‍රමාණයේ ශාලාවකින් හා එයට අනුබද්ධ ව බටහිර දිශාවෙන් පිහිටි කාමරයකින් යුක්ත වේ. කාමරයට ඉහලින් වන දෙවන මාලය පොත් ගුල සහ ධාතු මන්දිරය වේ. මෙහි බෞද්ධ පොත පත හා පුස්කොල පොත් රාශියක් තැන්පත් කර තිබේ.

(ධර්ම ශාලාව විවෘත කරන ලද අවස්ථාවේ ගත් ඡායාරූපයක්)

ධර්මශාලාවේ සතර පල වහලය හැඩ කඩා කොටස් දෙකකින් යුක්ත ව නිමකර තිබේ. උසින් වැඩි, තද බෑවුම් සහිත මැද වහලය දරා සිටින්නේ ශාලාව තුළ පිහිටි කුළුණු පේලි දෙකක් මත තනා ඇති අට්ටවාල කූඩුවකිනි. වහලයේ පහත කොටස අට්ටවාලයේ සිට ශාලාවේ බිත්තිමත තැන්පත් කෙරුණු යට ලී පෙළ දක්වා විහිදුනු පරාල මගින් දරා සිටී. එය අඩු බෑවුමකින් යුක්ත වේ. ධර්ම ශාලාවේ ධර්මාසනය සඳහා ඉදිකෙරුණ අඩි එකහමාරක් පමණ උස වේදිකාව බටහිර අන්තයේ පිහිටා තිබේ. මිදෙල්ලේ අබේසීල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වේදිකාව මත කොන්ක්‍රීට් කණු සිටුවා පියස්සක් ඉදිකර ධර්ම මණ්ඩපයක් තනවන ලදී. එය ඉරුදෙණියේ සිරිරතන හිමියන්ගේ උපසම්පදා උත්සවය පැවැත්වුනු 2013.06.08 ශනි දින සංඝරත්නයට පූජා කෙරින. ධර්මශාලාවේ උතුරු බිත්තියට යාව 2009 දී දහම් පාසල සඳහා තහඩු සෙවිලිකරණ ලද එළිමහන් ශාලාවක් ඉදිකරන ලදී.

(ධාතුමන්දිරය සහිත ධර්මශාලාව)

පොහෝ දින සීල ව්‍යාපාර සහ භාවනා වැඩ සටහන්, දානමය පිංකම්, දායක සභා රැස්විම්, ස්වේච්ඡා සංවිධානවල රැස්වීම්, ඉරු දින දහම් පාසල පැවැත්වීම ආදි කටයුතු සඳහා ධර්ම ශාලාව යොදාගැනේ. දේවාලයේ පූජාවන් සඳහා දුර බැහැරින් එන අය දැනට නවාතැන් ගන්නේ ද ධර්ම ශාලාවෙහි ය.
සංඝාවාසය
අප විහාරස්ථානයේ දැනට තිබෙන සංඝාවාසය ඉදිකරවන ලද්දේ හිටපු විහාරාධිපති කහටවිල සරණංකර නායක හාමුදුරුවන් වහන්සේ විසිනි. ඒ සඳහා එකල භාවිතා වූ මුදලින් රුපියල් විසිදහසක් වැය වූ බවත්, එහි වැඩ අවසන්කර වර්ෂ 1950 දී විවෘත කළ බවත් අපවත් වී වදාළ විහාරාධිපති ගලයායේ පියරතන අප ගුරු හිමියෝ පවසා ඇත. (1949 පුණ්‍යවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් ආරම්භ කළ සංඝවාස ගෘහයේ වැඩකටයුතු 1952 වනවිට අවසන් වූ බව කහටවිල ශ්‍රී සරණංකර චරිතාපදානයේ සඳහන්වේ).

(සංඝාවාසය විවෘතය)

සංඝාවාසය ඉස්තෝප්පුවකින්, ශාලාවකින් හා ශාලාව දෙපස පිහිටි කාමර පේලි දෙකකින් යුක්ත වේ. මුළු කාමර ගණන හතකි. දාන ශාලාව හා ගොඩනැගිල්ලේ සෙසු කොටස් අතර, මැද මිදුලක් ඇත. ප්‍රධාන ගොඩනැගිල්ලට පිටුපසින් කාමර තුනකින් යුත් මුළුතැන් ගෙය පිහිටියේ ය.

(පැරණි සංඝාවාසය)

මල් ආසනය
විහාරස්ථානයේ මල් පහන් පූජාවන් සංවිධානය කිරීම පිණිස යොදාගන්නා මල් ආසනයක් මුල් කාලයේ සිටම විහාර මංදිරය අසල පිහිටා තිබුනි. එය ඉවත්කර එම ස්ථානයේ මලසුන් ගෙයක් සෑදීමට දායක සභා විසින් තීරණය කරණ ලදී. එක් පවුලකින් රුපියල් 15 බැගින් අයකර තනන ලද මෙය විවෘත කරණ ලද්දේ 1986 දී ඊ.එම්.අප්පුහාමි මහතා අතිනි.

(වර්තමාන මල් ආසනය)

අටවිසි බුදු කුටි

අප විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රාකාරයට සම්බන්ධ ව එහි උතුරු පැත්තේ කුඩා බුද්ධ ප්‍රතිමා තැන්පත් කෙරුණු කුටි විසි අටක් ඉදිකර තිබින. මුලින් බෝධිය වටා සාදන්නට යෝජනා කෙරුණු නමුත්, 1992 ජූලි මාසයේ දී මේවා චෛත්‍යය වටා තනන්නට තීරණයකර තිබේ. 1992 සැප්තැම්බර් 11 පෙ.ව. 6.14 ට යෙදුණු සුභ මොහොතින් මුල්ගල තබන ලදුව, වැඩ නිමකර විවෘත කරණ ලද්දේ 1994 අප්‍රියෙල් 23 වනදා ය. පසු කාලීන ව ඒවාට වීදුරු ආවරණ යෙදීම, විදුලි ආලෝකය සැපයීම, වරින් වර විදුලි පද්ධතිය අළුත්වැඩියා කිරීම වැනි කටයුතු දායක සභාව විසින් සිදුකරණ ලදි.

2016 අවසාන භාගයේ විහාර භූමියේ ගල් තලාව මත ඉදිකර තිබෙන හිටි බුදු පිළිමය ඉදිරිපිට භූමි භාගය පස් පුරවා මට්ටම් කිරීමෙන් පසුව එහි අටවිසි බුදු කුටි තනන්නට ද, අටවිසි බෝධි රෝපණය කරවන්නට තීරණය කළහ. ඒ සඳහා දේවාලයට පැමිණෙන අයගෙන් මෙන් ම ගමේ දායකයන්ගෙන් ද අනුග්‍රහය ලැබින. 2017 ජූනි මාසයේ බුදු කුටි විවෘත කරණ ලදී. මේ සදහා රුවන් සාලුක ජයලත් මහතා මූලික කටයුතු මෙන් ම අවසන් වනතුරු ම ලබාදුන් දායකත්වය විශේෂයෙන් සිහිපත් කළ යුතු ය.

(අභිනවයෙන් ඉදි වූ අටවිවිසි කුටි)

අප විහාරස්ථානයේ පැරණිම ගොඩනැගිලි අතර දේවාල ගොඩනැගිල්ල ප්‍රධාන වේ. එය කබලෑ දේවාලය පිළිබද ව සාකච්ඡා කරන කොටසේ සාකච්ඡා කර තිබේ.
ඇඹව විහාරයෙහි පුස්කොළ පොත් සාහිත්‍යය
අප ඇඹව මහා විහාරය ඉතා ම ඓතිහාසික විහාරස්ථානයකි. ඒ බව ඔප්පු කරගත හැකි සාධක අතර පුස්කොළපොත්වලට හිමි වන්නේ ඉතා ම වැදගත් ස්ථානයකි. අප විහාරස්ථානය සතු ව විශේෂ පුස්කොළ පොත් රාශියක් පවතී. ඉතා වටිනා දැනුම් සම්භාරයක් මේ තුළ අන්තර්ගත නිසා සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් වන අතර දැනටමත් ඒ කටයුත්ත වෙනුවෙන් අප විශේෂ අවධානයක් යොමු කොට ඇත.

(ඇඹව විහාරයෙහි ඇති පුස්කොළ පොත් වහන්සේලා)

වර්තමානයේ මෙන් කඩදාසි හෝ මුද්‍රණ ශිල්පය නො තිබුණ පුරාතණයෙහි මිනිසුන් තම දැණුම් සම්භාරය ගබඩා කිරීමටත්, අසූහාරදහසක් ධර්මස්කන්ධය නොනැසී චිරාත් කාලයක් පැවතීමටත්, තමන් දැන උගත් වෛද්‍ය ශාස්ත්‍රය, නක්ෂත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍ර, ශාන්ති කර්ම මතු පරපුරට උරුම කර දීමටත් ගත් වෙහෙස එම උත්සාහයේ ප්‍රතිඵල අද අපට අත්විඳිය හැකි ය. මෙම පොත්වලට ඔවුන් තුළ පිහිටි ගෞරවය ද අති මහත් ය. මෙම ‘පොත්වහන්සේලා‘ ලියූ ලේඛකයන් විසින් ඒවා ලියන ලද්දේ මුදල් හදල් ඉපයීමට නොව, හුදෙක් පිං සළකා, පරාර්ථ චරියාවෙන්ම ය. ඒ බව පොත් අවසානයෙහි සඳහන් කර ඇති මෙවැනි වාක්‍ය වලින් පසක් වෙයි.

මහනුවර යුගය වන විට නිර්මල බුදු දහම අනතුරට පත් වෙමින් තිබුණි. එනමුදු එකල විසූ ගිහි පැවිදි පඬිවරුන්ගෙන් සිදු වූ අමිල මෙහෙය නම්, බුදුදහම පුස්කොළ පොත් වල ලියා තැබීම යි. විශේෂයෙන් එම යුගයෙහි විසූ ගනින්නාන්සේලාගෙන් මෙම කාර්ය ඉතා මැනවින් ඉටු විය. ඔවුන් ඒවා ලීවා පමණක් නොව පන්සල්වල පොත්ගුල් පවත්වා ගෙන යමින් ඒවා සුරක්ෂිත කිරීම ගත් උත්සාහය ප්‍රසංසනීය වෙයි. වසර දහස් ගණනක් වුව ද මෙම පොත් විනාශ නොවී පවතින්නේ . ඒවා නිපදවීමේ දී අනුගමනය කරන ලද නිවැරදි තාක්ෂණික ශිල්පීය ක්‍රමවේදයන් නිසා බව පිළිගත යුතු ය. පැරණි සම්භාව්‍ය ලේඛකයන් විසින් ලියන ලද අගනා පුස්කොළ පොත්වලින් වැඩි කොටසක් අද දැකිය හැකි වන්නේ ආසියාතික මෙන් ම, බටහිර කෞතුකාගාරවල බව වීම ඛේදනීය තත්ත්වයකි.

ඇඹව විහාරයෙහි සුරක්‍ෂිත ව ඇති පුස්කොළ පොත් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

(පන්සියය පනස් ජාතක පොත් වහන්සේ)

(කුඳු ගොත් සඟිය)

(සද්ධර්ම රත්නාකරය)

(අනාගතවංශ දේශනාව)

(මහාවග්ග පාළිය)

(චුල්ලවග්ග පාළිය)

(ඝටිකාර සූත්‍ර සන්නය)

(රසවාහිනි)

(ධර්ම ප්‍රදීපිකාව)

ඉහත මෙම සියලු කරුණුවලට අනුව විහාරස්ථානයෙහි පවතින පෞරණිකත්වය මනාව හදුනාගත හැකි ය. මෙහි ඓතිහාසික ව සිට වර්තමානය වන තෙක් ම පැමිණි ගමන් මග ඉතා පැහැදිලි ව දැක්වීමට තොරතුරු අප සතු අතර, අප විහාරස්ථානය දැනට වසර 265 ලිඛිත ඉතිහාසයක් ඇති පුණ්‍ය භූමියකි. ජනප්‍රවාදයෙන් ගම්පොල යුගය වන තෙක් දිවයයි. එසේ ම ලිඛිත ඉතිහාසයක් අප ප්‍රදේශයේ විහාරස්ථාන එකකට දෙකකට හැරුණු විට බොහෝ ප්‍රමාණයකට නොමැති අතර පැහැදිලි ගමන් මගක් වර්තමානය දක්වා මෙම ඓතිහාසික අඹවැව් වෙහෙරෙහි හදුගැනීමට අවකාශය ලැබේ.