කබලෑ දෙවිඳු

සිද්ධ කබලෑ, මුල් සූනියම් දේවතාවුන් වහන්සේගේ උපත

කබලෑ දෙවිඳුගේ උපත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එය ඓතිහාසික භාරතය වන තෙක් ම දිව යනු පෙනේ. මොහුගේ එම ඓතිහාසික කතාව ආත්ම වශයෙන් එකිනෙක බැඳී පවති. යක්ෂයා වන්නට පෙර ලබා තිබූ මනුෂ්‍ය ජීවිතයෙහි සිදු වූ ක්‍රියාකාරකම් ඔහුගේ සංසාරික ගමන වෙනත් මගකට යොමු කරන්නට හේතු විය. මුලින් උපත ලැබුවේ තෙලිගු රට වඩිග පුරයේ වඩිග රජුගේ කුමරා ලෙස ය. මානුෂීය ගුණධර්ම අතින් අගතැන්පත් කුමරු සැම සියලු දෙනාට ම සිය කාර්යයන් නිවැරදි ව ඉටු කරමින් ඔහුගේ ජීවිතය ගත කළේ ය. ඔහුගේ මව වූයේ කමලදේනු බිසව යි (සූ සැට සටන් කලාවෙන් අගතැම්පත් වූ පරපුරක රණශූරයෙකුගේ දියණියකි. මැය ද රණකාමි රණශූරියක් ලෙස හැදින්වේ). ඔහු ඉතා දක්ෂ කුමාරයෙකි. මෙම කුමරා දැවැන්ත ගණිත ඥානයකින් යුක්ත අයෙක් විය. ගණිත ඥානයත්, එම ගණිත ඥානය හරහා යන්ත්‍ර, මන්ත්‍ර තුළ වන ක්‍රියාකාරීත්වයත් පිළිබඳ ව ඔහුට ප්‍රාමාණික දැනුමක් විය. එම දැනුම කොපමණ ද යත් පවතින කාලය තුළ සිදුවෙන සිද්ධිදාමය ගණිත ශාස්ත්‍රය තුළ ගලපමින් ඉදිරි කාල හෝරාව තුළ සිදුවන්නේ කුමක්ද? යන්න ක්ෂණයකින් ප්‍රකාශ කිරීමට ඔහුට හැකි විය. ඔහු සතු මෙම ඥානය ඔහු භාවිතා කළේ යම් යම් මිනිසුන්ට වින කිරීමට නොව සෙත ශාන්තිය උදාකරමින් මනුස්සකම් පූර්ණ වතාවතක් කරා ගෙන ඒමටයි.

එක්තරා දවසක මොහු අතින් දෙවියන් පවා පුදුමයට පත්කරමින් ප්‍රාණය නිරුද්ධ වූ බිළිදෙකුට ප්‍රාණය ලබා දුන් අවස්ථාවක් පිළිබඳ ව තොරතුරු වාර්තා වෙයි. එනම් කුඩා දරුවෙකුගේ වියෝව දරාගත නො හැකි ව හඬා වැලපුණු මවකගේ දුක්ඛ වේදනාව අසා සිටි කුමාරයාගේ හිත දැඩි ලෙස කම්පාවට පත් කළේ ය. තමන් තුළ වූ ගුණධර්මවල මානුෂීය ස්වභාවය තව තවත් තීව්‍ර කරමින් ඔහු මෙම දරුවාට ප්‍රාණය ලබා දීමට මගක් කල්පනා කළේ ය. ඒ සඳහා ඔහු සතු වූ ගණිත ඥානයත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඥානයත් ඔහු ක්‍රමානුකූලව භාවිතයට ගත්තේ ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය වූයේ යඛිනාරං කටු තුනකි. එම යඛිනාරං කටු තුන අතින් ගෙන නව වතාවක් ප්‍රාණය කරමින් මෙම ප්‍රාණය නිරුද්ධ වූ දරුවාගේ ප්‍රාණය ලබා දීමේ අපේක්ෂාවෙන් මළ මිනියෙහි හිස, බෙල්ල, යටිපතුල යන ස්ථානයන්ට එම මැතිරූ කටු තුන ගැසීමෙන් අනතුරු ව ප්‍රාණය නිරුද්ධ වූ මළමිනිය නැගිසිටීමට සලස් වන්නට සමත් විය. ඒ තුළ සිදුවූයේ දරුවාගේ ශරීරයෙන් නිරුද්ධ වූ ප්‍රාණය කටුසැර ජීවමින් ගෙන්වා කදට බන්ධනය කිරීමෙනි. මෙම ක්‍රියාදාමයෙන් මවගේ කඳුළු නවතමින් දරුවාට ප්‍රාණය ලබාදීම වඩිග කුමරාට තව තවත් කුසලයක් වැඩීමට හේතු වූ අවස්ථාවක් ලෙස සැලකේ.

හදවතේ පැවැති කාරුණික සිතුවිලි සමඟ කටයුතු කළ මෙම කුමාරයාගේ ක්‍රියාකලාපය දෙවියන් ද ඇගයීමට ලක්කර ඇත. අද ද මෙය කුමාර පිල්ලිය ලෙස භාවිතයට ගැනේ. මෙම මළ මිනියට කුමරා ප්‍රාණය ලබා දී ඇත්තේ ප්‍රාණය නිරුද්ධ දරුවාගේ ආත්මය අල්ලා එම මළමිනිය සමග එක් කිරීමෙනි. මෙය ඉතිහාසය තුළ අප හෙළයන් ද භාවිතා කළේ ය. ඒ මාතෘභූමියට එරෙහි ව පැවති යුද්ධවල දී සතුරාට වින කිරීමේ අවස්ථාව යෙදීමක් ලෙස ය. එහෙත් යම් උදවිය තම සතුරන් පලවා හැරීමටත්, යම් විටෙක පළි ගැනීමටත් මෙය ක්‍රමය යොදා ගෙන ඇති බව පෙන්වා දිය හැකි ය. උදාහරණ ලෙස පළමු රාජසිංහ රජතුමාගේ මරණය කුමාර පිල්ලිය යොදා ගනිමින් දොඩම්පේ ගණිතයා කළ හූනියමක ප්‍රතිඵලයක් බව රාජාවලියෙහි සඳහන් වේ. ඒ බව පහත ජනශ්‍රැති කවියෙන් හදුනාගත හැකි ය.

රුසිරු පෙතන්ගොඩ උයනට අනේ ළං                  උනා

නපුරු උණ කටුව පතුලේ ඇනී වන                     උනා  

එක් වැ සිටි සැවො ම වටලා මතුලා විස ද  වැඩි      උනා

රාජසිංහ දෙවි නාමෙත් එදා නැති                       උනා

මෙම වඩිග කුමරු සිය වඩිග දේශය පුරා ම සුදු ආරක්ෂක සුර තුරගා පිට නැගී ගොස් අසරණ මිනිසුන් වෙත සිය ඥානය භාවිතා කරමින් සිය සේවය සපයා දුන් බව දැක්වේ. මෙම සුර තුරගා ප්‍රබල ශක්තියකින් හෙබි ඇසපිය හෙලන ක්ෂණයකින් නවග්‍රහ මණ්ඩලය වටා ගොස් නැවත පැමිණිය හැකි බව ජනප්‍රවාදය තුළ සදහන් වීමෙන් තුරඟාගේ පවතින ශක්තිය දක්වා තිබේ. මෙම සුර තුරඟා වඩිග කුමරුගේ ප්‍රධාන ආරක්ෂකයා වශයෙන් ද හැදින්වේ. එසේ ම කළු තුරගා පිට නැගී තමන්ගේ පිටුපස එන සුජාත සහෝදරයෙකු ද සිට ඇත. ඔහු නමින් ඔඩ්ඩිස ය. මෙම දෙදෙනාගේ බැඳීම සුළුපටු බැඳීමක් නොවේ. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය තුළ මන්ත්‍ර ගුරුවරුන් ප්‍රකාශ කරන්නේ මෙම දෙදෙනා ම සාංසාරික බැඳීම්කරුවන් වන බව යි. මොහු ද වඩිග රජුගේ ම පුත්‍රයෙකි. ඔහු යවුදගිරි බිසවගේ දරුවෙකු ලෙස හැදින්වේ.

වඩිග කුමාරයාගේ තේජස මැවෙන තවත් කතා ඇත. ඉන්දියාවෙහි මුස්ලිම් ආක්‍රමණ බහුල ව පැවති යුගයක් වූ මෙකළ එක් දිනක වඩිඟ දේශයට ද එවැනි ආක්‍රමණයක් පැමිණියේ ය. එම අවස්ථාවේ චතුරාංගනී සේනාව සමඟින් යුද්ධ සේනාපතීන් වඩිග දේශය වටකොට යුද්ධයක් සිදු කිරීමට තීරණය කළේ ය. චතුරංගනී සේනා සමඟ වඩිග දේශය ඔවුන් ආක්‍රමණය කරන්නට සූදානම් විය. එම අවස්ථාවේ දී වඩිග කුමරු ඉදිරියට ආවේ ය. එවිට සේනාපතීන් ප්‍රකාශ කළේ චතුරංගනී සේනා බල පරාක්‍රමයන් ඇති අප හට යටත් වන ලෙස ය. එම අවස්ථාවේ වඩිඟ කුමරු ඉදිරිපිටට පැමිණ ප්‍රකාශ කළේ එසේ යටත් නො වන බවයි. සේනාපතීන් ඔහුට ප්‍රකාශ කළේ “ඔබ අපට කෙසේ නම් අභියෝග කරන්නේ ද?” යන්නයි. එම අවස්ථාවේ දී වඩිග කුමරුගේ ප්‍රකාශය වූයේ ඇසිපිය හෙළන තැන සියලු දෙනා සිහි විකල් කරන බවයි. එවිට සේනාපතීන්ගේ උත්තරය වූයේ සිනහවයි. පසු ව සේනාපතීන්ට වඩිග කුමරු අභියෝග කරන ලද අතර එසේ කිරීමෙන් අනතුරුව චතුරංගනී සේනාවට සිහි විකල් ව ඔවුන් ඒ මේ අත දුවන්නටත්, විවිධ විෂම ක්‍රියාකාරකම් කරන්නටත් පෙළඹී ඇත. මෙය දුටු සේනාපතීන් යුද්ධයෙන් පසු බැස පලා ගොස් ඇති බව සඳහන් වේ. මෙවැනි අභියෝග ජයගැනීමට සමත් පුද්ගලයෙකු ලෙස වඩ්ග කුමරු ඇගයීමට ලක්කොට තිබේ.

මෙම වඩිග කුමරුගේ ඥානය සෘෂිවරුන් අටදෙනෙකුගේ ඥානයට සමාන බව දැක්වේ. එපමණ බුද්ධි මට්ටමක සිටි මෙම කුමරා දස්කම් අතින් සිය පියතුමාටත් සම කළ නො හැකි අසීමාන්තික බල පරාක්‍රමයකින් යුක්ත වී ඇත. මෙපමණ බුද්ධි තලයක් නියෝජනය කරන ලද මෙම කුමරාට එම නිසා බොහෝ දෙනෙක් ඊරිසියා කොට ඇති අතර දැඩි වෛරයක් බිහි වීමට තරම් අවස්ථාවක් ඇති කිරීමට සමත් වී ඇත. මෙසේ ගමන් කළහොත් මොහු වඩිග දේසේ රජ පමණක් නොව මුළු විශ්වය ම යටත් කර ගැනීමට හැකියාව ඇති බවට කුමන්ත්‍රණකරුවන් විශ්වාස කර තිබේ. පළමුවෙන් ම වඩිඟ රජතුමාට කේලම් කියමින් පිය රජතුමා හා වඩිඟ කුමරා අතර විරසකයත් ඇතිකර ඇත. මෙම අකටයුතුකම් නිසා පියා අතර ද, විවිධ මතවාද හා මතභේද ද ගොඩ නැඟෙන්නට වූයෙන් එවැනි දෑ කුමරාට ආරංචි වීම මගින් කුමරා වෙත දැඩී පීඩණයක් මෙන්ම ලෝකයා පිළිබඳ දැඩි කලකිරීමක් බිහිවන්නට විය. මෙවැනි කරුණු නිසා වඩිග රජු ද වඩිඟ කුමරා ද ඈත් වීම කුමන්ත්‍රණකරුවන්ගේ උත්සහය වූ අතර එම අරමුණ ක්‍රමානුකූලව ඉටුකිරීමට විවිධ උත්සහයන් ඔවුන් විසින් ක්‍රියාවට නන්වා තිබේ. වඩිග කුමරුගේ වූ අභිමානවත් පෞරුෂය නිසා එම කුමරා මරණයට පත් කිරීමට බොහෝ සැලසුම් ක්‍රියාත්මක වූ නමුත් එසේ කිරීමට අපහසු විය. මෙම කුමන්ත්‍රණ දැන ගත් වඩිග කුමරුගේ සහෝදරයා වූ ඔඩ්ඩි කුමරු ඇති වූ මානසික කලකිරීම නිසා ම හිරන්ද වනයට ගොස් වනගත විය. වඩිග කුමරුට ද වනගත වීමට යෝජනා කළ ද ඔහු එයට අකමැති විය. එහෙත් ඔඩ්ඩිස කුමරු ගත් තීරණය වෙනස් නොකළේ ය. ඔඩ්ඩි කුමරු වනගත වුවත් සැම විට ම තම සහෝදරයා වූ වඩිග කුමරු පිළිබඳ ව සොයා බැලූවේ ය. එක් දිනෙක වඩිග කුමරු මරණයට පත් කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය. එනම් වඩිඟ කුමරා යන මාර්ගයෙහි ලණු ඇද තුරඟාව අනතුරට ලක් කර තුරඟා පිටින් වැටීමට සලස්වා මරණයට පත්කිරීමටයි. එම කුමන්ත්‍රණ අනතුර වෙනස් වූයේ සිය සුරතල් සුර තුරාඟාගේ ක්‍රියාකලාපය නිසා ය. ඉන්පසු ව කුමරුන් හට බොහෝ කේන්තියක් සිය හදවතට ඇතිවිය. මෙපමණ ලෙස මිනිසුන් වෙනුවෙන් කැපවෙන මා හට නිරපරාදේ මගේ ජීවිතය නැති කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ නම් මගේ ජීවිතය ඇති ඵලය කුමක් ද? ඔහු තමන්ට ම සිය ජීවිත ආවර්ජනය කරන්නට විය.

ඉහත මෙම සියලු කරුණු නිසා කුමරුගේ සිත දැවැන්ත පීඩාවක් කරා පැමිණෙන්නට හේතු කාරණා නිර්මාණය විය. මෙසේ විවිධ අවස්ථාවල දී සිතේ ඇති වූ අධ්‍යාත්මික පිරිහීමේ තත්ත්වය නිසා ම කුමන්ත්‍රණකරුවන්ට කුමරු පරාජය කිරීමට පහසු විය. එමනිසා ගුප්ත ශාස්ත්‍රය ම භාවිතයට ගත් මේ කුමන්ත්‍රණකරුවන් විසින් වඩිග කුමරාගේ සිය යහපත් වූ සේවය ජනතාව විෂයෙහි ලබාදීමට ගමන් කරන අතර සුර තුරගා පිට නැගී යන අතරමග දී අසුපිටින් වැටී ඔහු මරණයට පත්වීමට යළිත් ඉඩ සැලස් විය. එම සිද්ධිය වඩිඟ කුමරුට හා ඔඩ්ඩි කුමරු යන දෙදෙනාට ම බලපෑවේ ය. සිදුවිය හැකි මෙවැනි අවස්ථා පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන ලද ඔඩ්ඩිස වඩිග සහෝදරයාට පැවති සෙනහස නිසා ම හිරන්ද වනයේ සිට විවිධ අවස්ථාවල දී පැමිණ තම සහයෝගය ලබා දීමට කටයුතු කරන ලදී. එහෙත් මන්ත්‍ර ශාස්ත්‍ර භාවිතයත්, කුමරුන් දෙදෙනාගේ ම සිදු වූ කාල චක්‍රයේ පැවති අඩුලුහුඩුකම් නිසා මෙමගින් බේරීමට අවස්ථාව දෙදෙනාට ම ඉඩ ප්‍රස්ථා නො ලැබුණේ ය. එම නිසා මෙම ගමනේ සිදු වූ අනතුරින් දෙදෙනා ම මරණයට පත් වූහ.

නිරපරාදේ සිදු වූ ක්‍රියාකාරකමක් නිසා හදවතේ පැවති කෝපාවිෂ්ට භාවය හදවතට ගිල් වී පැවතියේ ය. මිනිසුන්ට සේවය සැපයීමටත්, වඩිඟ දේශයේ අනාගතය ඉතා යහපත් ලෙස ගොඩනැගීමටත් කරන කැපවීම නිසා මෙම ධර්මීය පිළිවෙතට බලපෑම් කරන්නට කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මක වීම පිළිබඳ ව ඔහුගේ හදවත තව තවත් කෝපාවිෂ්ට වීමට හේතු විය. කෝපාවිෂ්ට සිතින් මිය දීමේ ප්‍රතිඵලය වූයේ නැවතත් මුරණ්ඩු ගතිවලින් හෙබි කෝපාවිෂ්ට භාවය ප්‍රදර්ශනය කෙරෙන යක්ෂන් ව දෙදෙනෙකු වී උපත ලැබීමයි. මෙහි වඩිග කුමරු වඩිග යකු ලෙසත්, ඔඩ්ඩිස කුමරු ඔඩ්ඩිස යකු ලෙසත්, ආරක්ෂක සුදු සුර තුරඟා වඩිග යකුගේ ප්‍රධාන ආරක්‍ෂක පෙර ගමන් කරු වූ යක්ෂ දේවතාවා ලෙසත්, කළු තුරඟා සූනියම් යකු ලෙසත් උපත ලැබීම පසුව සිදු වූ බව ජනප්‍රවාද කතාවයි. ආරක්ෂක සුදු සුර තුරඟා වඩිග යකුගේ ප්‍රධාන ආරක්‍ෂක පෙර ගමන් කරු වූ යක්ෂ දේවතාවා වීමෙන් අනතුරුව ද වඩිග යකුගේ ප්‍රධාන ආරක්ෂකයා ද විය. මේ අතර ඉතා භයංකාර යක්ෂ වේශයක් වඩිඟ යකු තුළ ප්‍රදර්ශනය විය. එමනිසා ඔහු තම කුමන්ත්‍රණකරුවන්ගෙන් පළිගැනීමේ කාර්යය ලැබූ අතිභයංකාර යක්ෂ ආත්මභවයේ දායකත්වයත්, පෙර භවයේ හුරුවත් සමඟින් කලාන්තරයක් යත්ම ආරම්භ කළේ ය. තමන්ට විරුද්ධ වූ තමන්ගේ ධාර්මිෂ්ඨ ගති වෙනස් කිරීමට උත්සාහ කළ සියල්ලෝ ම ඔහු ක්‍රමිකව විනාශ කර දැම්මේ ය. එමඟින් වඩිග රටේ රටවැසියන්ට ද විවිධ පීඩාවලට මුහුණ දීමට අවස්ථාවක් ඇති වූහ.

මන්ත්‍ර ශාස්ත්‍රයේ දියුණුව පැවති මෙම කාල වකවානුව තුළ තෙලිඟු රට රජු ඇතුළු සෑම අයෙක් ම මෙම වඩිඟ යක්ෂයාගේ මෙන් ම අනෙක් යක්ෂයන්ගේ ද බියකරු ක්‍රියාකාරකම් නිසා ඒ සියල්ලන්ට ම බිය දක්වන සුලු විය. කිසිදු මන්ත්‍රකරුවෙකුට ඔවුන් යටත් කර ගැනීමට නො හැකි වූහ. රටේ පවතින විනාශය වඩිග රටෙහි වඩිග රජතුමාට ද රටවැසියා නිතර නිතර ම දැන්වීය. රජු වෙත නිතර නිතර මෙම යක්ෂයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ව පැමිණිලි ගලා එන්නට විය. පසු ව ඔහු තීරණය කළේ මන්ත්‍රාචාර්ය ඍසිවරුන්ට මෙම කාර්යය සිදුකිරීමට අවස්ථාව ලබාදීම යි. එම යක්ෂයාගේ බලපරාක්‍රමය කෙබඳු ද යන්න දැනගත් සෘෂිවරුන් තීරණය කළේ මෙම යක්ෂයා ඇල්ලීමේ කර්තව්‍යය එක් අයකුට, දෙදෙනකුට නොව සෘෂිවරුන් හයසීයක් පමණ දායකත්වයෙන් සිදු කළ යුතු බව යි. මේ සඳහා මහා ප්‍රබල මන්ත්‍ර පොතක් ම උපයෝගී කරගත් අතර එම පොතෙහි දෙපැත්ත තිබී ඇත්තේ ඇත්දළවලින් සකසන ලද පත් දෙකකි. මෙම මන්ත්‍ර පොතෙහි යක්ෂයා බැදීමට රන්, තඹ කෙඳි හා ඉතා ශකිතිමත් කඹ විශේෂයක් ද භාවිතා කර ඇත. එම පොතෙහි ස්වභාවය කබලෑ පටුන දක්වා ඇත්තේ මෙසේ ය.

දිගිනුත් ඔඩ්ඩිස පොත වඩු       රියනයි

පුළුලින් පත් ඉරු වග්ගුස්         කාලයි

පෙළින් ලියූ පෙළවල් කුරු       දොළහයි

තදින් බැඳපු පොත වට බැමි     දොළහයි

යකුන් ඇලිලීමට භාවිතා කරන ලද මන්ත්‍ර පොතෙහි නම ලෙස කබලෑ පටුන සඳහන් කරන්නේ “ඔඩ්ඩිස පොත” යනුවෙනි. එම ඔඩ්ඩිස මන්ත්‍ර පොත වඩු රියනක් දිග බව ද පත් ඉරුවක් අඟල් දෙකයි කාලක් පුළුල් බව ද එක් පිටුවක අකුරු පේළි දොළහක් ලියා තිබෙන බව ද බැමි දොළහක් යොදා පොත බැඳ තිබෙන බව ද පවසයි. එම විස්තරය අනුව එය පුස්කොළ පොතක් ලෙස පෙනී ගියත් පහත කවියෙන් එය තඹ පොතක් බව ස්ථිර කරයි.

තඹ පොතේ තොරතු              රු

ඇසුවයි නිරිඳු වැඩක              රු

සිරි ලකට ගිය ගු                  රු

නියම කර ඇසි පොතේ තොරතු  රු

මන්ත්‍ර පොත පිළිබඳ ව සඳහන්ව තිබෙන අභව්‍ය තොරතුරක් නම්, එහි තැන් තැන්වල කටු ගසා හූනියම් සිර කර ඇති බව ය. ලෝකඩ කටු ගැසූ තැන ඉණා මදන බන්ධනය ද, වානේ කටු ගැසූ තැන රූකඩ කටු ජීව ද, පිත්තල කටු ගැසූ තැන කුමාර පිල්ලිය ද තිබෙන බව සඳහන් කරයි. මේ හැර පොත තුළ යක්ෂයෙකු සිරකර වට බැමි දමා තිබේ. මන්ත්‍ර පොත ලියා තිබෙන්නේ දෙමළ නාගර, තෙලිඟු ඇතුළු භාෂා අටකිනි.

මන්ත්‍ර පොතේ අන්තර්ගත මන්ත්‍ර ගුරුකම් ද කඹලෑ පටුනෙහි කවිවලින් හෙළිදරව් කර තිබේ. හූනියම් පිල්ලි දහඅට, අංගම් දෙතිස, ජීවම් දහඅට, රූකඩ දොළහ, කටුසර ජීවම් දෙසීය අනූව, ඉරිපැන්නුම් දෙතිස, හිර වැලකුම් දොළහ,  සිංගි හූනියම් බන්ධන දෙතිස, බන්ධන කැපීමේ ක්‍රම හතිළිහ, ජීවම් කනපිට පෙරලුම් නවය, අංගම් පෙරළුම් කැපීමේ ක්‍රම නවය, පිල්ලි ආ පිට හැරවීමේ මන්ත්‍ර දොළහ, ඉණා මදන ගැලවුම් දෙතිස, අටකොන ආරක්ෂා විධි සතර, ගුරුන්නාන්සේ ආරක්ෂාව සලසන මන්ත්‍ර දොළහ යනාදිය මෙම යකු බැඳි මන්ත්‍ර පොතෙහි අන්තර්ගත වීමෙන් මෙහි ප්‍රබල බව මනාව හදුනාගත හැකි ය.

ඉහත මෙවැනි දෑ අන්තර්ගත මෙම මන්ත්‍ර පොතට වඩිඟ යකු අල්ලා සිර කරගැනීමට මන්ත්‍රාචාර්යවරු අවුරුදු දහතුනක් ම පොතෙහි අන්තර්ගත මන්ත්‍ර ශාස්ත්‍රය ම භාවිතයට ගෙන ඇති බව කියැවේ. පොතේ අන්තර්ගත මන්ත්‍ර භාවිත කරමින් එම මන්ත්‍රවලින් වසර දහතුනක් ජප කරමින් මන්ත්‍ර පොත ඉතා බල සම්පන්න භාවයකට පත් කර තිබේ. මේ සඳහා පෙර සඳහන් කළ පරිදි මන්ත්‍ර පිළිබඳ ව පරතෙරට පැමිණි මන්ත්‍රාචාර්ය සෘෂිවරුන් හයසියයක් සම්බන්ධ වී ඇත. මෙමඟින් වඩිඟ යක්ෂයාගේ ප්‍රබල බවත් ඔහු යටත් කිරීමට ඍසිවරුන් ගන්නා ලද පරිශ්‍රමයත් මනාව හදුනා ගත හැකි ය. 

මෙම කර්තව්‍යය මහලු ගොනෙක් දිය බොන්නාක් මෙන් හත් වතාවක් සූර්යයාගේ ශක්තිය උපයෝගි කරගෙන නවග්‍රහයන් බන්ධනය කරමින් කාලවේලා, හෝරා ගලපමින් මෙම කටයුත්ත කරන ලද බව දැක්වේ. එමගින් පෙනෙන්නේ මෙය ඉතා සියුම් ව කරන ලද්දක් බවයි. වඩිඟ යකු අල්ලා ගැනීමට උත්සහා කරනු ලබන අවස්ථාවේ දී ඔහුගේ ප්‍රධාන සේනාධිපතියා වූ මුලින් ම ඔඩ්ඩිස මෙම බන්ධනයට හසුවී තිබේ. මුලින්ම එය එසේ සිදුවීම නිසා මෙම මන්ත්‍ර පොත “ඔඩ්ඩිස” යනුවෙන් හදුන්වා ඇත. දෙවන අවස්ථාවේ දී සූනියම් යකු ද මෙම බන්ධනයට හසුවී ඇත. බන්ධනයට ඔඩ්ඩිෂ හා සූනියම් යකුන් දෙදෙනා හසුවන අවස්ථාවේ වඩිඟ යකුට පලා යන ලෙස දන්වා සිය ප්‍රධාන යකුන් විසින් යෝජනා කර ඇත. එහෙත් වඩිග යකු එසේ පලා ගොස් නොමැත. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වඩිඟ යකුගේ පවත්නා මිතුදමයි. තමන්ගේ හිතට බැදුණු කිනම් හෝ කෙනෙක් විපතකට වැටුණු මොහෝතේ දී පලා නොයෑමේ උතුම්ගතිය විදහාපාමින් මිත්‍ර ද්‍රෝහී නොවී තම මිතුරන් ඇපයට දී පළා යාමට ඔහු අකමැති වූ බව කියැවේ. ඉන්පසුව වඩිඟ යකු ද මෙම බන්ධනයට හසු වී ඉතා බල සම්පන්න භාවයකට පත් කර ඇති මන්ත්‍ර පොතෙහි සිර වී ඇත.

වඩිඟ යකු හා අනෙක් යක් සේනාපතීන් මන්ත්‍ර පොතෙහි සිරකිරීම පිළිබද ව මන්ත්‍රාචාර්ය ඍෂිවරුන්ගේ ක්‍රියාකලාපය බොහෝ යක්ෂ සේනා වෙත දැනගන්නට ලැබී ඇත. පසුව සිදු වූ දෙය පිළිබද ව යක්ෂ සේනාවන් ද බොහෝ සෙයින් කම්පාවට පැමිණ තිබේ. මෙම මන්ත්‍ර පොතෙහි වඩිඟ, ඔඩ්ඩි, සූනියම් යන යකුන් බැඳීමෙන් අනතුරුව මේ පිළිබඳ ව ඇති වූ කණගාටුව සමඟ බොහෝ යක් පිරිවර මෙම පොත වටා ඒකරාශී ව තම යක් සේනාපතීන්ට සිදු වූ ඛේදනීය තත්ත්වය පිළිබඳ ව විලාප තියමින් හා කදුලු සලමින් ඔවුන් හැසිර තිබේ. මෙසේ විලාප තියමින් හා කදුලු සලමින් කෑ ගසන යක් සේනා දකින විට මන්ත්‍රාචාර්යවරුන් බොහෝ දෙනෙක් මවිතයට පත්ව ඇත. එමගින් තමන් අතින් සිදු වූ දෙය වැරැද්දක් ලෙස තමන්ට ම තේරුම් ගිය තැන ඔවුන් රජුන්ගේ ඉල්ලීම නිසා මෙය කරන ලද බවත්, තමන්ට මෙසේ කිරීමට කිසිදු කැමැත්තක් නොතිබූ බවත් ඉන් පසුව ප්‍රකාශ කර තිබෙන අතර සිදු වූ දෙය අපරාධයක් ලෙස මන්ත්‍රාචාර්යවරු සලකා ඇත. පසුව මොවුන් මෙසේ බියට පත් වූයෙන් වහා පොත දඹදිව තලයෙන් පිට කරන ලෙසත්, එසේ නොවී පොත මෙම දේශයෙ න්ම විවර වුවහොත් රජුත්, දේශයත් පූර්ණ වශයෙන් විනාශ වීමේ ඉඩකඩක් පවතින බවත් ප්‍රකාශ කර තිබේ. ඔවුන් මේ පොත රැගෙන පිටත්ව ඇති අතර එම කාලය මෙසේ සඳහන් වේ.

එක්වා දහසකි සක් රජ වරු                   සේ

දෙසීය අසු හතරයි බක් මා                    සේ

පුර පසළොස්වක ගුරු දින දව                සේ

රැගෙන මෙ පොත මෙ පුරට ගොඩ බැස්      සේ

ඉහත පරිදි මන්ත්‍ර පොත ලක්දිවට පැමිණ ඇත්තේ ශක රාජ වර්ෂ 1284 බක් මස පුර පසළොස්වක ලත් ගුරු දිනක දීය. එනම් ව්‍යවහාරික වර්ෂ 1362 වර්ෂයයි. මෙම කාලවකවානුව ගම්පොළ රාජ්‍ය යුගයයි. එම යුගයෙහි ලංකාවෙහි රජකම් කොට ඇත්තේ තුන්වන වික්‍රමබාහු රජතුමා ය. මෙම රජු වසර 17 පමණ රජකම් කොට ඇති බව සඳහන් වේ.

මේ පොත රැගෙන පිටත්ව ඇත්තේ ඉන්දියාවේ වළගම්බාහු නම් රජ රාජ්‍ය කරවන කාල වකවානුවක් තුළ බව සඳහන් වේ.

එකලට දඹදිව වලගම්බාහු             ව

මෙකලට භද්දා කල්පය කිට්ටු         ව

සකල මේ දඹදිව යක්සෙන් කට්ටු     ව

එකල යන්ඩ රට ලැබුණයි ඔප්පු      ව

යක්ෂයින් අඩංගු කළ මෙම මහානුභාව සම්පන්න මන්ත්‍ර පොත රුවල් නැවක නංවා පිටත් කර තිබේ. ඒ සදහා කිසිවෙකුත් සම්බන්ධ වී නොමැත. එසේ සම්බන්ධ වීමට ඔවුන් බියට පත් වී ඇති බව සඳහන්වේ. එසේ වීම පුදුමයට කරුණක් නොවේ. මන්ද මෙම යක්ෂයාගේ ක්‍රියා කලාපය නොදන්නා අයෙක් නොමැති අතර අනිවාර්යෙන්ම යකුන් මන්ත්‍ර පොතෙන් නිදහස් වුවහොත් ඔවුන්ට මරණය නියත වශයෙන් උරුම බව නොදන්නා කෙනෙක් නැත. ඉන්පසුව නැව තුළ රිදියෙන් අලංකාර කරන ලද ඇතුල් මාලිගාවක් ඉදි කර කුඹ ගසක් හා රන් කොතක් සිටුවා රන් චාමර හා රුවන් චාමර, රන් සින්නං සහ රිදී සින්නං, කර්ණ කුණ්ඩලප්පු සහ සංඛනාද ද රජෙකුට පුදන පිදවිලි අන්තර්ගත ව මෙම “ඔඩ්ඩිස” මන්ත්‍ර පොත තුරඟෙකු පිටින් අලංකාර කරන ලද අසරුවෙකු අත නැවට වඩම්වා තැන්පත් කොට ඇත. පිදවිලි උපකරණ සහිතව රජ කුමාරයෙකුගේ ආත්මයක් නිසා ඔහුට කරන ගෞරවයක් ලෙසත්, නැවත මන්ත්‍ර පොතෙන් නිදහස්ව පැමිණිය හොත් ඇතිවෙන විනාශයෙන් බේරීමට උපාය මාර්ගයක් ලෙසත් මෙලෙස සරසවා නැව දකුණු සුළඟට රුවල් බැඳ කිසිවෙකු නොමැති වනසේ කේරළ ප්‍රාන්තයේ වර්තමාන කොචිං වරායෙන් පිටත් කර ඇති බව විශ්වාසයයි.

මෙය සුළඟේ පාවී මාතරට ගොඩගසා තිබේ. එය පළමුවෙන් දැක ඇත්තේ මුහුදු වැද්දෙකි (ධීවරයෙක්, මෙම වදන පෙර සිංහලයේ ද තැනින් තැන හමුවේ). පසුව ඔහු දෙවුන්දර ප්‍රධාන අමාත්‍යවරයා වූ ද දෙවිනුවර පුද බිමේ භාරකාර බමුණාට දන්වා තිබේ. ඔහු එහි පැමිණ මෙම නැව පිරික්සීමෙන් අනතුරුව ඉහතාකාර වටපිටාවක් තුළ සකසා ඇති කුඩා නැවත්, මන්ත්‍ර පොතෙහි මතු පිට ලියා ඇති අනතුරු ඇගවීමේ වැකියත් නිසා මෙය බරපතළ පුස්තකයක් බව වටහාගෙන තිබේ. පසුව මෙම මන්ත්‍ර පුස්තකය තේජසින් යුතු මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ ව ප්‍රබලයෙකු හා එඩිතරයෙකු වූ මෙම බමුණාගේ භාරයට ගෙන එයට රැකවරණය සැලසීම ඉතා ප්‍රබල කර්තව්‍යයක් නිසා එය දෙවුන්දරට වඩම්වා මන්ත්‍ර පුස්තකය පිළිබද ව රජුට දන්වා ඔහුගේ තීරණය අපෙක්ෂාවෙන් මුරකරුවන් යොදා ආරක්ෂාව සලස්වා තිබේ.

ගොඩ බැස මාතර                 ට

වැඩම කර දෙවුන්දරය             ට

දැඩි තෙද බමුණු හ                 ට

කඩ නැතිව මුර සිටිති එ පොත    ට

දිවයිනේ දකුණු තුඩුවේ පිහිටි දෙවුන්දරට ප්‍රදේශය ගැන 7 වැනි සියවසේ සිට ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙන අතර පුරාණ මූලාශ්‍රවල මෙය සඳහන් වන්නේ “දේවනගර” ලෙසයි. දෙවුන්දර යන නාමය, දේශීය සිංහල භාෂාවෙන් සලකා බලන විට “දෙවි” යන්නෙහි තේරුම “දෙවියන්” යන්නය. “නුවර” යන්නෙහි තේරුම “නගරය” යනුවෙනි. ඒ නිසා දෙවුන්දර “දෙවිවරුන්ගේ නගරය” ලෙස ව්‍යුත්පන්න ව ඇත. මෙනයින් ගත් කළ මෙම රටට ආගන්තුක වූ මන්ත්‍ර පොත තවකාලික ව හෝ රදවා තැබීමට සුදුසු ම ස්ථානය “දෙවිනුවර” නොහොත් “දෙවුන්දර” බව රජතුමාට හා බමුණාට සිතෙන්නට ඇත. කෙසේ නමුත් සෑම අවස්ථාවක් තුළ දීම මෙම යකුන් බැඳි “ඔඩ්ඩිස” මන්ත්‍ර පොත තනි නොකිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

මෙකල දෙවුන්දර ඉතා අලංකාර භූමියක්ව පැවත ඇත. තෙළිඟු භාෂාව පිළිබඳ ව අවබෝධයක් ඇති අය සේ ම දෙවියන්ට වෙන් වූ පරිසරයක් මෙම දෙවුන්දර නැතහොත් දෙවිනුවර තිබූ බව ක්‍රි : ව 1380 වන විට පැවති ඉතිහාසය පිරික්සීමෙන් මනාව හඳුනාගත හැකි ය. මෙම යුගයේ රජුගේ දෙවුන්දර ප්‍රධාන අනුශාසක බමුණෙකු සිට තිබේ. එමනිසා දෙවුන්දර ඉතා වැදගත් ස්ථානයක් විය. මෙම පොත දෙවුන්දරට වැඩමවාගෙන අවුත් එහි භාරකාරිත්වය එම මන්ත්‍ර පොත දෙවුන්දරට වැඩමවා ආ අමාත්‍ය බමුණාට භාර දී මේ බව රජුට දැනුම් දී රජු හෝ ඔහුගේ නියෝජිතයෙකු වූ පැමිණෙනතුරු දෙවුන්දර රඳවා පහන් දල්වමින් වතාවත් කළ බව කඹලෑ පටුනෙහි සඳහන් වෙයි.

පුර තෙළිඟු භාසෙ                   න්

පොත ගෙන මෙපුර ඇවිදි           න්

තරව සීමාවෙ                        න්

මුරලු මේ පොත පහන් ලවමි        න්

පොත ගෙන බමුණා                 ට

සිටිනා පිණිස හිමිකො               ට

බලාගෙන එන්න                     ට

යෙදුණු පනතක් නිරිඳු වැඩ සි        ට

මෙලෙස ඒ පොත පිළිබද ව විස්තරයක්  රජුට මෙහි තොරතුරු දැන එම සියලු තොරතුරු දැන්වීමට නියෝජිතයකු යවා තිබේ. ඔහු රජුට එම පණිවිඩය දන්වා නැවත රජුගේ හෝ ඔහුගේ ප්‍රධාන නියෝජිතයෙකු පැමිණෙන තුරු යම් කාලයක් ගතව ඇත. මෙම පොතෙහි තොරතුරු රජුට දන්වා දැනගැනීමෙන් අනතුරුව යම් පුදුමයට පත්ව තිබේ. රජු විසින් තව තවත් පිරික්සමින් කරුණු විමසා තිබේ.

තඹ පොතේ තොරතු               රු

ඇසුවයි නිරිඳු වැඩක               රු

සිරි ලකට ගිය ගු                   රු

නියම කර ඇසි පොතේ තොරතු   රු

ඔහුගේ අදහස වී ඇත්තේ මෙම තඹ මන්ත්‍ර පොත ඉතා සශ්‍රීක භූමියක් වූ දෙවුන්දර නගරය තුළ ම තබාගෙන වතාවත් පවත්වා ගෙන යාමටයි. එහෙත් පසුව රජුගේ ප්‍රධාන දෙවුන්දර භාර අමාත්‍යය වූ දෙවි නුවර පූජා නගරය භාර බමුණා එහි මතුපිට දන්වා ඇති අනතුරුදායක ප්‍රකාශනය රජුට ප්‍රකාශ කර කෙදිනක හෝ මෙම මන්ත්‍ර පොතින් යකුන් නිදහස් වීම සිදු වුවහොත් සිදු විය හැකි විනාශයත්, මන්ත්‍ර පොතක් නිසා එය වැරදි අයවලුන් අතට පත් වීම දේශයට ම අනතුරුදායක ප්‍රතිඵලවලට මූණදීමට සිදුවන බවත් සලකා අනතුරුව මෙම පොත ජනශූන්‍ය ප්‍රදේශයකට ගෙන යාමටත් එම ප්‍රදේශය තුළ බිම සන්නස් කර පුදදීමටත් තීරණය කර තිබේ. ඒ බව කබලෑ පටුනෙහි පහත කවියෙන් මනාව හදුනාගත හැකි ය.

නැවට නැගී ඇවිදින් බැස ගොඩත        ර

රුවට දෙවුන්දර පියසකි මාත             ර

ලොවට උතුම් සීතාවකි එනුව             ර

පොතට ලැබුණි ගම් බිම් සන්නස් ක      ර

රජුගේ ප්‍රධාන ආරක්ෂකයින් හා මැතිවරුන් සමග ජනශූන්‍ය ප්‍රදේශයක් වූ දකුණු වන්නිය කරා රැගෙන යාමට බමුණුගේ උපදෙස් මත රජු විසින් තීරණය කර පසුව පිටත් කර තිබේ. එම අවස්ථාවේ දී ඔවුන් දකුණු වන්නියට යෑමට ගමන් මාර්ගය වූයේ කබලෑව හරහා ය. ඔවුන් දෙවුන්දර දකුණු වෙරලේ සිට බස්නාහිර පැත්තට ගොස් වෙරල බඩ මාර්ගය ඔස්සේ මාදම්පා තොට නොහොත් වර්තමාන මාදම්පේ නගරයෙන් දුම්මලසූරියට පැමිණ ඉන්පසුව ගලපලා නුවර නොහොත් වර්තමාන ගල්පොල ගම්මානයෙන් කබලෑවේ ගොපල්ලව කන්දට පැමිණ ඇත. මෙම ගොපල්ලව කන්ද යනු ගවයන් අල්ලාගෙන අවුත් බැඳ ගොපල්ලන් විවේක ගන්නා ස්ථානයකි. ඉතිහාසයෙහි මෙම ප්‍රදේශයෙහි මිනිසුන් වන්නි හත්පත්තුවේ මාඟුල් ඕතොට කෝරලයට ගවයන් අල්ලාගෙන ඒමට යන අතර මෙසේ ගවයන් අල්ලාගෙන නැවත මෙම ප්‍රදේශයට පැමිණ ගොපල්ලව වැව අද්දරට රැගෙන එති. මෙම ගවයන්ට වතුර දුන් වැව ගොපල්ලව වැවයි. ගවයන්ට තණ කොළ කෑමට බැන්ද භූමිය ගොපල්ලව වැව් පිටියයි. ගොපලු මිනිසුන් එසේ ගවයන් බැඳ විවේක ගත් භූමිය ගොපල්ලව ගලයි. මෙම සියලු කරුණුවලට අදාල ව අද ද ගොපල්ලව යන නම භාවිතා වේ. මෙම ප්‍රදේශය කබලෑවට ම අයිති අතර කබලෑවේ මෙම ගල, වැව හැදින්වීමට පමණක් ගොපල්ලව යන නම ඉතිහාසය තුළ භාවිතා වී ඇත.

            (ඔඩ්ඩිස මන්ත්‍ර පොතින් වඩිග යකු නිදහස් වූ ගොපල්ලව ගල)

රජුගේ ප්‍රධාන ආරක්ෂකයින් හා මැතිවරුන් සමග ඔඩ්ඩිස මන්ත්‍ර පොත සමඟින් ගොපල්ලව කන්ද ආසන්නයෙන් ගමන් කරන අතර පැමිණි පිරිසට විවේක ගැනීමට ගොපල්ලව ගලට සැපත් වී ඇත. මෙම ගොපල්ලව කන්දට මන්ත්‍ර පොත රැගෙන ආ පිරිස සැපැත් වීමෙන් අනතුරුව ඔවුන්ගේ ගමන් මහන්සිය මග හැරීමටත්, පිපාසය සංසිදු වීමටත් මෙම කන්දෙහි සිටි ගොපලු මින්සුන් විසින් පස්ගෝ රසයන් ලබා දී තිබේ. මෙම ක්‍රියාව සමඟින් ආරක්ෂකයින් හා මැතිවරුන් සමග ගොපලු මිනිසුන් හිතවත්ව ලෙන්ගතු බවක් ගොඩ නගාගෙන තිබේ. ඒ බව කබලෑ පටුන මෙසේ අදහස් දක්වනු ලබයි.

ගොපලු දනන් සැම අයට බලා ගෙ          න

හාද මිතුරු කබලෑවට ළං වු                  න

ආදරයෙන් පොත මුදා බැලුව තැ             න

වාද වෙලා එම පොතෙන් පිටත් වු            න

ගොඩ බැස කබලෑවට නොම              ලසිනා

මුදා බලමු පොත මැතිවරු                 කියනා

ගොපලු එ ලනු පොට වට බැමි            ලෙහෙනා

එදා පැනපි ගුවනට                        එර්දියෙනා

ගමනාරම්භය වූ අවස්ථාවේ සිට ම මැතිවරුන්ගේ අදහස වූයේ ද මෙම පොත ලෙහා බැලීමට ය. එහෙත් ගොපල්ලව ගලට සැපත් වීමෙන් අනතුරුව යම් වේලාවක් ගෙවී යාමෙන් මොවුන් මෙම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට උත්සාහ දරා තිබේ. ගොපලු මිනිසුන්ගේ ඉල්ලීම වූයේ ද මෙම පොත මුදා බලමු යන අදහසයි. මැතිවරුන් සමඟ ගොපල්ලන් හාද වීමත්, මැතිවරුන්ට ද මෙම පොත මුදා බැලීමේ වුවමනාවත් නිසා මෙම ප්‍රයත්නය සාර්ථකව ඉටු වී තිබේ. මෙම ක්‍රියාව කරම් දෝ නොකරම් දෝ යනුවෙන් ගොපල්ලන් හා මැතිවරුන් අතර වාදයක් ඇති වූ බව ද සඳහන් වේ.

වඩිඟ යකු ඇතුලු යකුන් බැඳි පොත ගොපල්ලව ගලෙහි දිගහරින අවස්ථාවේ දී යකුන් තුන් දෙනා ම එයින් එළියට පැන ඇත. බියට පත් වූ ගොපලු මිනිස්සු යක්ෂයා බැඳ දමා තිබු පොත උඩට ගවයන් බැදීමෙන් තමන් සතු කඹ දමා ලෑමත් (ඇතිල්ලීමත්), කඹ දා අල්ලපියව් යනුවෙන් ප්‍රකාශ කිරීමත් නිසා ද පසු කාලවල දී යකුගෙන් වන හිරිහැර නිසා යක්ෂයා අල්ලා බැන්ද නිසා ද කබලෑව යන්න උපන් බව දැක්වේ. ඒ බව කබලෑ පටුනෙහි මෙසේ සඳහන් වේ.

තුටත් වඩන අණසක කබලෑ           වේ

දුටත් වරද ඉවසන්න කමා              වේ

මටත් දැනෙන ලෙස පරම්පරා           වේ

පිටත් වුණයි පොතකින් කබලෑ         වේ

වද කරලා යක් සෙන් අසු               වෙන්නේ

තද කර ලා ලණු පොට                 ඇදපන්නේ

කඹ දම ලා බැදපන්                    විගසින්නේ

කබලෑවේ නම එදයි                    උපන්නේ

මන්ත්‍ර පොතෙහි වට බැමි ලෙහීමට සුදානම් වන අවස්ථාවේ දී මන්ත්‍ර පොතට ආරූඪයක් පැමිණ ඇති අතර බැමි එකින් එක ලෙහනවාත් සමඟ ම වඩිඟ, ඔඩ්ඩි, සූනියම් යන යකුන් තුන්දෙනා ම “ඔඩ්ඩිස” නම් මන්ත්‍ර පොතින් පිටත්ව ඇත්තේ එක ම බලවේගයක් වශයෙන් බන්ධනය වීමෙනි. එම නිසා අදද මෙම බලවේග එකක් වශයෙන් පිළිගෙන ඇදහීම සිදු වේ. එම නිසා “ඔඩ්ඩිස, සිද්ධ කබලෑ, මුල් සූනියම් හත් කට්ටුවකට යක්ෂරාක්ෂාධිපති දේවතාවුන් වහන්සේ” යනුවෙන් අප මෙම දෙවියන් මෙම ප්‍රදේශයේ මිනිසුන් හදුන්වනු ලබයි.

මෙම ගොපල්ලව ගලෙහි හා ගොපලු මිනිසුන්ගේ මැදිහත් වීම මත මෙම “ඔඩ්ඩිස” නම් මන්ත්‍ර පොතින් යකුන්ට නිදහස් වීමට දායකත්වය ලබාදුන් නිසා “ගොපලු ඔඩ්ඩිස” යනුවෙන් ගෞරව නාමයකින් ඔවුන් හදුන්වා ඇති බව සඳහන් වේ. වඩිඟ, ඔඩ්ඩි, සූනියම් යන යකුන් තුන්දෙනාම “ඔඩ්ඩිස” නම් මන්ත්‍ර පොතින් කබලෑවෙන් පිටත් වූ නිසාත්, කඹ දමාවත් යකු නතර කිරීමට නොහැකි වූ නිසා “කඹලෑ යකු” ලෙසත් මිනිසුන් අතරට එක්වූ බව විශ්වාසයයි.

මෙම පොතින් යකුන් නිදහස් වීමෙන් අනතුරුව මෙම ඔඩ්ඩිස මන්ත්‍ර පොත බියට පත් වූ ගොපලුන් විසින් සිදු වූ සිද්ධිය නිසා එය තමන් සතුව තබා ගැනීමට ඇති වූ බියෙන් කුඹල්කරුවන් වෙත ලබා දී තිබේ. කුඹල්වල පිළිබද ව කවි කිහිපයක් ම කබලෑ පටුනෙහි සදහන් වේ. කුඹල්වල යනු කබලෑව නොවේ. කබලෑව උපන් ආකාරය සෘජුව ම කබලෑ පටුනෙහි මෙසේ දක්වා ඇත.

වද කරලා යක් සෙන් අසු               වෙන්නේ

තද කර ලා ලණු පොට                 ඇදපන්නේ

කඹ දම ලා බැදපන්                    විගසින්නේ

කබලෑවේ නම එදයි                    උපන්නේ

ඒ අනුව කබලෑවෙන් පරිබාහිර ව කුඹල්වල පැවති ආකාරය හදුනාගත හැකි ය. කුඹල්වල යන්න නම් සැලසෙන අකාරය සම්බන්ධ ව කරුණු සොයා බැලීමේ දී ඒ බව කබලෑ පටුන මනාව පහත කවි තුළින් දක්වනු පෙනේ.

බඩහැලයා පස්ගත්තු           තැනින්නේ

ගොඩකරලා වළ ගෙවල්        තන්නනේ

ඉඩම හොදයි මුදියන්සේ        උන්නේ

කුඹල්වල නම එදයි             උපන්නේ

දෙමින් එ පොත බඩහැල               බිලිඳුන්නේ

ගොසින් එ නුග මුල තේව              කරන්නේ

තෙදින් එ යක් සෙන් පිරි               වරමින්නේ

නමින් කුඹල්වල නම්                   සලසන්නේ

කුඹල්වලට කබලෑ දෙවි වැඩ            ලා

ඒ ගල් තලේ සිට විමන් බලා            ලා

බෝධිමුල්ල අස්සැද්දුම දැක              ලා

වඩිති දියමුල්ලේ ගම දැක               ලා

බඩහැල කුල ජනයන්ගේ එවකට වාසස්ථානයක් ලෙස කුඹල්වල ග්‍රාමය පැවති බව පෙනේ. බඩහැල මිනිසුන්ගේ කේන්ද්‍රස්ථානයක් නිසා මෙන් ම එම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ද මෙම කුඹල්වල නාමය උලන් බව ඉහත කවිවලින් හදුනාගත හැකි ය. කබලෑ පටුනෙහි දෙවියන් ගිමන් හැරි ස්ථානයක් බව ද කබලෑ පටුනේ ඉහත දක්වා ඇති තුන්වන කවියෙන් ප්‍රසිද්ධ වේ. ඉහත දෙවන කවියෙන් යකු නිදහස් වීමෙන් පසු ව ඔඩ්ඩිස මන්ත්‍ර පොත බඩහැල බිළින්දන් විසින් මෙය කුඹල්වල ග්‍රාමයට ගෙන ගොස් ප්‍රධාන වෙල්යායේ තිබූ රූස්ස නුග ගසක් තුළ තිබූ බෙනයක තැන්පත් කර එම ගස මුලට තේවාවන් කළ බවත් ඉහත ලෙස කබලෑ පටුනෙහි හදුනාගත හැකි ය. යම් කාලයක් ගතවීමෙන් අනතුරුව මෙය යකුන් බැදි පොතක් නිසා ඇති වූ විවිධ බිය දනවන සුළු සිද්ධි මුල්කරගනිමින් මෙම පොත කුඹල් වලෙහි ගැසූ නිසා ද පසු ව එම වළ ගොඩකර ගෙවල් සකස්කරගත් ආකාරය ද කුඹල්වල යන්න කබලෑ පටුනට එකතු වූ බව ද ඉහත දක්වන පළමු කවියෙන් තහවුරු වෙයි.

            (කුඹල්වෙල මහා වෙලේ ඔඩ්ඩිස මන්ත්‍ර පොත තැම්පත් කරන ලදැයි විශ්වාස කෙරෙන නුගගස් පරම්පරාවේ වර්තමාන නුග ගස)

මෙම ඉහත අවස්ථාවෙන් පසුව කබලෑ යකු ඔඩ්ඩිස පොතින් නිදහස් වීම නිසා ඉතා ම ප්‍රීතියෙන් ඉහළ නැගෙමින් පිමි දහඅටක් පැන්න බවත් එම නිසා ම මෙම භූමි වෙත පා තැබීමෙන් පසුව එම දහඅට ස්ථානය නින්දගම් දහඅට වශයෙන් බිහි වූ බවත් එම නින්දගම් දහ අට ඇසුරු කරගනිමින් සිට පින් මහිමයත් සිය දේව කාර්යයන් සිදු කරමින්  දුකට පත් වූ මිනිසාට සිය සේවයත් නිරතුරුව ම සලස්වමින් කටයුතු කරන බව දැක්වේ. එම නින්දගම් දහඅට අතර කබලෑ පියසෙහි වැඩ ඉන්නට මනා කැමැත්තක් දක්වන බව සඳහන් වේ. එයට කබලෑ දෙවියන් ලොභකමක් දක්වන  බව ද දැක්වේ. ඒ බව කඹලෑ පටුන දක්වන්නේ මෙසේ ය.

මෙකී මෙ ගම් ලැබෙන දෙවි         එම විට

වැකී ඉන්ඩ ලොබ වී               කබලෑවට

රැකී නොයෙක් කෝවිල්වල         වැඩ සිට

මෙ කී සියලු ගම් කබලෑ              සුරිඳුට

මෙම කබලෑ යකු නිදහස් වීමෙන් පසු ව අසීමාන්තික ප්‍රීතියෙන් යකු පනින ලද නින්දගම් දහඅට තුළ තම බලපරාක්‍රමය පවත්වමින් කටයුතු කර තිබේ. මෙම කබලෑ යකු සැමවිට ම තම අතීතාවර්ජන හදවතට ගලා එන්නට වූ බව සිතිය හැකි ය. එබැවින් ඔහු ව යටත් කරගෙන මන්ත්‍ර පොතක සිර කරන ලද පිරිස සේ බාහිර සමාජයේ උදවිය ද පෙනෙන්නට වූ නිසා ඔහු බොහෝ සේ මුරණ්ඩු සේ ම රෞද්‍ර උරණ ගති පෙන්නුම් කරන්නට වූ බව ඉතිහාසයෙහි දැක්වේ. එම නිසා ම බොහෝ දෙනෙක් මෙම යකුට බිය දැක්වූහ. අයෙකුට පහර දෙන්නට විය. තවත් අයෙකුට ජීවිතය පවා අහිමි වූහ. එවැනි පරිසරයක් තුළ ගොඩනැගුණු මෙම යකු තමන් යටත් කර ගනු ඇති බව සිතමින් කල්ගත කළේ ය. ඒ බව මොහු ප්‍රදර්ශනය කළේ තම වාසස්ථාන නින්දගමෙහි කිසිදු පිරිමි දරුවෙකුට ඉපදෙන්නට ඉඩ නොදීමෙනුයි. එහෙත් කෙසේ හෝ ඉපදුනහොත් යළි ජීවත් වීමට අවස්ථාව ලබා නොදීමයි. එම නිසා ගම්මුන්ට පිරිමි දරුවන් රැක ගැනීමට ඉතා වෙහෙසක් දැරීමට සිදු විය. තම නිවසින් පිටත් වූවෙකුට තම ස්වාමි දියණියට පිරිමි දරුවෙකු ඉපදුන බව කටින් කට හෝ ආරංචි වුවහොත්  එම නිවැසියාගේ උත්තරය වන්නේ “දැන් ඉතින් ගිහින් වැඩක් නෑ” යනුවෙනි. මන්ද ක්ෂණයකින් එම දරුවාගේ ජීවිතය යක්ෂයා විසින් පැහැරගෙන ඇති බව ඔහු විශ්වාසයේ පවතින නිසාවෙනි. දෙමව්පියන් හට පිරිමි දරුවන් ආරක්ෂා කර ගැනීමට පැදුරු වානේ ගසන ලද බව දැක්වේ. එහෙත් යකු කෙසේ හෝ එම දරුවා සොයා ගෙන ජීවිතය විනාශ කරන ලද බව ජනප්‍රවාදයේ දැක්වේ. මෙසේ දරුවන් මරා දමා සඟවන ස්ථානය කොල්ලන් වැලලූ පිටිය ලෙස ඉතිහාසයේ සඳහන් වේ. ඇඹව විහාරයට මීටර පන්සියයක් පමණ දුරින් මෙම කොල්ලන් වැලලූ පිටිය දක්නට ලැබේ.  එනම් අද ද මිනීපිටියක් ව පවතින කබලෑවේ මිනීපිටියයි. ඉතා පැරණි කහට ගහක් එම ස්ථානයෙහි දැකිය හැකි ය. එම ස්ථානය යම් පාළු බවක් උසුලන අතර මෑතක් වන තුරු ම එම ප්‍රදේශයෙහි ජනාවාසවල යම් අඩුවක් දැක ගැනීමට හැකි විය.

            (කොල්ලන් වැල ලූ පිටිය ලෙස හැදින්වෙන කබලෑවේ මිනී පිටිය)

මෙසේ ජීවත් වූ යකු මෙල්ල කිරීමේ අවශ්‍යතාවය කබලෑවේ නින්දගමෙහි මිනිස්සුන්ට වැඩි වශයෙන් දැනෙන්නට විය. එම නිසා මේ වෙනුවෙන් යම් යම් ග්‍රාමීය මන්ත්‍රකරුවන් උත්සාහ කළ ද ඔවුන්ට විවිධ පීඩා එල්ල විය. විටෙක මරණයට පත් වීමට සිදු වූ බව දැක්වේ. එම නිසා මෙම කටයුක්ත ඉටු කිරීමට බොහෝ දෙනෙකු බිය දක්වන සුලු කටයුත්තක් විය. මෙලෙස කබලෑ යකුගේ ඒ උපද්‍රව අඩු නො වන නිසා බියට පත් වූ මිනිසුන් මෙම අවනඩුව පත්තිනි අම්මාට යදිමින් කියා සිටියේ ය. නිතර දෙවේලේ දෙවියන්ගෙන් උත්තරයක් ඉල්ලා සිටියේ ය. ඉන් පසු ව කබලෑවේ විසූ රාජපද්ම මුදියන්සේ නොහොත් අඹවැව සිල්වත් රාළට පත්තිනි මෑණියන් සිහිනෙන් පැමිණ කබලෑ යකු දමනය කළ යුතු ආකාරය පෙන්වාදී ඇත.

ඉන්පසුව පත්තිනි මෑණියන් කියූ පරිදි දැනට ඇඹව විහාරයෙහි දේවාලය පිහිටි ස්ථානයට පැමිණ ඒ වන විට එම ස්ථානයෙහි බෝ ගසක් සහ අරලිය ගසක් තිබූ බව ජනප්‍රවාදයෙහි එයි. ඒ අතර බෝ ගස අද්දරට තිබූ ගල්තලාවට වී ගුරුකම් වෙනුවෙන් වෙන්වන නව ගුණ වැල් හත් පොටක් ගෙන ලුණු නැති කිරිබත් ආහාරයට ගෙන ලක්ෂ වාරයක් “ඉතිපිසෝ භගවා අරහං…….” යන නව අරහාදී බුදු ගුණයෙන් පිරිත් කොට ඇත. මෙසේ ලුණු නැති කිරිබත් කමින් මෙම ක්‍රියාවලිය සිදුකර ඇත්තේ යක්ෂයා පැමිණීමේ දී යක්ෂයාව හා යක්ෂයාගේ කුයිල මනාව පැහැදිළි ව හදුනාගැනීමටත් ය. සිහිනයෙන් පෙන් වූ පරිදි එම අවස්ථාවේ දී නැගෙනහිර දිශාවට තිබූ අඹවැවෙහි ආරක්ෂක රළපනාව දිගේ වලන් රැගෙන පැමිණි වළං ගෙන යන බඩහැල මනුෂ්‍යයෙකුගේ වේශයක් මවාගෙන වළං කඳ ද කර තබා ගෙන පැමිණ තිබේ. සිදුවෙන සිදුවීම මනාව දැනගත් වඩිග හෙවත් කබලෑ යකු එම ගෙනා වළං කඳ පොළොවේ ගසා “මාව යටත් කර ගැනීමට හැකි හපනා කවුදැයි” කියමින් කත්ලීය වැරෙන් බිම ඇන ඇත. එම අවස්ථාවේ දී පොළොවට පැලී ජලධාරාවක් අහසට නැගී ඇති බව කියැවේ. ඒ බව සිහි වීමට එම ස්ථානයේ ලිදක් ඉදි වූ අතර එම ලිදෙන් ගැහැණු උදවියට අද ද නෑමට නොහැකි බවත් එසේ කාන්තාවක් එහි දිය නෑවහොත් පැහැදිලිව ම විවිධ දෝෂාන්ධකාර ඇති වන බවත් එමඟින් බොහෝ දෙනෙක් පීඩාවට පත් වීම සිදුවන බවත් විශ්වාසයේ පවතියි. එසේ මෑත කාලය තුළ දී සිදු වූ අවස්ථා ද වාර්තා වූ බව ගමෙහි වැඩිහිටි උදවිය අද ද ප්‍රකාශ කරති. දේවාලයෙහි වතාවත් ඉටු කරන කපුමහතුන් මෙම ළිදෙන් ස්නානය කොට දවසෙහි දේවාල වතාවත් වෙනුවෙන් පැමිණෙන ඉතිහාසයක් ඇත. මෑත යුගයක් වන තෙක් ම එම කර්තව්‍ය සිදු වූ අතර පසුව එම කර්තව්‍ය යම් කාලයක් ලිද ප්‍රතිසංස්කරණය නොවීම නිසා අතහැර දමා ඇත. පසුව යළිත් එය ප්‍රතිසංස්කරණය කර තිබේ.

            (දේවාලයට නැගෙනහිරින් ඇති කඹලෑ යක්‍ෂයා කත්ලීය ගැසු තැන සිහිපත් වීම වෙනුවෙන් සකසා ඇති ලිද)

මෙසේ කත්ලීය ගැසීමෙන් අනතුරුව එක පිම්මකට වර්තමාන දේවාලය පවතින ස්ථානයට කබලෑ යකු පැමිණ තිබේ. එම අවස්ථාවෙහි රාජපද්ම මුදියන්සේ නොහොත් අඹවැව සිල්වත් රාළ අප්‍රමාණ තැති ගැනීමකට ලක්ව ඇත. ඇස් වසාගෙන මෙම පිරිත් කිරීමෙහි යෙදී ඇති අතර ඇස් ඇර බලන විට මනුෂ්‍යය රූපයක් වුව ද හිසකේ කඩාගෙන ඇස් රතු වූ භයංකාර ලෙස පෙනෙන ස්වරූපයක් දැක තිබේ. කෙසේ වුවත් පත්තිනි මෑණියන්ගේ මග පෙන්වීමෙන් සියල්ල වටහාගෙන සිටි රාජපද්ම සිල්වත් තැන මෙම බියට පත්වන ස්වරූපය නිසා මෙම අවතාරයට වියට පත් ව කලබල වී සකසා ගත් නවඅරහාදී බුදු ගුණයෙන් පිරිත් කරන ලද නව ගුණ වැල් හත් පොට යකුගේ බෙල්ලට වැටෙන සේ දැමීමෙන් අනතුරුව නව ගුණ වැල් හත් පොටින් හතර පොටක් කැඩී ගොස් තුන් පොටක් බෙල්ලට වැටී දේවත්වයට පත්ව ඇති බව ජනප්‍රවාදයෙහි එයි. ඒ බව ඇඹව විහාරයෙහි විහාර මන්‍දිරයෙහි සිතුවම් කර ඇති ප්‍රධාන චිත්‍රයෙන් ද තහවුරු වේ. මෙම සිතුවම ඇත්තේ මෙම ස්ථානයෙහි පමණක් වන අතර එය ආදේශ කර ගනිමින් යම් උදවිය සිතුවම් සකස් කර ඇත. එය මෙම ස්ථානයෙහි අනන්‍යතාවය ස්ථාවරව ම පෙන්වනන්කි මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් කඹලෑ දෙවියන් ලෙස පිළිගනු ලබන්නේ මෙය යි.

            (ඇඹැව විහාරයෙහි සිතුවම් කර ඇති නව ගුණවැල් තුන් පොට සහිත කබලෑ දෙවිදුගේ සිතුවම)

කබලෑව මහා දේවාලයේ කපුමහතුන් කටපාඩමින් පැවත එන කඹලෑ පටුනෙහි කබලෑ දෙවිඳුගේ චරිතය අලලා ප්‍රකාශ කෙරෙන ප්‍රධාන කවි පදමාලාවක මෙසේ සඳහන් වෙයි. යක්සෙන් පිරිවර දඹදිව දී මන්ත්‍රා පතෙහි බැඳුණු බවත්, යක්ෂයා කබලෑවට පැමිණීම තුළින් ඇති වූ දෝෂ පිළිබඳ ව අඹවැව් වෙහෙර නොහොත් වර්තමාන ඇඹව විහාරයෙහි උතුරින් පිපුණු තල මල්වලින් අර්ථ ගන්වා ඇත. එසේ ම කබලෑ යකු ඇඹවැව් වෙහෙර රන් දෙව් විමනක් වූ බවත් එම භූමියෙහි යක් සේනාපති නවාරහාදී බුදු ගුණයෙන් ලක්ෂ වාරයක් පිරිත් වූ නව ගුණ වැල් පොටින් දෙවිඳු වූ ආකාරයත්, පත්තිනි මෑණියන් රන් සළඹේ ආශීර්වාදය ලැබුණු ආකාරයත් පෙන්වා දෙයි. මෙම අවස්ථා නිසා යකු දේවත්වයට පත්වීම මගින් ඇති ව තිබූ දෝෂ පහවීමට හේතු වූ ආකාරයත් දක්වා ඇත. එම කවිපද පහත ආකාරයෙනි.

නෙතු පා දහ අට දේශෙක භාසෙක විජ්ජා දහඅට දැන රැදු                    නා

සකළ ඒ දඹදිව යක්සෙන් පිරිවර සමඟින් මන්ත්‍රා පොත බැදු                 නා

අඹවැව් තලයේ ජලමත වැටෙනා පුන්සද එළියට දොස් වැදු                 නා

තෙද ඇති බල ඇති අඹ වැව් වෙහෙරේ උතුරින් තල මල් දෙක පිපු           නා

අඹ වැව් වෙහෙරේ නිරිතින් බෝ මැඩ රන් දෙව් විමනක් සේ දිලු              නා

රුද්‍ර තෙදැති යක් සේනා පතිදා නව ගුණ ලක්ෂෙට දෙවිදු වු                    නා

සත් පත්තිනි මව් සත් පියුමින් වැඩ තෙද රන් හලඹෙන් සෙත් කෙරු          නා

ඒ තෙද මහිමෙන් උතුරෙන් සුපිපුණු තල මල් දෙකෙහි දොස ඇරු            නා

නව අරහාදි බුදුගුණයෙහි අසීමාන්තික බලය නිසා රෞද්‍ර යකු මෛත්‍රිය, කරුණාව යන ගුණ ධර්මවලින් හෙබි ශක්තිමත් බලවේගයක් බවට පත් කිරීමට අවකාශය ලැබිණ. මෙසේ ඒ උතුම් බුදු ගුණ බලයෙන් දේවත්වයට පත් වීමෙන් අනතුරුව පත්තිනි මෑණියන් යකුගේ කෙස් වැටියෙන් අල්ලා සිදු වූ දෑ නැවත කිසිදිනක සිදු නොවී තමන්ගේ ප්‍රභලත්වය වටහාගෙන අකුසලින් වැලකී කටයුතු කිරීමටත් කුසල් වැඩීමටත් අධිෂ්ඨාන කරවන ලද බව ජනප්‍රවාදයේ තුළ සඳහන් වෙයි. එසේ අධිෂ්ඨාන කරවීමෙන් අනතුරුව පත්තිනි මෑණියන් විසින් “කබලෑ වාහල බණ්ඩාර” යන ගෞරව නාමය පුදා රාජ ඔඩ්ඩිස බලය ලබා දුන් බව දැක්වේ. එම නිසා කබලෑ මුල් දේවාලය වන මෙහි ඔටුණු දරා රන්බද පටියක් සහිත ව විරාජමානත්වයට පත් වූ අකාරය ලංකාවෙහි කිසිදු දේවාලයක නොදැක්වෙන පරිදි මෙම දේවාලයට ම අවේණික ව රජවරයෙකුගේ පෙණුම ආරෝපණය කරමින් වසර 150 කට වැඩි කාලයක් ප්‍රධාන කුල සතක් එකතුව වතාවත් ඉටුකරති. එදා පටන් අද වන තෙක් ම දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලබමින් අසරණ ජනයාට පිහිට වෙමින් පූජනීයත්වයට ලක් වූ බව පෙන්වා දිය හැකි ය. මුල් ම කාලවකවානුව තුළ අප විහාරයෙහි දේවාලය හදුන්වා ඇත්තේ “කබලෑ වාහල බණ්ඩාර මුල් සිද්ධ සූනියම් ගම්භාර” දෙවොල වශයෙන් බව ජනප්‍රවාදයේ තුළින් හදුනාගත හැකි ය. හදුනාගැනීම වෙනුවෙන් හා දෙවියන්ගේ ස්වාධීනත්වය සලකා නූතනයෙහි මෙම ඓතිහාසක දේවාලය හදුන්වනු ලබන්නේ “කබලෑව ඇඹව, ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය” වශයෙනි. අද වන විට මෙම ප්‍රදේශයේ මිනිසුන් බොහොමයක් ක්‍රමානුකූල ව යක්ෂ ස්වරූපයට වඩා දේවත්වය ආරෝපණය කරමින් කබලෑ දෙවිදුන් අදහන බව මිනිසුන් කරනු ලබන පුද පූජා හා වතාවත් පිරික්සීම මගින් ගලපා සාකච්ඡා කිරීමට අවකාශය ලැබේ.