ආගමික කටයුතු

ශ්‍රී සුධර්මාරාම මහා විහාරයෙහි වාර්ෂික ව සිදු කරන ආගමික කටයුතු

කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආගමික කටයුතු රාශියක් සිදු කෙරේ. ඒවා පහත ලෙස අවධානය යොමු කළ හැකි ය.

 

  1. වාර්ෂික ආශිර්වාද පහන් පූජාව සහ දේව දානය
  2. වාර්ෂික සර්වරාත්‍රික පිරිත් දේශනාව පැවැත් වීම
  3. සිල් සමාදන් වීම
  4. වාර්ෂික ඤාණ පූජාව
  5. ගුණානුස්මරණ පින්කම්
  6. වෙසක් උත්සවය හා පොසොන් උත්සවය
  7. වාර්ෂික දම්සක් දෙසුම මහාසමය සූත්‍ර දේශනා පැවැත්වීම
  8. දේවාල මංගල්‍යය සමඟින් දන්සල් පැවැත්වීම
  9. කඨින උත්සවය සහ පඩු පෙවීමේ මංගල්‍යය
  10. විශේෂ ධර්මදේශනා
  11. කබලෑ දෙවියන්ට පිදීමේ සෙත් පිරිත් දේශනාව
  12. මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීම ඒ අතර ප්‍රධාන වේ.

1. වාර්ෂික ආශිර්වාද පහන් පූජාව සහ දේව දානය

වසරක් ගෙවී නව වසරක් ලබන අවස්ථාවේ දී එම ලබන නව ව්‍යවහාරික වර්ෂය එනම් ජනවාරි පළවැනිදා දින කේන්ද්‍ර කරගනිමින් මෙම ආශිර්වාදාත්මක පහන් පූජාව සිදු කෙරේ. බොහෝදුරට මෙම පිංකම ඉටු කරනු ලබන්නේ පහන් එක්දාස් පන්සීයකට අධික ප්‍රමාණයක් දල්වමිනි. මේ සඳහා දායක ගම්මානයෙහි දායක පිරිස පමණක් නොව ලංකාවේ බොහෝ පිරිසක් සම්බන්ධ වනු ලබයි. ඊට ප්‍රධාන හේතුව ගම්භාර සිද්ධ කඹලෑ මුල් සුනියම් මහා දේවාලය පිහිටා තිබීම යි. රාත්‍රි 6 : 30 පමණ විශේෂ භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා මෙම පහන් පූජාව සිදු කරනු ලබයි. මෙය සෑම වසරක ම ඉටුකිරීම සම්ප්‍රධාය යි.

වසරේ මූලාරම්භයේ දී දෙවියන් උදෙසා වතාවත් පූර්ණය කරනු ලබයි. උදෑසනක් කිරි ඉතිරීම ද, ප්‍රධාන මුරුතැන් පූජාව ද පවත්වනු ලබයි. මේ සඳහා ලංකාවෙහි නොයෙක් ප්‍රදේශවලින් සම්බන්ධ වනු පෙනෙයි. සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා ගැනීම උදෙසා බැතිමතුන් රාශියක් මෙම වසරේ ආරම්භයත් සමඟ සිදුකරන ආගමික වතාවත්වල සම්බන්ධ වන අතර එදින පූජා කටයුතු රාශියක් සිදු කෙරේ. මුරුතැන් පූජා පැවැත්වීම, පූජාවට්ටි පුද දීම ආදිය ඒ අතර හඳුනා ගැනීමට අවකාශය ලැබේ.

මේ අතර ප්‍රධාන දේව දානය වූ මුරුතැන් පූජාව පැමිණෙන බැතිමතුන් උදෙසා බෙදා දීම සිදු කෙරේ. කිරි ඉතිරීම කටයුතු අවසානයෙහි ද කිරිබත් ආදිය බෙදා දෙයි. මෙවැනි සියලු කාරණා ඉතා ම භක්තියෙන් සම්බන්ධ වන බැතිමතුන් ඉටු කරනු ලබති. රාත්‍රී ප්‍රධාන ආලෝක පහන් පූජාව පැවැත්වීමෙන් අනතුරුව ද රාත්‍රී කාලයෙහි ද මුරුතැන් දේව දානයක් පවත්වන අතර එය හේවිසි නාද මධ්‍යයේ ඉතා ඉහළින් ඉටුකරනු ලබයි. පූජාව පවත්වා එදින පිරිත් නූල් බැඳ රාත්‍රි කටයුතු අවසන් කිරීම සිදුවේ.

2. වාර්ෂික සර්වරාත්‍රික පිරිත් දේශනාව පැවැත් වීම

ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දෙවියන්ට සහ රටවාසී, ලෝකවාසී සැමට සෙත් පතා වාර්ෂිකව සෙත් පිරිත්, මහා පිරිත්, තිස්තුන් පැයේ පිරිත් දේශනා පැවැත්වේ. වාර්ෂික ව ජනවාරී මාසය මුල්කරගනිමින් තිස්තුන පැයේ පිරිත් දේශනාවක් සිදුකිරීම විශේෂ වන්නේ නව වර්ෂයක් මුල් කරගෙන සිදුවන නිසා ය. විටෙක මෙම පිරිත් දේශනාව අගෝස්තු මාසයේ දී ද සිදුකෙරේ. එහෙත් දේවාලයේ වාර්ෂික මහා මංගල්‍යයේ දී කටයුතු පහසුවනු පිණිස මහා පිරිතක් වාර්ෂික ව දේවාලයේ අභ්‍යන්තරයේ දී සිදු කෙරේ. ජනවාරී මාසයේ පැවැත්වෙන පිරිත් දේශනාව රාත්‍රී පහන් වන තුරු ම විහාරස්ථ ධර්මශාලාවේ දී මෙම පිරිත් දේශනාව සිදුකෙරේ. දේවාල අභ්‍යන්තරයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් සිදු නොකරන්නේ එහි දී දේශනා කරන යම් යම් සූත්‍ර ධර්ම නිසා දේවාලය භූමියේ ප්‍රාථමික මුහුණුවරක් ඇති දේව සමූහයාට යම් හානියක් සිදුවේය යන විශ්වාසය මත ය. එම නිසා රාත්‍රී පහන් වන තුරු සිදුකෙරෙන පිරිත් දේශනා සිදු කරන්නේ විහාරස්ථ ධර්මශාලාව මුල් කරගෙන ය.

3. සිල් සමාදන් වීම

සිල් සමාදන් වීම සෑම මසක ම ප්‍රධාන පසළොස්වක පොහොය මුල්කරගනිමින් කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරයේ දී සිදුකෙරේ. මේ සඳහා දෙසියයකට අධික උවැසි උවැසියන් පිරිසක් සිය පොහොය වතාවත් ඉටු කරනු ලබයි.

4. සිල් සමාදන් වීම

මෙම පින්කම වර්තමාන ඉතා වැදගත් පින්කමක් වේ. අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පවතින විශේෂ ගුණයන් මූලික කරගනිමින් පවත්වනු ලබන විශේෂ පින්කමක් ලෙස මෙම පින්කම සැලකේ. තථාගතයන් වහන්සේගෙන් ගුණකඳ නව අරහාදී බුදුගුණ වශයෙන් සිහි කළා වුවත් බොහෝ බුදුගුණ මහජනතාව අතරින් අභාවිතයට පත්වෙමින් පවතී. එසේ භාවිතා නො වන බුදුගුණ සැදැහැතියන් තුළ තව තවත් සිහි කිරීමට අවස්ථාව උදා කිරීමටත්, නිවන් පිණිසත් ආමිස බුද්ධ පූජාවක් ලෙස ජනතා හදවත් තුළට ළඟා කිරීමට මෙම තෙසැත්තෑ ඤාණ පූජා මේ පිංකම පැවැත් වේ.

ඇඹව විහාරයෙහි මෙවැනි ඤාණ පූජා පින්කම වසර තිහක් (30) පුරාවට පවත්වාගෙන එනු ලබයි. ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය මත විශාඛා කුලගන සමිතිය විසින් මෙහෙයවනු ලැබේ. මෙම උතුම් පින්කම පවත්වනු ලබන්නේ පෙබරවාරි 4 වෙනි නිදහස් දින දී ය.

මෙම පිංකම මගින් සිය රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත්, මහා සංඝරත්නයටත් පිං අනුමෝදන් කිරීම සේ ම රට ජාතිය ආරක්ෂා කරනු ලබන සියලු රණවිරුවන්ටත්, අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රට කරවන උදවියටත්, ග්‍රාමවාසී රටවාසී සැමටත් ආශීර්වාදය කිරීමක් ලෙස මෙම පින්කම සිදු කෙරේ.

5. ගුණානුස්මරණ පින්කම්

කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම මහ විහාරයෙහි වැඩ වාසය කරන ලද සියලු ම සංඝපීතෘන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් මෙම පින්කම් මාලාව පැවැත්වේ. වසරේ අවස්ථා තුනක දී ගුණානුස්මරණ පින්කම් ඉටු කෙරේ.

  1. අප්‍රේල් 3 / 4 ගලයායේ පියරතන හිමියන්ගේ ගුණානුස්මරණය පිංකම
  2. ජුලි 3 / 4 ඉසුරුමුණියේ මංගල හිමියන්ගේ ගුණානුස්මරණ පිංකම
  3. සැප්තැම්බර් 7 / 8 සත්කෝරොළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක කහටවිල ශ්‍රී සරණංකර නාහිමියන්ගේ ගුණානුස්මරණ පිංකම

ඉහත මෙම පින්කම් ඉතාම සාර්ථක අන්දමින් ඉටු කෙරෙන අතර මේ සඳහා භික්ෂූන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩමවීම සිදුකෙරේ. මීට අමතරව අපවත් වූ සියලු මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීමටත්, රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් දීමටත්, මියගිය ග්‍රාමවාසි සියලු ම දායක සමූහයාට පින් දීමටත් අවස්ථාවක් කරගනු ලබති. ජීවත් ව සිටින සැමට ආශීර්වාද කිරීමටත් මෙම පින්කම් පැවැත්වේ.

6. වෙසක් උත්සවය හා පොසොන් උත්සවය

වෙසක් උත්සවය වෙසක් සතිය ලෙස යොදාගනිමින් දින සතක් ද, පොසොන් උත්සවය දින දෙකක් වශයෙන් ද පින්කම් සංවිධානය කරනු ලබයි. වෙසක් සතිය තුළ පහන් කූඩු ප්‍රදර්ශන, දහම් පාසල් දරුවන්ට සීල සමාදානය වැඩකටයුතු හා බැති ගී වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර වෙසක් හා පොසොන් ආගමික වතාවත් ගමේ සියලු ජනතාවට ශ්‍රවණය කිරීමට ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමින් ගම පුරා දෛනික පෝය වැඩසටහන ප්‍රචාරය කිරීමට කටයුතු සංවිධානය කරනු ලැබේ. මේ සඳහා විවිධ අනුග්‍රහයකයින් සිය පරිත්‍යාග සමගින් හා දායක සභාවේ මැදිහත් වීමෙන් මෙම පින්කම් සංවිධානය කෙරේ.

7. වාර්ෂික දම්සක් දෙසුම සහ මහසමය සූත්‍ර දේශනා පැවැත්වීම

වාර්ෂික ව සිදුකරන පිංකම් මාලාවේ ඉතා ම වැදගත් පිංකමක් ලෙස දම්සක් සූත්‍ර දේශනාව පැවැත්වීම හදුන්වා දීමට හැකියාව ලැබේ. ඓතිහාසික තොරතුරුවලට අනුව මෙම උතුම් පිංකම දෙවියන්ට පිංදීම වෙනුවෙන් සෑම ඇසල පුන්පොහෝදින ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලයේ පවත්වා ඇත. භාග්‍යවතුන් වහන්සේගේ පළමු සූත්‍ර දේශනාව වන දම්සක් සූත්‍ර දේශනාව ඇසල පුන්පොහෝ දිනයක දේශනා කර ඇති බැවින් එය ද අනුස්මරණය කරමින් අද ද මෙය පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලබන්නේ මෙම ඇසල පොහෝ දිනයක දී ය. මෙය වාර්ෂික ව පවැත්විය යුතු වන්නේ රාත්‍රී 12.00 පමණ ය.

අප තථාගතයන් වහන්සේ වෙසක් මාසයෙහි පුර පසළොස්වක පොහෝ දිනය තුළ ලොවුතුරා බුදු බවට පැමිණීමෙන් අනතුරු ව සත්සතියක් ගත කොට අටවන සතියේ මහා බ්‍ර‍හ්මයාගේ ආරාධනාව පිළිගෙන බරණැස ඉසිප‍තනාරාමයට වැඩම කොට දස දහසක් සක්වලින් පැමිණි දේව බ්‍ර‍හ්ම ගණයා පිරිවරා සිටිය දී පස්වග තවුසන් අමතා දම්සක් පැවතුම් සූත්‍ර‍ය දේශනාව වදාළ සේක. මෙය තථාගතයන් බුදුන් වහන්සේගේ ප්‍ර‍ථම ධර්ම දේශනාව යි. මේ තුළින් අටළොස් කෝටියක් දේව බ්‍ර‍හ්මයෝ ද ධර්මය අවබෝධ කර ගත් අතර ඒ පිළිබද ව සිහිපත් කරමින් මෙම සත්කෘත්‍ය ඉටු කෙරේ. තථාගතයන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන මෙම උතුම් සූත්‍ර‍ දේශනාව රාත්‍රි කාලයේ සජ්ඣායනයට ඉතා යෝග්‍ය දේශනාවක් බව සදහන් වේ. මෙය ඉතා ගෞරවයෙන් සජ්ඣායනා කළ යුතු අතර විශේෂිත මහා මණ්ඩපයක් චාර්ත්‍රානුකූල ව සකස් කෙරේ. මෙය දෙවියන් ප්‍රිය සහ ගරුකරන, අසනු කැමති සූත්‍ර දේශනාවක් නිසා දේවාලයට පැමිණෙන බොහෝ බැතිමතුන් ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවා වෙනුවෙන් පීං දීමට මෙම උතුම් කටයුක්තට ඉතා ම වුවමනාවෙන් සම්බන්ධ වෙති. මේ සමග මහාසමය සූත්‍ර දේශනාව ද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට සමගාමිව සිදුකෙරේ.

මෙම මහාසමය සූත්‍ර දේශනාව ද කපිලවස්තුව සමීපයෙහි මහා වනයෙහි මහා දේවතා සමාගමයට පැමිණි දේව සමූහයාගේ නම් වෙන් වෙන් වශයෙන් දක්වා ඇත. එම නිසා දෙවියන් වෙනුවෙන් දේශනා කෙරෙන සූත්‍රයක් නිසා මෙය දම්සක් පැවතුම් දේශනාවට ම සමාගාමි ව සිදුකෙරෙන්නේ සැදහැතියන්ට පිං පුරවා ගැනීමට සේම ගම්භාර දෙවියන් ඇතුළු සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් ව සතුටු සිත් ඇතිකරගැනීමට සේම දිවසුරු දෙවි විමන් සේම ප්‍රාර්ථනා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් ව නිවන් සදාගනු පිණිස.

මනාව සකස් කරන ලද මණ්ඩපයට මහ සගරුවන වැඩමවා ගෞරවයෙන් පිළිගෙන ප්‍රධාන අනුශාසනා පවත්වා ගිලන්පස සාංඝීක කොට ශබ්ද පූජා පවත්වා දේවතාරාධනාව ද කොට මෙම සූත්‍ර‍ දේශනා කිරීම සිදු කෙරේ.

8. දේවාල මංගල්‍යය සමඟින් දන්සල් පැවැත්වීම

දේවාල මංගල්‍යය කේන්ද්‍රකරගනිමින් විශේෂ උත්සව රාශියක් පැවැත්වේ. ප්‍රධාන දේවාල උත්සවය පවත්වා පැරණි චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ ව අවබෝධයක් මිනිසුන්ට ලබා දීම සිදු කරනු ලබයි. මෙදින බොහෝ දෙනෙක් විවිධ පින්කම් පවත්වති. ඒ අතර කඹලෑ දෙවියන් උදෙසා සාංඝික දානයක් පවත්වමින් පින් අනුමෝදන් කිරීම සිදුකෙරේ.

ප්‍රධාන කපුමහතා, දායක සභාව, දේවාලයට නොයෙක් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් මගින් විහාරස්ථානය පුරා දන්සැල් විස්සකට අධික ප්‍රමාණයක් පවත්වනු ලබති. එසේ ම විහාරස්ථානයේ නවාතැන් ගනිමින් ද දුර පළාත්වල සිට පැමිණෙන බොහෝ උදවිය ද මෙම විශේෂ දන්සල් පැවැත්වීම ආදී කටයුතු වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය කැප කරමින් එම පිංකම් ඉටු කරන බව පෙනේ.  

9. කඨින උත්සවය සහ පඩු පෙවීමේ මංගල්‍යය

කඨින පිංකම යනු විහාරස්ථානය ඉතා ම වැදගත් පිංකමකි. ඇසළ පුන් පොහෝ දිනයේ දී වස් ආරාධනා කිරීමේ පින්කම පැවැත්වේ. ඒ සඳහා සුධර්මාරාම විහාරස්ථ දායක සභාව සහ විශාකා කුලඟන සමිතිය එක් ව වස් ආරාධනා කිරීම සිදුකෙරේ. මෙසේ වස් ආරාධනාවක් අනතුරුව භික්ෂූන් වහන්සේලා පසු දින වස් සමාදන් වීම සිදු කෙරෙයි. වස් සමාදන් වීමෙන් අනතුරුව තුන් මාසයක් පුරා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉතා වැදගත් පින්කම් රාශියක් සංවිධානය කෙරේ. ඒ අතර ශ්‍රී සරණංකර දහම් පාසලේ දරුවන් වැඩි වශයෙන් සම්බන්ධ කරගනු ලබන්නේ ඔවුන්ට ප්‍රායෝගික අභ්‍යාසයක් ලබාදීම අරමුණු කර ගෙන ය. මේ අතර බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා, සෙත් පිරිත්, ධර්ම දේශනාදිය ඉතා වැදගත් වේ.
කඨින පිංකම යනු විහාරස්ථානය ඉතා ම වැදගත් පිංකමකි. ඇසළ පුන් පොහෝ දිනයේ දී වස් ආරාධනා කිරීමේ පින්කම පැවැත්වේ. ඒ සඳහා සුධර්මාරාම විහාරස්ථ දායක සභාව සහ විශාකා කුලඟන සමිතිය එක් ව වස් ආරාධනා කිරීම සිදුකෙරේ. මෙසේ වස් ආරාධනාවක් අනතුරුව භික්ෂූන් වහන්සේලා පසු දින වස් සමාදන් වීම සිදු කෙරෙයි. වස් සමාදන් වීමෙන් අනතුරුව තුන් මාසයක් පුරා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉතා වැදගත් පින්කම් රාශියක් සංවිධානය කෙරේ. ඒ අතර ශ්‍රී සරණංකර දහම් පාසලේ දරුවන් වැඩි වශයෙන් සම්බන්ධ කරගනු ලබන්නේ ඔවුන්ට ප්‍රායෝගික අභ්‍යාසයක් ලබාදීම අරමුණු කර ගෙන ය. මේ අතර බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා, සෙත් පිරිත්, ධර්ම දේශනාදිය ඉතා වැදගත් වේ.

මෙලෙස තුන් මසක් පුරා ම භික්ෂූන්වහන්සේලාට දායකයන් සිව්පසයෙන් උපස්ථාන කරනු ලැබේ. එසේ උපස්ථාන සමගින් හා භික්ෂූන් වහන්සේලාගේ වතාවත් පූර්ණය කරමින් සිට වප් පොහොයේ දී භික්ෂූන් වහන්සේලා පොහොය කර මහා පවාරණයෙන් පවාරණය වූ පසු චීවර මාසය තුළ විශේෂ දිනයක් නම් කර කඨින පූජෝත්සවය පවත්වති. මෙම කඨින පූජෝත්සවය දින දෙකක් පුරාවට විහාරස්ථානයේ පැවැත් වෙන අතර පළමු දින ගමේ රථ පෙරහරක් පැවැත්වීම සිදුකෙරේ. එම රථ පෙරහරින් ගම් සීමාවෙහි කඨින වස්ත්‍රය වැඩමවා එහි වගකීම ගත් උදවියට භාර දීම සිදුකරති.
ඉන්පසුව කඨින වස්ත්‍රය එම නිවසේ තැම්පත් කර රාත්‍රී ගිහි පිරිත් දේශනාවක් පවත්වා උදෑසන 05:00ට පමණ තම විවිධ සංස්කෘතිකාංග සමගින් කඨින වස්ත්‍රය වැඩමවා භික්ෂුන්ට භාර දීම සිදුවේ. මහා සංඝරත්නය එම වස්ත්‍රය භාරගැනීමෙන් අනතුරුව විනයානුකූල ව භික්ෂූන් වහන්සේලාගේ අධීක්ෂණයෙන් සකසනු ලබති.

වසර දෙකෙන් දෙකට පමණක් සුදු වත්‍රයක් වැඩමවා චීවරයක ආකෘතිය සමගින් විනයානුකූල ව සකසා පඬු පෙවීම සිදුවේ. මෙමගින් ජන හදවත් තුළට අතීත සම්ප්‍රදායන් ගෙන ඒමේ බලාපොරොත්තුව වේ. දහවල් සාංඝික දානය පවත්වා සිවුර කඨින සිවුරක් ලෙස සාංඝීක කර විනයානුකූල ව සංඝරත්නය විසින් තෝරාගත් විහාරස්ථානයෙහි වස් වසන උපසම්පදා භික්ෂු නමකට කඨින සිවුර පවරනු ලබයි. පසු ව පැමිණී සියල්ලන්ට වතාවත් සම්පූර්ණ කරමින් වාර්ෂික කඨින පින්කම නිමාවට පත් කරනු ලබයි.

10. විශේෂ ධර්මදේශනා

කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම මහ විහාරයෙහි විවිධ අවස්ථාවල විශේෂ ධර්ම දේශනා පැවැත්වේ. “සබ්බදානං ධම්මදානං ජිනාති” යන බුදුවදනට අනුව ලෙස සියලු දානයන් පරදවා දෙනු ලබන ධර්ම දානමය පිංකම ඉතා වැදගත් ය. ධර්මය මිනිසාගේ ජීවිතයට සමීප කිරීමට ඉතා වැදගත් වූවකි. මිනිසුන්ගේ ජීවිතය නිවැරදි ව සකස් කිරීම විහාරස්ථානයක වගකීම වේ. ඒ සඳහා මෙවැනි පින්කම් ඉතා වැදගත්කමක් තිබේ. මෙම කරුණු නිසා විශේෂ ධර්මදේශනා විෂයෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. විහාරස්ථානය ප්‍රධාන ධර්ම ශාලාව ඉදිරිපිට ඇති භූමිය තුළ ප්‍රධාන වේදිකාවක් සකසා ධර්මදේශනා පවත්වති. බොහෝ පිරිසක් මේ සඳහා සම්බන්ධ වන අතර මෙම පින්කම වෙනුවෙන් බෞද්ධයන්ගේ වැඩි අවධානයක් ද ඇත. රටේ චිරප්‍රසිද්ධ දේශකයන් වහන්සේලාගෙන් අතුරෙන් තෝරාගත් දේශකයන් වහන්සේලා මෙම ධර්ම දේශනා වෙනුවෙන් නිරතුරුව ම සම්බන්ධ කරගැනීම සිදුකෙරේ. බොහෝ දෙනෙක් මෙම ධර්ම දේශනාවලට සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කරනුයේ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවට පිං දීම වෙනුවෙන් මූලික අපේක්ෂාව පවතින බැව්නි.

11. කබලෑ දෙවියන් උදෙසා පිං දීමේ සෙත් පිරිත් දේශනාව

කබලෑ දෙවියන්ට පිං දීමේ විශේෂ පින්කම් රාශියක් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ඒ අතර දෙවියන් උදෙසා පැවැත්වෙන සෙත් පිරිත් දේශනාව ඉතා ම වැදගත් වේ. මෙය පවත්වනු ලබන්නේ දේවාල භූමියේ දී ය. මහා සංඝරත්නය වැඩමවා දේවාලයෙහි මණ්ඩපයක් සකසා එහි ගිලන්පස සංඝීත කොට පූජා පවත්වමින් පසු ව සෙත් පිරිත් දේශනාව පවත්වනු ලබයි. එම දේශනාව අවසානයේ දෙවියන්ට පින් දී පන්දම් දොළසේ ශාන්ති කර්මයක් පවත්වා දෙවියන්ට සතුටු සිත් ඇති කරනු ලබයි.

දෙවියන් උදෙසා දේවාල භූමියෙහි වාර්ෂික සාංඝීක දානයක් පැවැත්වේ. එමඟින් ද කඹලෑ දෙවියන්ට පින් දීම පැන් වඩා පින්දීම සම්ප්‍රදාය යි.

12. මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීම

කබලෑ දේවතාවුන් වහන්සේට පින් දීම වෙනුවෙන් පැවැත්වෙන උතුම් පින්කමක් ලෙස මෙම මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීම හඳුන්වා දිය හැකි ය නිරතුරුව ම මෙවැනි පින්කම් කබලෑව මහා දේවාලය තුළ පැවැත්වේ. මෙම උතුම් පින්කම් කරනු ලබන්නේ දේවාල භූමියේ දී ය. මරණයට කැප වූ ගවයන් නිදහස් කොට දේවාලයට ගෙන ගොස් යාතිකාවක් කර දෙවියන් උදෙසා පින් පැමිණවීම සිදු කරනු ලබයි. පසු ව පන්සල් භූමියෙහි දින කිහිපයක් බැඳ සුදුස්සෙකු ට ඉතා ම වගකීමෙන් ලබාදීම සිරිත යි.

මෙම ගවයන් නිදහස් කරවීමට භාර වන්නේ කඹලෑ දෙවිදුගේ විශේෂ පිහිට ආරක්‍ෂාව සහ භාර වන කටයුක්ත ඉතා සාර්ථකව ඉටු කිරීමට දේවියන්ට සිහි කිරීමක් ලෙස ය. එසේ ම බොහෝ රෝගාතුර ව සිටින අයට නිරෝගි සුවය ලැබීම උදෙසා ය. රෝගාතුර වූ අය මෙම භාරයෙන් අනතුරුව මරණින් නිදහස් වීම සංකේතවත් කරමින් එම සතුන් නිදහස් කිරීම සිදු කරනු ලැබේ. මෙය ඉතා ම වැදගත් වූ පින්කමකි.

මෙම පිංකම් වෙත ඔබ සැමට ද වාර්ෂික ව සම්බන්ධ වීමේ අවස්ථාව පවතී. ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවුන් වහන්සේට පිං දීමට බලාපොරොත්තු වන ඔබ විහාරස්ථානයෙන් විමසීමක් කිරීමෙන් මේ සදහා අවස්ථාව ලබාගත හැකි ය.