ආයතන

ශ්‍රී සුධර්මාරාම මහා විහාරයෙහි ක්‍රියාත්මක ආයතන

කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සමාජයීය කටයුතු රාශියක් සිදු කෙරේ. ඒවා පහත ලෙස බෙදා සාකච්ඡා කළ හැකි ය.

  1. දේවාල පාලක සභාව
  2. දායක සභාව
  3. ශ්‍රී සරණංකර දහම් පාසල
  4. දම්සක් තරුණ සමිතිය හා ශ්‍රී සරණංකර ළමා සමාජය
  5. විශාකා තුලඟන සමිතිය
  6. දැහැමි පුන්‍යධාර සමිතිය
Temple

1. දේවාල පාලක සභාව සහ විහාර භූමි සංවර්ධන කමිටුව

ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලයේ සියලු කටයුතු සොයා බැලීම උදෙසා මෙම පාලක සභාව සතු කාරයයභාරය වේ. දේවාලයේ පරිපාලන කටයුතු විධිමත් ලෙස ඉටු කිරීම මෙන් ම අධීක්ෂණය ද මෙම කමිටුව වෙත පැවරේ. බැතිමතුන්ගෙන් පැමිණෙන යෝජනා හා චෝදනා සාකච්ඡා මගින් සමාලෝචනය කිරීම ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ. මේ සදහා ගරු විහාරධිපති හිමියන්, කපුමහතා හා දායක සභාවේ උප සභාපති, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික යන නිලධාරීන් ද ඇතුළු ව හත් දෙනෙකුගෙන් සමන්විත වේ. අවශ්‍ය වූ විට ප්‍රාදේශීය ලේකම් තුමා හා ග්‍රාම නිලධාරී තුමා ද යන සම්බන්ද වේ. විහාර භූමියේ සහ දේවාල භූමියේ භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය මෙම පාලක සභාවේ අධීක්ෂණයෙන් විහාරභූමි සංවර්ධන කමිටුවෙන් සිදුකෙරේ. මෙහි සංවර්ධන කටයුතු සදහා බැතිමතුන්ගේ මුදල් බැරකිරීම සිදුවන්නේ පහත ගිණුම වෙත ය.

බැංකුවේ නම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB)

ශාඛාව        : කුලියාපිටිය

ගිණුම් අංකය : 100080433934

ගිණුමේ නම  : ශ්‍රී සුධර්මාරාම දායක සභාව

2. දායක සභාව

අප විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම පිණිස පිහිටුවාගෙන තිබෙන දායක සභාව ඇඹව ශ්‍රී සුධර්මාරාම ශාසනාරක්ෂක සමිතිය නමින් හැඳින්වේ. එය ආරම්භ කරණ ලද්දේ සත්කෝරල මහ දිශාවේ අධිකරණ සංඝනායක, අප විහාරාධිපති අති පූජ්‍ය කහටවිල සරණංකර ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් විහාර මන්‍දිරය ගොඩනැගීම සඳහා 1926 වර්ෂයේ දී විහාර වර්ධන සමිතිය පිහිටුවනු ලැබීය. ස්තූපය ගොඩනැගීම සදහා 1935 දී චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවා ගන්නා ලදී. එම සංවිධාන දෙකේ එකතුවෙන් 1930 දශකය අවසාන භාගයේ දී කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම ශාසනාරක්ෂක සමිතිය බිහිවිය.

දායක සභාව ආරම්භයේ සිට එහි අනුශාසක ධූරය හොබවන ලද්දේ විහාරාධිපති සරණංකර හිමියන් විසිනි. 1969 සැප්තැම්බර් 8 වන දින උන්වහන්සේ අපවත්වන තුරු ම එම තනතුර ඉසිලූහ. ඉන්පසුව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය එලතලව පේමරතන ස්වාමීන් වහන්සේ විහාරාධිපතිධූරයට පත්ව දායක සභාවට අනුශාසනා කළහ. පේමරතන හිමියන් විහාරස්ථානයෙන් ඉවත් ව දෙලන්වැවේ වත්තේ වැඩවාසය කරන්නට ගිය පසු ව උන්වහන්සේගේ ශිෂ්‍ය ගලයායේ පියරතන හිමියෝ විහාරාධිපති ධූරයට පත් ව සමිතියේ අනුශාසක වශයෙන් කටයුතු කළහ. පියරතන හිමියන් 2012.04.04 වන දින අපවත් විය. දායක සභාවේ වර්තමාන සභාපති ධූරය හොබවන්නේ ගරු විහාරාධිපති හිමියන් ය.

අප ශාසනාරක්ෂක සමිතියේ කටයුතු සිදුවන්නේ බුද්ධ ශාසන හා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ව්‍යවස්ථාමාලාවකට අනුව ය. මෙය බෞ. කො./සං08/දාස/කුරු/කුලි/016 යටතේ ලියාපදිංචි ව ඇත. විහාරස්ථානය බෞකො/විහාදේ/14/72/016 යටතේ ලියාපදංචි වී තිබේ.

වර්තමානයෙහි දායක පවුල් 850 පමණ දායකත්වය දරනු ලබයි. දායක බල ප්‍රදේශයේ ආගමික සංවිධාන කටයුතු පහසුකර ගැනීම සඳහා විහාරස්ථානයේ දායක ප්‍රදේශය කොටස් 30කට බෙදා කලාප නියෝජිතයින් පත්කරන ලදී. වාර්ෂික ව දන් සීට්ටු බෙදීම, ශ්‍රමදාන සහ වෙනත් කටයුතු සඳහා සාමාජිකයන් දැනුවත් කිරීම, කලාප මට්ටමින් පිංකම් සංවිධානය කිරීම, අරමුදල් එකතු කිරීම වැනි වගකීම් රාශියක් කලාප නියෝජිතයන් විසින් ඉටුකරනු ලැබේ.
දායක සභාවේ අනු කමිටුවත් වන මෙය පසුගිය කාලයේ සමිති සමාගම්, ආයතන හා පුද්ගලයින් විසින් විහාර භුමියේ අවිධිමත් ලෙස වැසිකිළි, කැසිකිළි, ගොඩනැගිලි ආදිය ඉදිකිරීම නිසා විවිධ ගැටළු උද්ගත විය. මේ ගැන සාකච්ඡා කළ දායක සභාව 2005 දී, විහාර භූමියේ සිදුකරණ ඉදිකිරීම් ක්‍රමවත් කිරීම සඳහා විහාර භූමි සංවර්ධන කමිටුව පිහිටුවන ලදී. එහි නිලධාරි මණ්ඩලය වන්නේ දායක සභාවේ නිලධාරින් ය.

දායක සභාව
(විහාරස්ථාන ලියාපදිචි සහතිකය)
දායක සභා ලියාපදිචි සහතිකය
(දායක සභා ලියාපදිචි සහතිකය)

ශ්‍රී සරණංකර දහම් පාසල

ශ්‍රී සරණංකර දහම් පාසල මුලින් ම ආරම්භ කරණ ලද්දේ 1943 ජනවාරි 20 වැනි දින පූජ්‍ය එලතලව පේමරතන හිමියන්ගේ පුරෝගාමිත්වයෙනි. එය කලක් ණයදෙන සමිති ශාලාවේත්, පසුව පරණ බණ මඩුවේත් පවත්වන ලදී. උන්වහන්සේගෙන් පසු ව අක්‍රිය ව පැවති දහම් පාසල නැවත ආරම්භකරණ ලද්දේ පූජ්‍ය කොබෙයිගනේ මේධංකර පොඩි හාමුදුරවන්ගේ මූලිකත්වයෙන් 1975 වර්ෂයේ දී ය. එයට අතහිත දීමේ පරමාර්ථයෙන් 1985 මැයි මස 4 වන දින දායක සභාව විසින් අරමුදලක් ද පිහිටුවන ලදී. එක් දායක පවුලකින් වර්ෂයකට රු.6.00 ක මුදල් එකතුකර අරඹන ලද දහම් පාසල් අරමුදලින් ලී බඩු සාදා දීම හා වෙනත් අවශ්‍යතා ලබා දීම, ත්‍යාග ප්‍රදානෝත්සවයට අනුග්‍රය දැක්වීම හා පසු කලෙක (1989) ගුරුවරුනට දීමනාවක් ගෙවීම ද කරණ ලදී.

මේධංකර හිමියෝ 1975 සිට 1989 දක්වා වර්ෂ 14කට කිට්ටු කාලයක් දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් ඉමහත් සේවාවක් ඉටු කළහ. උන්වහන්සේ 1989 දී විහාරස්ථානය හැර යාමෙන් පසුව දහම් පාසල අක්‍රියවන තත්වයක් උදා වූයෙන් වසර තුනක පමණ කාලයක් එච්.එම්.පියතිලක මයා එම වගකීම ඉටු කරන ලදී. ඉන්පසුව 1992 සිට දයාරත්න ඒකනායක මහතා එම කාර්යය භාරගත් අතර, එතුමාගෙන් පසුව ඒ.එම්.ගුණරත්න මහතා දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු කරන ලදී. එතුමා 2022/01/22 මිය ගිය නිසා ගරු විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි එස්. එම් ගුණසිරි විශ්‍රාමික නියොජ්‍යය විදුහල්පති තුමා පත් කරන ලදී. එහි ගුරුවරුන් වශයෙන් ස්වේච්ඡාවෙන් සේවය කරනු ලබන්නේ දහම් පාසලේ ඉගෙන ගත් ආදි සිසුන් ම ය. ඔවුන් බොහෝමයක් රජයේ පාසල්වල උගන්වනු ලබන ගුරුවරුන් ය. අදවන විට මෙහි දහම් පාසල් බොදු දරුවන් 285 ක ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනු ලබති. මෙය 61/72/දපා/ලි/3167 යටතේ ලියාපදිංචි කර ඇත.

දහම් පාසල් ලියාපදිංචි සහතිකය

(දහම් පාසල් ලියාපදිංචි සහතිකය)

විහාරස්ථානයෙහි කේන්ද්‍රීය ආයතන අතර ගම්භාර සිද්ධ කබලෑ මුල් සුනියම් මහා දේවාලය වැදගත් වේ. මේ පිළිබඳ ව මුලින් ම කරුණු සඳහන් වන නිසා නැවත කරුණු සිහිපත් නො කෙරේ. විහාරස්ථානය හා දේවාලයෙහි කටයුතු ඉතා විධිමත් අන්දමින් පවත්වාගෙන යාමට දායක සභාව, දහම් පාසල, විහාර භූමි සංවර්ධන කමිටුව ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබන අතර එමගින් සමාජයට ද සුවිශාල කාර්යභාරයක් ඉටු කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙම ප්‍රධාන ආයතන දෙකෙහි ආගමික හා සමාජයීය කටයුතු ක්‍රමානුකූල ව පවත්වාගෙන යාමට විශාකා කුලගන සමිතිය, දම්සත් තරුණ සමිතිය, ශ්‍රී සරණංකර ළමා සමාජය, දැහැමි පුණ්‍ය ආධාර සමිතිය යනාදාය ඉතා වැදගත් ම කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් නිසා බොහෝ පිරිසකගේ දායකත්වය නිතැතින් අවශ්‍ය වේ. එම නිසා මෙම ආයතන ඉතා වැදගත් වේ. සුදුසු සාමාජිකයන් දායක කර ගනිමින් බාල, මහලු, වැඩිහිටි සියලු දෙනාගේ ම දායකත්වය සමඟින් කිසිවෙකු මඟ නො හැරෙන සේ කටයුතු කරමින් පරිපූර්ණ මානව සමාජයක් බිහිකිරීම බලපොරොත්තුව යි.