කඹලෑ පටුන

ගම්භාර සිද්ධ කබලෑ මුල් සුනියම් දෙවියන් පිළිබඳ ව තොරතුරු අන්තර්ගත වන්නේ කබලෑ පටුන නම් පෞරාණික කවි පොතෙහි ය. මෙහි සූනියම් දේවතාවුන් වහන්සේගේ උපත පිලිබඳ ව හා ලංකාවට පැමිණි අන්දම මෙන් ම වඩිග යකු කබලෑ යකු වූ ආකාරය ආදී ශීර්ෂ යටතේ මෙය ලියැවී ඇත. මෙහි අන්තර්ගත යම් යම් ජනප්‍රවාදාත්මක කරුණු තෙලිඟු මන්ත්‍රකරුවන් ඇතුළු ඉන්දියාවේ සිට පැමිණි යම් යම් අයගේ ආවර්ජනා සමගින් එකතු වූ බව දැක්වේ.

මෙම කබලෑ පටුන මුලින් ම ලියා තබා ඇත්තේ පුස්කොළ පොතක් තුළ ය. මෙහි පළමු කබලෑ පටුන තුළ යන්ත්‍ර මන්ත්‍ර අන්තර්ගත නිසා එය යම් යම් වැරදි උදවිය අතට පත් වේ ය යන බියෙන් පැරැණි උදවිය එම පොත දේව මාලිගයෙහි ඇති පිළිම වහන්සේ තුළ තැන්පත් කරන ලද බව ජනප්‍රවාදය තුළ එයි. මෙසේ තැන්පත් කරන ලද ග්‍රන්ථයෙහි මිනිසාට හානි නොවන ප්‍රකාශන පමණක් වෙන් කරන ලද පුස්කොළ පොතක සටහන් කරගත් බවත්, එය දේවාලය හා සම්බන්ධ පාරම්පරික වතාවත් කරනු ලබන උදවිය අතට පත් වූ බවත් සඳහන් වේ. එසේ වුවත් එම අන්තර්ගතයන් දේවාල තේවාකරුවන් අන්සතු කිරීමට අකමැත්තක් දක්වන බව පෙනේ.

කබලෑ දේවාලයෙහි කපුමහතුන් මායම් වීම උදෙසා බෙර සහ උඩැක්කි වාදනය සමගින් මෙම කබලෑ පටුනෙහි කවි ගායනා කෙරේ. තේවා කටයුතුවල දී අද ද මෙම කඹලෑ පටුනෙහි කවි ගායනය අනිවාර්යෙන් ම සිදු කරන කටයුත්තකි. මෙම දේවාලයෙහි කඹලෑ පටුන ගායනා කිරීමට පාරම්පරික පිරිසක් ද පැවති බව සඳහන් වේ. කේ. බී ඥානප්පු නයිදේ, කේ. බී සිඤ්ඤප්පු නයිදේ යනාදීන් ඒ අතර දැක්විය හැකි ය. මේ නිසා කඹලෑ පටුන දේවාලයෙහි තේවා භාරකරුවන් අතට පත් වී ඇත.

මෙම කබලෑ පටුන පිළිබඳ ව තොරතුරු ප්‍රමාණයක් සිංහල විශ්වකෝෂයේ අන්තර්ගත ව ඇති බව පෙනේ. එම සඳහනට අනුව පෙනෙන්නේ මෙය කෝට්ටේ යුගයෙහි හෝ මහනුවර යුගය තුළ රචනා කරන්නට ඇති බව යි. මෙයිනුත් මහනුවර යුගය වන විට විවිධ විෂය ක්‍ෂේත්‍ර යටතේ ග්‍රන්ථ රචනා වූ බව දැක්විය හැකි ය. ඒ අතර දහ අට සන්නිය, සොකරි කතාව, පත්තිනි හෑල්ල, තලමල් කවි ආදිය දැක්විය හැකි ය. එසේ ම යක්ෂ දෝෂ හා ග්‍රහ දෝෂ දුරු කරනු වස් යන්ත්‍ර මන්ත්‍ර, දේව යදිනි, ශ්තොත්‍ර ආදී විෂය ක්‍ෂේත්‍ර ද ඒ අතර හඳුනා ගැනීමට අවකාශ ලැබේ. සිංහල විශ්වකෝෂයෙහි සඳහන් වන ආකාරයට කබලෑ පටුනෙහි කවි හතලිස් දෙකකින් සමන්විත බව දැක්වේ. එහෙත් දැනටමත් පරම්පරා අතර ඊට වැඩි බොහෝ කවි ප්‍රමාණයක් දක්නට ලැබේ. එම නිසා එය මුල් පොත විය නො හැකි ය.

කබලෑ පටුනෙහි අන්තර්ගතය ශීර්ෂ කිහිපයක් යටතේ වර්ග කළ හැකි ය.

  1. අවසර ගැනීම
  2. ආරාධනා කවි
  3. මන්ත්‍ර පොත
  4. මන්ත්‍ර පොත ලක්දිවට වැඩමවීම
  5. නින්දගම් කොටුව
  6. ඉනා මදන බන්ධනය
  7. රූකඩ කටු ජීවම
  8. කටුසර ජීවම
  9. කුමාර පිල්ලිය

අතීතයෙහි සිට ම කවි පොතක් ලියන විට ආරම්භ කරන ලද්දේ තුනුරුවන් වැදීමෙනි. ලෝවැඩ සඟරාව, බුදුගුණාලංකාරය, ගුත්තිල කාව්‍ය වැනි ග්‍රන්ථ ද පිරික්සීම තුළින් ඒ බව මනාව හඳුනා ගැනීමට අවකාශ ලැබේ. එහෙත් ඒ කබලෑ පටුන දෙවියන් මුල්කරගත් ඔඩ්ඩිස මන්ත්‍ර පොත හා සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේගේ උපත පිළිබඳ ව කරුණු දැක්වෙන අතර බුදුන්, දහම්, සඟුන් සේ ම විෂ්ණු, කතරගම, පත්තිනි, දැඩිමුණ්ඩ, කබලෑ ආදී දේවතාවුන් වහන්සේලා වැඳීම ද සිදු කෙරේ.

මුනි සඳ තිලෝගු              රු

දෙසු දම් ලොවට අමයු        රු

සඟ ගණ ගුණ ගැඹු            රු

වඳිම් අදරින් නමා නිරතු        රු

 

සක් සුර බඹා නෙ               නි

කිහිරැල් විෂ්ණු දෙවිය            නි

කඳකුඹරු පතිනිය                නි

වරං දෙන් මට සියලු දෙවිය      නි

 

සුරන් වැඳ                     කබලෑ

නරන්ගේ දුක                   දුරලෑ

නරන් මට                      නුමුලෑ

හරින් උවදුරු මේ ඔබ          කබලෑ

කබලෑ පටුනෙහි රචකයා කවුද? යන්න පිළිබඳ ව සඳහන් ව නැත. එහෙත් කබලෑ පටුන රචනා කරන ලද රචකයා පෙර ලෙස පැවත ආ කරුණු මතක් කරමින් මෙම කබලෑ පටුන රචනා කරන ලද බව විශ්වාස කළ හැකි ය.

උපත කබලෑ              වේ

පැවත ආ ලෙස කී        වේ

සිරිත පෙර පෑ             වේ

උපත පවසන් එ කබලෑ    වේ

 

තෙදින් මෙ නර ලොව පවතින     සරණා

උතුම් මේ දඹදිව සිරි ලක           දෙරණා

පසන් සිතින් සව් සිරි දී             කරුණා

අසන් යකුනි, තෙද කබලෑ           පටුනා

එම නිසා කබලෑ දෙවියන් පිළිබඳ ව බොහෝ කාරණා වත්මනෙහි සමාජ ගත වන්නේ මෙම කබලෑ පටුන මුල් කරගනිමිනි. එය ඇසුරු කරගනිමින් කබලෑ සිද්ධ සූනියම් දෙවිඳු පිළිබඳ ව බොහෝ තොරතුරු දැක්වේ. ඔඩ්ඩිස නැමැති මන්ත්‍ර පත පිළිබඳ ව හා එය ලංකාවට පැමිණි ආකාරය පිළිබඳ ව කබලෑ පටුනෙහි කරුණු දැක්වේ. එම කබලෑ පටුනෙහි අන්තරගත කරුණු ද, ප්‍රාදේශීය ජනප්‍රවාද සමගින් ඒවා ද දායක කරගනිමින් මෙම ග්‍රන්ථය තුළ කරුණු සාකච්ඡා කෙරුණි.

ඉහත මෙම කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී සම්භාව්‍ය කෘතියක් නො වුණත් උගතුන්ගේ පවා අවධානයට ලක් වී තිබෙන ඉතා වැදගත් කවි පොතකි. මේ හරහා කබලෑවේ අනන්‍යතාවය මනාව පිළිබිඹු කරනු ලබන අතර එමගින් දෙවියන් පිළිබඳ ව බැතිමතාට අප්‍රමාණ භක්තියක් ඇති කිරීමට සමත් ජනකවි ලක්ෂණ, දකුණු වන්නියට ආවේණික බස් වහර පවා විදහාපානු ලබන ඉතා මිහිරි වාග් එකතුවක් ඇති කවි පිංචකි.