ඉතිහාසය

දේවානම්පියතිස්ස රජ දවස (ක්‍රි : පූ 247 – 207) අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙම ශ්‍රී ලංකා ධර්මද්වීපයට සම්බුද්ධ ශාසනය හඳුන්වාදීමත් සමඟ ඉතා ම ධාර්මික සද්ගුණවත් ධර්මයට ඇලුම් කරනු ලබන සමාජ පද්ධතියක් බිහි විය. මෙම පද්ධතිය මූලික කරගනිමින් අනුරපුර මහා විහාරය මල්වතු හා අස්ගිරි උභය මහා විහාරය ප්‍රභවය වන්නට විය. එසේ ආරම්භ වුවත් යම් යම් අවස්ථා ශාසනයෙහි විවිධ හා විෂම මතභේද හටගැනීමට විවිධ ලෙස බලපෑවේ ය. මෙම ථෙරවාදී මහා විහාර භික්ෂු පරපුර වට්ටගාමිණී රජුගේ (ක්‍රි : පූ 89 – 77) කාලය තුළ අභයගිරිය වශයෙන් ද, මහසෙන් රජුගේ (ක්‍රි : ව 274 – 301) කාලය තුළ ජේතවන විහාරය වශයෙන් ද ධර්ම, විනය තුළ විවිධ මතභේද ඇති කරමින් බිහිවන්නට විය. එම නිසා ම මහා විහාරය, අභයගිරිය, ජේතවන විහාරය වශයෙන් විහාරත්‍රයක් බිහිවීම දක්වා පුළුල් ව පැතිර ගියේ ය. මෙම විහාරත්‍රය වශයෙන් ගොඩනැගී ගිය ආයතන තුළ ප්‍රධාන වන්නේ දේවානම්පියතිස්ස රජුගේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟෙන්නට වූ මහා විහාරයයි.

මෙම මහාවිහාර වංශය ඇසුරු නිසරු කර ගනිමින් ග්‍රාමවාසි සම්ප්‍රදායෙහි නියෝජනය මල්වතු පාර්ශවය ලෙසත්, අස්ගිරි පාර්ශවයෙහි නියෝජනය වනවාසී සම්ප්‍රදාය ලෙසත් අනුගමනය කරමින් ශ්‍රී ලංකාදීපයෙහි අප්‍රමාණ කීර්තියක් ගොඩනගා ගැනීමට අවකාශය හිමි විය.

මල්වතු විහාරය රාජ්‍යය අනුග්‍රහය ලබමින් සුපෝෂණය වූ අතර මල්වතු මහාවිහාරය ආරම්භ වීමට මුල් ම හේතු ව වූයේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා කිසිදු උපසම්පදා භික්ෂුවක්  ශාසනයෙහි නොසිටි කාලවකවානුවක් අපට ඉතිහාසයෙහි හමුවෙයි. එම නිසා මහනුවර යුගය වන විට මෙරට බුදු සසුනත්, ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනයත් අන්ත පරිහානියකට පත්ව තිබුණි. මෙසේ පැවති ශාසන පරිහානිය වෙනස් කරන ලද්දේ වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමිපාණන් වහන්සේ (ක්‍රි : ව 1698 සිට 1778 දක්වා) විසිනි.

මේ සඳහා උපසම්පදාවේ වටිනාකම සැමවිට ම තේරුම් ගත් වික්‍රමබාහු විමලධර්මසූරිය, කීර්ති ශ්‍රී රාජසිංහ  යන රජ දවස් ඉතා වැදගත් ය. එකල භික්ෂූන්ට ආවාස පූජා කළා පමණක් නොව රජුගේ ප්‍රධාන මල්වත්ත ම උපසම්පදා මහා පුණ්‍ය ක්‍රියාව සඳහා වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කොට උපෝසථාගාරයක් සාදවා ගම්බිම්, ඉඩකඩම් ද සහිත ව ප්‍රාදේශීය විහාරස්ථාන පූජා කරමින් අනාගත ශාසනික චිරස්තිථිය ප්‍රාර්ථනා කරන්නට කටයුතු සලස්වා දෙන්නට විය.

සියම් දේශයේ සිට උපසම්පදාව රැගෙන වැඩමවා වදාළ උපාලි මාහිමිපාණන් වහන්සේගේ හා පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ද උපදෙස් ඇතිව මල්වතු මහා විහාරය හා අස්ගිරි මහා විහාරයේ ද උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපහෙි පිහිටුවමින් චිරස්ථායි භික්ෂු පරපුරක් බිහි කරන්නට සමත් විය. එසේ ආරම්භ වූ භික්ෂු පරපුරකට අප විහාරස්ථානය නෑකම් කියන බව ප්‍රමුඛ ව සිහිපත් කළ යුතු ය. මෙම ඓතිහාසික විහාරයෙහි භික්ෂු පරපුර ජනප්‍රවාදයට අනුව ගම්පොල රාජ්‍ය යුගය වන තෙක් දිවය යි.

සියම් දේශයේ සිට උපසම්පදාව වැඩමවා නැවත ශ්‍රී ලංකාවෙහි පිහිටු වීමෙන් අනතුරුව ඓතිහාසික අඹවැව් වෙහෙරෙහි පළමු උපසම්පදා භික්ෂුව වන්නේ ලෝළුවාගොඩ චන්දජෝති හිමියන් වේ. උන්වහන්සේ උපසම්පදා වූ වර්ෂය වන්නේ සකරාජ වර්ෂ 1679 යි. එහි ව්‍යවහාරික වර්ෂය වන්නේ 1757 වර්ෂය යි. ලොළුවාගොඩ චන්දජෝති හිමියන් පැවිදි වූ බව තහවුරු කෙරෙන තල්පතෙහි උන්වහන්සේගේ ආචාර්යවරයා නම ලෙස සදහන් වන්නේ සර්‍වත්තජෝති සාමීන් ය. බොහෝ දුරට ලොළුවාගොඩ චන්දජෝති හිමියන් අතිපූජ්‍ය කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු විය යුතු ය. මෙම තල්පතට අනුව මෙම ලොළුවාගොඩ චන්දජෝති හිමියන්ගේ උපසම්පදාවේ දී උපාධ්‍යාය හිමිපාණන් වහන්සේ ලෙස කටයුතු කොට ඇත්තේ සියම් දේශේ සිට උපාලි මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සමග මෙරටට උපසම්පදාව වැඩම වූ සියම්වාසී වරඥන මහා තෙර සාමීන් ය.    

ලොළුවාගොඩ චන්දජෝති හිමිපාණන් වහන්සේ උපසම්පදා වූ තල්පත (1757)

ජනප්‍රවාදයේ ඇති භික්ෂු පරපුර

කබලෑව අඹවැව් වෙහෙරේ භික්ෂු පරපුර පිළිබද ව අවධානය යොමු කිරීමේ දී එය ගම්පොළ රාජ්‍ය යුගය වන තෙක් ම දිවය යි. වඩිග නොහොත් කබලෑ යක්ෂයා සත්කෝරළයට සංක්‍රමණය වීමෙන් අනතුරුව එම යකුගෙන් ඇති වූ විවිධ පීඩාවන් නිසා මෙම ප්‍රදේශයේ මිනිසුන් බියට පත් වී ජීවත් වන්නට විය. එම බිය තුරන් කරන ලද්දේ මෙම ප්‍රදේශයේ ජීවත් වූ රාජපද්ම නමැති සිල්වත් තැනගේ මැදිහත් වීම මත ය. පත්තිනි මෑණියන් වෙත නිතර ම මිනිසුන්ගේ වේදනාවේ කන්නලව්ව විවිධ අවස්ථාවන්හිදි ඇසෙන්නට විය. ඒ සෑම වේලාවක ම මෙම යක්ෂයාගෙන් වන උවදුරු නිසා පීඩාවට පත් වූ අසරණ මිනිසුන්ට සදාසැනසුමක් ඇතිකිරීම උදෙසා මෙම යකු දමනය කිරීමේ වගකීම රාජපද්ම නමැති සිල්වත් තැනට පැවරින. එම සිල්වත් තැන විසින් වර්තමාන දේවාලය පවතින තැනට පැමිණ ‘‘ඉතිපි සෝ භගවා’’ යන ගාථාවෙන් මාස තුනක කාලයක් ලුණු නැති කිරිබත් කකා නව ගුණවැල් හත් පොටක් පිරිත් කළ බව සදහන් වේ. ඉන් අනතුරුව නියමිත කාල පැමිණීමෙන් කබලෑ යකු වෙත එම නවගුණවැල් හත් පොට දැමූ අතර ඉන් හතර පොටක් කැඩි ගොස් තුන් පොටක් කරේ ඉතිරි වීමෙන් දේවත්වයට පත් වූ බව අදහස යි. එසේ හිතුවක්කාර කබලෑ යකු දේවත්වයට පත් කළ රාජපද්ම සිල්වත් තැන මෙම ස්ථානය හැර නොගොස් බ්‍රහ්මචාරිවරයෙකු ලෙස මෙම ස්ථානයේ ම වැඩසිටියහ. ක්‍රමික ව උන්වහන්සේගෙන් මෙම අඹවැව් වෙහෙරේ භික්ෂු පරපුර ආරම්භ වී  ඇත. එතැන් පටන් ‘උන්නාන්සේ නමින් හදුන්වන සග පිරිසක් සිටි බව ජනප්‍රවාදයේ එයි.

  1. රාජපද්ම බ්‍රහ්මචාරී උන්නාන්සේ
  2. දීගල්ලේ උන්නාන්සේ
  3. කබලෑවේ උන්නාන්සේ
  4. කිතගම උන්නාන්සේ
  5. ලෝළුවාගොඩ උන්නාන්සේ ආදීන් ඒ අතර වේ.

මෙම තොරතුරුවලට විහාරයෙහි ආරම්භක ඉතිහාසය ජනප්‍රවාදයට අනුව ගම්පොළ රාජ්‍ය යුගය වන තෙක් ද ලිඛිත ව මහනුවර යුගය වන තෙක් ද දිවය යි. ඒසේ ලිඛිත ව මහනුවර යුගය වන තෙක් අවධානය යොමු කිරීමේ දී සත්කෝරළය හා සබැදි භික්ෂු සමාජයේ සුවිශේෂී සංවර්ධනයක් දැකගත හැකි යුගයකි. එනම් මීට වර්ෂ 270 කට පමණ පෙර ය. මෙම යුගය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ සමය යි. එතුමාගේ රාජ්‍ය සමයේ ක්‍රි : ව 1747 – 1780 දක්වා වූ කාල වකවානුව යි. මෙම කාලවකවානු ව තුළ සත්කෝරළය අද වනවිට කබලෑ දෙවියන් බොහෝ සෙයින් වන්දනාමානයට ලක් වී ඇති ප්‍රදේශය භාරව කටයුතු කළේ මොල්ලිගොඩ දිසාව විසිනි. එසේ ම මෙම සත්කෝරලය ඓතිහාසික වශයෙන් ප්‍රධාන භික්ෂු පාර්ශව කිහිපයක් යටතේ වර්ග කොට ඇති බව පෙනේ.

  1. ගොමුගොමුව විහාර පාර්ශවය
  2. තිස්සව විහාර පාර්ශවය
  3. මැද්දේපොල විහාර පාර්ශවය වශයෙනි.

මෙහි ගොමුගොමු පාර්ශවය අනෙකුත් පාර්ශව අතරින් ඉතා පෞරාණික වූවකි. අද වන විට ඇඹව විහාරය නෑකම් කියනු ලබන්නේ ගොමුගොමු විහාර පාර්ශවයට ය. අප මෙම විහාරස්ථානයට වර්ෂ 265 ලිඛිත ඉතිහාසයක් ඉතා පැහැදිලි ව හදුනාගෙන ඇත. මෙහි ආරම්භකයා කවුද යන්න සඳහන් කිරීමට කරුණු නොමැත. එහෙත් ඇඹව විහාරයෙහි පළමු උපසම්පදා භික්ෂු අපට හමුවන්නේ සකරාජ වර්ෂ 1679 දී ය. එනම් ව්‍යවහාරික වර්ෂ 1757 වර්ෂයේ ය. ඒ ලොළුවාගොඩ චන්දජෝති හිමිපාණන් වහන්සේ ය.

වර්තමානයේ වන විට මෙකී ඇඹව විහාරයෙහි අධිපතිත්වය දරනු ලබන්නේ පූජ්‍ය ඉරුදෙනියායේ සිරිරතන හිමිපාණන් වහන්සේ ය. උන් වහන්සේ අප විහාරස්ථානයේ දැනට ඇති ලිඛිත කරුණුවලට අනුව නවවැනි විහාරාධිපති හිමිපාණන් වහන්සේ ය. අප විහාරය සතු ඉතිහාසයෙහි විශේෂත්වයක් ලෙස අපට එක් කරුණක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ. එනම් මෙම විහාරාධිපති පරම්පරාවේ සියලු ම භික්ෂූන් වහන්සේලා මල්වතු මහා විහාරයෙහි උපසම්පදාව ලැබූ බවට තොරතුරු අප සතු පැවතීම යි. මෙතෙක් අප විහාරයෙහි වැඩ සිටි අධිපතිවරු හා උපසම්පදා ශිෂ්‍යවරයන්ගේ ලේඛනයක් ඉදිරිපත් කිරීමටත්, උන්වහන්සේලාගේ අනන්‍යතාවය තහවුරු කිරීමටත් අවශ්‍ය සියලු කරුණු අප සතුව ඇති බව මතක් කර සිටීමට කැමැත්තෙමු. අප විහාරස්ථානයේ සග පරපුර රාජපද්ම අඹවැව සිල්වත් තැන වන තෙක් ද නැවත පාරිශුද්ධ භික්ෂු පරපුරක් ලංකාවෙහි පිහිටු වීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයෙහි වැඩ සිටි අතිගෞරවණීය බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය කොට අපගේ භික්ෂු පරපුර ආරම්භ කර ඇති බව මෙමගින් ඉතා පැහැදිලි ව හඳුනා ගැනීමට අවකාශය ලැබේ.

අඹවැව් වෙහෙර නොහොත් ඇඹව විහාරයෙහි ඉතිහාසය සහ සග පරපුර සොයා ගැනීමට අදාල කරගත හැකි ලිඛිත මූලාශ්‍රය තුනක් හමු විය. ඒවානම්

  1. විහාරස්ථානයේ ඉඩකඩම්වල හා කුඹුරුවල ඔප්පු
  2. පුස්කොළ බණ පොත්හි පත්ඉරුවල ලියා තිබෙන උපසම්පදා සීට්ටු හා වෙනත් තොරතුරු
  3. 1861 මාර්තු 17 දින වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් ඇතුලු ඒ ඒ විහාරාධිපතීන් වහන්සේලා තම ධූරකාලය තුළ තම අත්අකුරින් ලියා තිබෙන ගම්බිම් ලේඛන ආදිය ප්‍රධාන විය.

මීට අමතර ව විහාරධිපති හිමිවරුන්ගේ සටහන් යනාදිය ද, ප්‍රාථමික සහ ද්විතීයික මූලාශ්‍රය අධ්‍යයන, ක්ෂේත්‍ර අධ්‍යයන හා ජනප්‍රවාද, ජනශ්‍රැති සේ ම කපුමහතුන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යන කවි, කොල්මුර, කන්නලව්, යන්ත්‍ර මන්ත්‍ර හා ශ්ත්‍රෝත්‍ර ආදිය යොදා ගැනේ. මෙය පර්යේෂණාත්මක කරුණු දැක්වීමකි. විශේෂයෙන් ම මෙම විහාරයෙහි සග පරපුර ස්ථාවරව ම සටහන් කිරීමට දායක වූ ප්‍රධානත ම මුලාශ්‍රය වන්නේ භික්ෂු ප්‍රාතිමෝක්ෂය විවිරණය යි. මෙය පුස්කොළ පොතකි. වසර සිය ගණනක් තිස්සේ මෙම පුස්කොළ පොතෙහි ඒ ඒ යුගයේ උපසම්පදා වූ භික්ෂූන් වහන්සේලාගේ තොරතුරු මෙහි ඇතුළත් කොට ඇත. ජනප්‍රවාදයෙහි සදහන් වන අකාරයට මෙම ප්‍රාතිමෝක්ෂ විවරණය නම් පුස්කොළ පොත භික්ෂූන් වහන්සේ වහන්සේ නමක් අභිනවයෙන් උපසම්පදා වීමේ දී මෙම පොත ද සමග උපසම්පදාව ලැබීමට බලාපොරොත්තු වන භික්ෂුන් වහනසේ ව ඇඹව විහාරේ සිට ඓතිහාසික සෙංකඩගල වරප්‍රවරයෙහි පිහිටි මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපෝසථාගාරයට වැඩමවා අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවා එසේ උපසම්පදා වූ බව ලිඛිත ව මෙම පුස්කොළ පුස්තකයෙහි සටහන් කර ඉතා ම ගෞරවයෙන් යළිත් ඇඹව විහාරයට වැඩම කිරීම සිදුකරති. මේ සදහා දින හතරක පමණ කාලයක් එවකට ගත වී ඇති බව සදහන් වේ. පසු ව මෙම විහාරයෙහි පොහොය විනය කර්මය සිදුකරනු ලබන්නේ ද මෙම පුස්කොළ පොත දායක කරගෙන ය. ගොමුගොමුව විහාර පරපුරෙහි මෙන් ම විහාරස්ථානයට සම්බන්ධ වෙනත් සග පරපුරයන්හි උපසම්පදා භික්ෂූන් වහන්සේලා ද අඹවැව් වෙහෙරෙහි පෝයගෙට එකතුව සාමුහික ව පොහොය විනය කර්මය සිදුකිරීම ඈත අතීතයේ සිට ම සිදුකොට ඇත. එම නිසා මෙම පුස්තකයට හිමිවන්නේ ඉතා ම ගෞරවයකි. උපසම්පදාව යනු ශාසනික සම්ප්‍රදායේ ඉතාමත් වැදගත් විනය කර්මයකි. සම්බුදු සසුනෙහි ස්ථාවර ම අයිතිය හිමි වන්නේ උපසම්පදාව තුළිනි. එම වටිනාකම නිසා ම ඇඹව විහාරයෙහි උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ විස්තර මෙම පාතිමෝක්ෂ විවරණය නම් පුස්කොළ පුස්තකයට ඇතුළත් කොට ඇත. දැනට මෙය වර්ෂ 265 ක් පමණ පැරණි ය.

ප්‍රාතිමෝක්ෂ විවිරණය පුස්කොළ පොත් වහන්සේ

එසේ ආරම්භ අප භික්ෂු පරපුර පහත ලෙස වර්ග කොට දැක්විය හැකි ය.

කබලෑව අඹවැව (ඇඹව) විහාරයෙහි සඟ පරපුර

                    රාජපද්ම අඹවැවේ බ්‍රහ්මචාරී උන්නාන්සේ

                    දීගල්ලේ උන්නාන්සේ                                                           

                    කබලෑවේ උන්නාන්සේ                                  

                    කිතගම උන්නාන්සේ

                    ලෝළුවාගොඩ උන්වහන්සේ 

1. අතිපූජ්‍ය වැලිවිට සරණංකර සංඝරාජ මාහිමි හා අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි
2. අතිපූජ්‍ය කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනාහිමි
3. අතිපූජ්‍ය කොටිකාපොල ශ්‍රී සෝභිත මහනාහිමි
4. පූජ්‍ය ලෝළුවාගොඩ චන්දජෝති හිමි (විහාරාධිපති – 1757 සිට 1785)
5. පූජ්‍ය කල්ලෙලියේ සුමංගල හිමි (විහාරාධිපති – 1785 සිට 1820)
පූජ්‍ය හේනේගෙදර ධම්මපාල හිමි (ශිෂ්‍ය)
6. පූජ්‍ය වේයංගොඩ අත්ථදස්සි හිමි (විහාරාධිපති – 1818 සිට 1865)
පූජ්‍ය හැටිගම ධම්මපාල හිමි (සහෝදර)
පූජ්‍ය පුලියන්කුලමේ සංඝරක්ඛිත හිමි (ශිෂ්‍ය)
පූජ්‍ය වේයංගොඩ පියදස්සි හිමි (ශිෂ්‍ය)
පූජ්‍ය පස්යාලේ සුමංගල හිමි (ශිෂ්‍ය)
පූජ්‍ය පිදුමේ සංඝරක්ඛිත හිමි (ශිෂ්‍ය)
පූජ්‍ය දණ්ඩගමුවේ ධම්මජෝති හිමි (ශිෂ්‍ය)
7. පූජ්‍ය වේරගොඩ ඉන්ද්‍රජෝති හිමි (විහාරාධිපති – 1865 සිට 1898)
පූජ්‍ය හග්ගමුවේ සෝණුත්තර හිමි (ශිෂ්‍ය)
පූජ්‍ය ගිරිවුල්ලේ රේවත හිමි (ශිෂ්‍ය)
8. පූජ්‍ය හග්ගමුවේ පියදස්සි හිමි (විහාරාධිපති – 1898 සිට 1923)
පූජ්‍ය කිරිමැටියානේ ගුණානන්ද හිමි (ශිෂ්‍ය)
පූජ්‍ය ගලහිටියාවේ රතනපාල හිමි (ශිෂ්‍ය)
9. පූජ්‍ය කහටවිල ශ්‍රී සරණංකර හිමි (විහාරාධිපති – 1923 සිට 1969)
පූජ්‍ය එළතලව සීලරතන හිමි (ශිෂ්‍ය)
පූජ්‍ය කුඹල්වල අත්ථදස්සි හිමි (ශිෂ්‍ය)
10. පූජ්‍ය එළතලව පේමරතන හිමි (විහාරාධිපති – 1969 සිට 1984)
11. පූජ්‍ය ගලයායේ පියරතන හිමි (විහාරාධිපති – 1984 සිට 2012)
12. පූජ්‍ය ඉරුදෙනියායේ සිරිරතන හිමි (විහාරාධිපති – 2012 සිට මේ දක්වා)

ඉහත කබලෑව, ඇඹැව විහාරයෙහි අධිපතිත්වය දැරූ හිමිවරුන්ගේ සහ උපසම්පදා වූ භික්ෂූන් වහන්සේලාගේ තොරතුරු පමණක් ඇතුළත් කරන ලද අතර 1913 දක්වා වූ තොරතුරු පුස්කොල පොත්වලත් ඉන්පසුව සිදු වූ උපසම්පදා 1931 සාමණේර, උපසම්පදා භික්ෂූන් ලියාපදිංචි කිරීමේ පනතට අදාළවත් විස්තර සඳහන් වේ.

ඉහත භික්ෂු පරපුර අවිච්ඡින්න ව ම මෙම අඹවැව් වෙහෙරෙහි වර්තමානය වන තෙක් පැවත එනු ලබන අතර මෙමඟින් අප ඇඹැව විහාරයෙහි අනන්‍යතාවය ඉතා පැහැදිලි ව විදහාපානු ලබයි. ඉහත නම් සඳහන් සියලු ම භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව මල්වතු මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් සිදු වූ බව තහවුරු කිරීමට වර්ෂ 1753 දී නිල වශයෙන් උපසම්පදාව පිහිටීමෙන් අනතුරුව මහනුවර යුගයේ සිට මෙම විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දැරූ කිහිප නමකගේ පුස්කොළ පත්ඉරු කීපයක් මෙසේ දැක්විය හැකි ය.

ලෝළුවාගොඩ චන්දජෝති හිමිපාණන් වහන්සේගේ උපසම්පදාව තහවුරු කරන තල්පත (වර්ෂ 1757 න් පසු විහාරාධිපති හිමි)
කල්ලෙලියේ සුමංගල හිමිපාණන් වහන්සේගේ උපසම්පදාව තහවුරු කරන තල්පත (වර්ෂ 1785 සිට 1820 වන තෙක් විහාරාධිපති හිමියන්)

වේයංගොඩ අත්ථදස්සි හිමිපාණන් වහන්සේගේ උපසම්පදාව තහවුරු කරන තල්පත (වර්ෂ 1820 සිට 1865 විහාරාධිපති හිමියන්)
වේරගොඩ ඉන්දජෝති හිමිපාණන් වහන්සේගේ උපසම්පදාව තහවුරු කරන තල්පත (වර්ෂ 1865 සිට 1898 විහාරාධිපති හිමියන්)
හග්ගමුවේ පියදස්සි හිමිපාණන් වහන්සේගේ තහවුරු කරන උපසම්පදාව තහවුරු කරන තල්පත (වර්ෂ 1895 සිට 1923 විහාරාධිපති හිමියන්)

ඉහත මෙම සියලු කරුණුවලින් අප අඹවැව මහා විහාරයෙහි භික්ෂු පරපුරෙහි ඉතිහාසය වර්තමානය වන තෙක් ම අවිච්ඡින්නව පැවත එනු ලබන්නකි. එම නිසා කිසිවෙකුට කබලෑ පළාතේ අඹවැව විහාරය මෑත යුගයක ආරම්භ කරන ලද්දක් බව කෙසේ නම් ප්‍රකාශ කිරීමට හැකි වන්නේ ද? එම නිසා අප විහාරයෙහි ඉතිහාසය ගම්පොළ යුගය වන තෙක් දිවයන මහනුවර යුගය සමඟ සෘජු සබඳතා පවත්වමින් නැවත සංවර්ධනය වූ බව අවබෝධ කර ගැනීම යුක්ති යුක්ත ය.

ඉහත මෙම විහාරාධිපතීන් වහන්සේලාගේ සම්බන්ධතාවය තවත් තහවුරු කෙරෙන එක් අවස්ථාවක් ලෙස 1861 වූ මාර්තු මස 17 දින වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් විසින් අත්සන් තබා ප්‍රකාශ කරන ලද දැනට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සුරක්ෂිතව ඇති ලේඛනය හා ඉතා වැදගත් වූවකි. එහි වේයංගොඩ අත්ථදස්සි හිමියන් විසින් කල්ලෙලියේ සුමංගල හිමියන්ගෙන් විහාරස්ථ ඉඩකඩම් භාරගෙන තමන් වහන්සේ සතු වන බව ප්‍රකාශ කිරීමෙන් විහාරයෙහි ඉතිහාසය මෙන් ම අනන්‍යතාවය ද විදහා දක්වනු පෙනේ. පහත ලේඛනයෙහි කබලෑව පළාතේ ඇබෝව විහාරය ලෙස සඳහන් කර ඇත. “ඇබෝව” යන්න මෙහි භාවිතයට ගෙන ඇත්තේ ඉංග්‍රීසියෙහි Ebowa යන්න භාවිතයට ගෙන ය.

1861 වූ මාර්තු මස 17 දින වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් විසින් අත්සන් තබා ප්‍රකාශ කරන ලද දැනට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සුරක්ෂිතව ඇති ලේඛනය

මෙම ලේඛණයෙහි ඉහළින් “කබලෑවේ පළාත ඇබෝව විහාරේ නොහොත් දේවාලේ කටුගම්පොල කොරලේ කබලෑව පළාත තිබෙන ගම්බිම් ලේඛණයයි” යනුවෙන් සදහන් කර තිබේ. මෙම සදහනෙන් කබලෑව පළාතේ සුවිශාලත්වය ද  විහාරය හා දේවාලයට අයිති සියලු ඉඩම් පිළිබද ව ද හදුනාගත හැකි ය. විහාරය මෙන් ම දේවාලයක් ද පැවති බව ද මේ තුළින් තහවුරු කරගැනීමට අවස්ථාව තිබේ. මෙහි වපසරිය ඉතිහාසයෙහි පැතිර තිබූ ආකාරය පැරණි ලේඛන තුළින් තහවුරු කිරීමට අවකාශය ලැබේ. එසේ විශාල ව පැවති භූමිය අද වන විට ග්‍රාමික වර්ගීකරණය තුළ කුඩාවට දක්නට ලැබේ. මෙම කරුණු යම් යම් අය උලුප්පමින් කබලෑව දේවාලයක්, විහාරයක් එහි නැති බව ප්‍රකාශ කිරීමට උත්සුක වනු පෙනේ. එමගින් කබලෑ දෙවියන් පිළිබඳ ව දුර්මත ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම කනගාටුදායක කරුණකි. කබලෑව පළාතේ එක ම විහාරස්ථානය අප ඇඹැව විහාරය, අඹවැව විහාරය වශයෙන් ඓතිහාසික ලේඛන තුළ සඳහන් වන්නේ අප ආයතනය බව පැහැදිලි ව ම අප ප්‍රකාශ කිරීමට කැමති ය. ඓතිහාසික කබලෑව ග්‍රාමවරය නැගෙනහිරට පිදුම දක්වාත්, උතුරට පල්ලිපිටිය දක්වාත්, දකුණට දීගල්ල දක්වාත්, බස්නාහිරට වස්සාවුල්ල ගම් මායිම දක්වාත් පැතිර තිබී ඇත. ඉතිහාසයේ කබලෑවේ තිබූ ඓතිහාසික ම ස්ථානය අඹවැව් වෙහෙර ලෙස මෙය ප්‍රසිද්ධ ව පැවත ඇත. මෙම වෙහෙර හැර කිසිදු විහාරස්ථානයක් කබලෑවේ තිබූ බවට සාක්ෂි නැත.

ඉහත දක්වා ඇති ලේඛනය හරහා ඔප්පු වන්නේ කබලෑව පළාත තුළ සඳහන් එක ම විහාරස්ථානය මෙම විහාරස්ථානය බවයි. අද වුව ද වර්තමාන සීමා දමා ඇති කබලෑවේ බොහෝ බෞද්ධ ජනතාවක් දායකත්වය දරන්නේ ඇඹැව විහාරයට බව සිහිපත් කළ යුතු ම ය. ඉතිහාසයෙහි ද අඹවැව නොහොත් ඇඹැව විහාරයට කබලෑව පළාතේ සියලු ම බෞද්ධයන් දායකත්වය ලබා ඇත්තේ මෙම ඓතිහාසික වෙහෙරට ම බව සිහි කැඳවිය යුතු ය. මෙහි වර්තමානය වන විටත් දායක පවුල් දහසකට ආසන්න පිරිසක් දායකත්වය දරමින් බෞද්ධාගමික වතාවත් මෙම වෙහෙරෙන් පූර්ණය කරගනු ලබති.

  1. කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ

කොටිකාපොල ශ්‍රී සෝභිත මහනාහිමිපාණන් වහන්සේ

ඇඹව විහාරයෙහි සඝ පරපුර පිළිබඳ ව විමසීමේ දී කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ කොටිකාපොල ශ්‍රී සෝභිත මහනාහිමිපාණන් වහන්සේ කිසිසේත් අමතක කළ නො හැකි ය. මෙම මාහිමිවරුන් කේන්ද්‍ර කරගනිමින් මහනුවර යුගයේ සිට අද වන විට ලිඛිත ව පවත්නා අප භික්ෂු පරපුර ආරම්භ කරන ලද බව සිතිය හැකි ය.

බු : ව 2296 නොහොත් ක්‍රි : ව 1753 ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින සියම් දේශයෙන් වැඩමවා වදාළ මහා සඟරුවන විසින් උපසම්පදා විනය කර්මය සිදු කරන ලදී. සියම් දේශයේ සිට එසේ පැමිණි සඟ පරපුරෙහි ප්‍රධාන නාහිමියන් ලෙස හැඳින්වූයේ උපාලි මහා ස්ථවිර පාදයන් වහන්සේ ය. උන්වහන්සේගේ උපාධ්‍යාය තනතුර සමගින් පළමු පිරිස උපසම්පදා ශීලයෙහි පිහිටුවා වදාළහ. එසේ ආරම්භ වූ උපසම්පදාව මුල් කරගනිමින් සංඝ පීතෘවරයන් වහන්සේලා රාශියක් උපසම්පදාව ලබමින් ශාසනික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන් උපසම්පදාවට පත් වූයේ වර්ෂ 1753 ජූනි මස 15 වැනි දින දී ය. එසේ උපසම්පදාවට පත් උන්නාන්සේ පනස් වන විය ඉක්මවා සිටියහ. උන්වහන්සේ උපසම්පදාව ලැබීමෙන් අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් වර්ෂ 1753 නිකිණි පුන් පොහෝ දින දා එනම් පසුවස් සමාදන් වන දිනයේ දී සංඝරාජ පදවිය සංකේතවත් කරමින් විජිනිපත අතිපූජ්‍ය වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන් වහන්සේට පිරිනැමුවේ ය.

වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන් සංඝරාජ පදවිය ලැබිමෙන් අනතුරුව උන්වහන්සේගේ නායකත්වයෙන් යුතු ව ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය තුළ සුපේශල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහි කිරීමටත්, ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය නගා සිටුවීමටත් කටයුතු කරන ලදි. එසේ දල්වාලන ලද ශාස්ත්‍රීය ප්‍රදීපාලෝකය තව තවත් ඒකාලෝකමත් කිරීමට නව මංපෙතක් විවර කිරීමට සමත් විය. මෙමගින් සසුනට නව ජීවයක් ලැබෙන්නාක් මෙන් වූ අතර පාලි භාෂාව සහ ධර්ම අධ්‍යයනය සඳහා සංඝයා යොමු කරමින් කටයුතු කරවීමට උන්වහන්සේ සමත් විය.

අතිගෞරවණීය බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ
අතිගෞරවණීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයෙහි ප්‍රථම මහ නායක හිමිපාණන් වහන්සේ

මෙම සියළු කරුණු තුළින් නව ශාසනික ප්‍රබෝධයක් ලක්දිව පුරා ඇති කරමින් සුපේශල ශික්ෂාකාමී ශ්‍රාවක පුතණුවන් බිහි කරමින් වර්තමානය වන තෙක් ම අභිමානවත් භික්ෂු පරපුරක් බිහිකිරීමේ ලා පුරෝගාමීත්වය දරමින් වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මහා හිමිපාණන් වහන්සේ කටයුතු කරන ලදී. එවන් ලෙස ආරම්භ කරන ලද භික්ෂු පරපුර ධර්මධර, විනයධර ශිෂ්‍යයන් අතර අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මල්වතු මහා විහාර පාර්ශවයෙහි පළමු මහනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන වේ. මෙම දෙදෙනා වහන්සේගේ ශිෂ්‍යවරයෙක් ලෙස කොටිකාපොල රතනජෝති අනුනායක මාහිමිපාණන් වහන්සේ හඳුන්වා දිය හැකි ය. උන්වහන්සේගේ ශිෂ්‍යරත්නය වන්නේ කොටිකාපොල ශ්‍රී සෝභිත මහනායක හිමිපාණන් වහන්සේ ය.

මෙම දෙදෙනා වහන්සේ ම උපත ලබන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ඡන්ද කොට්ඨාශයෙහි වෑඋඩ විල්ලි හත්පත්තුවේ කොටිකාපොල දී ය. කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනායක මාහිමිපාණන් වහන්සේ වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ සහ තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදි උපසම්පදාව ලබා ශබ්ද, ධර්ම ශාස්ත්‍රය ලබා සියම් දේශාගත බ්‍රහ්මජෝති කර්මාචාර්යන් වහන්සේගෙන් මනාව කර්ම වාචා කීම පිළිබඳ ව උගෙන ලංකා භික්ෂූන් වහන්සේලා උදෙසා එවැනි විනයානුබද්ධ ඥානය ලබා දී බොහෝ භික්ෂු පිරිසක් උපසම්පදා සීලයෙහි පිහිටුවීමට කටයුතු කරන ලද මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ නමකි. එසේ පැවිදි උපසම්පදා වූ බොහෝ භික්ෂූන් වහන්සේලාට බණ දහම්, ශබ්ද ශාස්ත්‍ර, පාමොක් දෙසීම ආදි ඥානයන් පිළිබඳ ව ද ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ඥාන විෂය කිරීමට සමත් මහා උගතෙක් විය. මෙම අනුනායක මාහිමිපාණන් වහන්සේ කුරුණෑගල සැගෑලෙන විහාරයෙහි සහ මහනුවර මල්වතු මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ශාසනික ජීවිතය ඒකාලෝක කිරීම උදෙසා වාසස්ථානය කරගෙන කටයුතු කරන ලදී.

මෙම කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනායක මාහිමිපාණන් වහන්සේ අප ඇඹව විහාරයෙහි සඟ පරපුරේ ශක්තිය හා ප්‍රභලත්වය විදහාපාමින් මනා පෞරුෂයකින් හෙබි භික්ෂු පරපුරක් බිහිකිරීමට ශක්තිය සැපයූ මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි. මෙම අනුනාහිමියන් වහන්සේ විසින් ක්‍රි : ව 1757 දී ලෝලුවාගොඩ චන්දජෝති හිමියන් පැවිදි උපසම්පදා කරන ලද බව දැක්වේ. ඒ බව ලෝළුවාගොඩ චන්දජෝති හිමියන් උපසම්පදා කරන ලද බව දැක්වෙන තල්පතෙහි සඳහන් වීමෙන් මනාව හඳුනාගත හැකි ය. එම නිසා එම හිමියන් මල්වතු මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දුරට මෙහි අධිපතිත්වය පවත්වාගෙන යන්නට ඇති බවත්, එසේ ම යම් යම් අවස්ථාවන්හි මෙහි වැඩමවා මෙවැනි කුල පුතුන් සසුන් ගත කොට මල්වතු මහා විහාරය කේන්ද්‍රකරගනිමින් උපසම්පදා කරවමින් සසුන් කෙත අස්වද්දන්නට දායකත්වය හා අනුශාසකත්වය ලබා දෙන්නට ඇති බවත් සිතිය හැකි ය.

මෙම කරුණු තහවුරු කරනු ලබන තව අවස්ථාවක් ලෙස ක්‍රි:ව 1785 උපසම්පදා කරන ලද කල්ලෙලියේ සුමංගල හිමියන් කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනාහිමියන්ගේ ශිෂ්‍යරත්නය වූ කොටිකාපොල ශ්‍රී සෝභිත මහා නාහිමියන්ගේ ආචාර්‍යත්වයෙන් යුතුව උපසම්පදා කිරීම උදෙසා ලබාදුන් අවස්ථාව මගින් ද එම සම්බන්ධතාවය පැහැදිලි වේ.

අතිගෞරවණීය කොටිකාපොල ශ්‍රී සෝභිතාභිධාන මහ නාහිමිපාණන් වහන්සේ

කොටිකාපොල ශ්‍රී සෝභිත මහානායක මාහිමිපාණන් වහන්සේ යනු ද සත්කෝරළය මුල්කරගනිමින් අභිමානවත් භික්ෂු පරපුරක් බිහිකරමින් සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ලද මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ නායකත්වයෙන් හැදුණු වැඩුණු ශිෂ්‍ය පරපුරෙහි භික්ෂූන් වහන්සේලා වයඹ සත්කෝරළය තුළ පමණක් නොව මුලු දිවයින පුරා ම වැඩ වෙසෙමින් සසුනෙහි දියුණුව මෙන් ම භාෂා සාහිත්‍යයෙහි දියුණුවටත් අප්‍රමාණ කැප කිරීමක් කරන ලදී. කල්ලෙලියේ සුමංගල හිමියන් කොටිකාපොල ශ්‍රී සෝභිත මහ නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙක් ලෙස වර්ෂ 1785 අප ඇඹව මහා විහාරයෙහි වැඩ වසමින් කොටිකාපොල ශ්‍රී සෝභිත මහානායක මාහිමිපාණන් වහන්සේ ගෙන ගිය දීප ව්‍යාප්ත ශාසනික දියුණුව ඇති කිරීමට මහත් රුකුලක් දුන් හිමි නමක් ලෙස හැඳින්විය හැකි ය. කොටිකාපොල ශ්‍රී සෝභිත මහනායක මාහිමිපාණන් වහන්සේ ධාර්මික දිවි පෙවතක් බෞද්ධ ජනතාව විෂයෙහි හුරු කරමින් ඔවුන් තුළ සැමවිට ම ආගම, භක්තිය, ශ්‍රද්ධාව සීඝ්‍රයෙන් ජන හදවත් තුළ වර්ධනය කිරීමටත්, ප්‍රායෝගික වශයෙන් බෞද්ධ ජනතාවගේ ජීවිතය තුළ එම ගති ඇති කිරීමටත් කටයුතු කරන ලදී.

මෙසේ ගෞරවණීය සේවාවක් ඉටුකරන ලද නිසා ම කොටිකාපොල ශ්‍රී සෝභිත මහනායක මාහිමිපාණන් වහන්සේට මල්වතු මහා විහාරයෙහි අටවන උත්තරීතර මහා නායක පදවිය ලැබීමට තරම් උන්වහන්සේ වාසනාවන්ත විය. නාහිමියන් තුළ වූ සුපේශල ශික්ෂාකාමී භික්‍ෂුත්වයෙන් යුතු වූ අප්‍රමාණ ශීක්ෂණය ඉතා වැදගත් විය. සැමවිට ම මහා නාහිමියන් තුළ පැවති ඉහත මෙම ගුණ කඳ නිසා ම උභය මහාවිහාර භික්ෂූන් වහන්සේලාගේ නොමද ගෞරවයට පාත්‍රවෙමින් ස්වකීය තනතුරේ ගෞරවයත්, සම්මා සම්බුද්ධ ශාසනයේ නිවැරදි අභිවෘද්ධිය වෙනුවෙන් ද සුපේෂල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහි කරමින් වර්ෂ 1826 දී අපවත් විය.

ඉහත මෙම නාහිමිවරුන් දෙදෙනා ම අප විහාරයෙහි දීප්තිමත් භික්ෂු පරපුරක මහා යතිවරුන් බිහිකිරීමට කටයුතු කරන ලදී. සත්කෝරළයේ ශාසනික ඒකාලෝක කිරීමෙහි මූලික අඩිතාල ම ගොඩනැගුවේ මෙම වැලිවිට සරණංකර මාහිමියන්ගේ සිට ගොඩනැඟුණු භික්ෂු පෞරුෂය යි. උන්වහන්සේලා අභිමානවත් භික්ෂු පරපුරක් බිහි කිරීමට දායක වූ බව කෘතඥතාවයෙන් දැක්විය හැකි ය.

  1. ලෝළුවාගොඩ චන්දජෝති හිමි (1757-1785 අවු – 28)

ඇඹැව විහාරයෙහි මහනුවර යුගයෙන් ඇරඹි ශ්‍යාමෝපාළි වංශික මහා නිකායේ මල්වතු පාරශවය ආරම්භ වීමෙන් පසුව පළමු උපසම්පදා භික්ෂුව ලෙස ලිඛිත ව සඳහන් වන්නේ ලෝළුවාගොඩ චන්දජෝති හිමිපාණන් වහන්සේ ය. මෙම හිමියන් උපසම්පදාව සිදු වූ බව දැක්වෙන තල්පත විහාරස්ථානය සතු ව ඇත.

එම කාලවකවානුව ලෙස “සකවර්‍ෂ එක්වාදහස් හසිය හැත්ත්‍ය නවය (1679)” යනුවෙන් සඳහන් ව තිබේ. මෙහි උපසම්පදාව පිළිබඳ ව සඳහන් වන්නේ “මහළු පවිදි ලෝළුවාගොඩ චන්දජොති භික්ඛූන් වහන්සේ ය” යනුවෙනි. මෙම තල්පත බැඳි අකුරුවලින් යුක්ත ව ඇති බව පෙනේ. එහි ලෝළුවාගොඩ චන්දජෝති හිමියන් උපසම්පදාව වෙනුවෙන් ආචාර්යත්වය දරා ඇත්තේ “රත්නජෝති සාමීන්” යනුවෙන් සඳහන් වේ. මෙසේ සඳහන් වන්නේ කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනාහිමිපාණන් වහන්සේ ය. චන්දජෝති හිමියන්ගේ උපසම්පදාවේ උපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කර ඇත්තේ “වරඥන මහ තෙර සාමීන් උපාධ්‍ය කොට” යනුවෙන් එම තල්පතෙහි සඳහන් වේ. මෙය උපසම්පදාවේ මුල් යුගය වන අතර සියම් දේශයේ සිට උපාලි මහ තෙරුන් වහන්සේ සමඟ ලංකාවට වැඩම කරන ලද භික්ෂූන් වහන්සේලා අතර සිටි මහ තෙර නමක් වූ වරඥන මහ තෙරුන් උපසම්පදාව වෙනුවෙන් කර්මාචාර්ය මෙන් ම උපාධ්‍යාය තනතුර ද දැරූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. ඒ බව ප්‍රමුඛ වූ ආකාරය සංඝරාජ සාධු චරියාව ග්‍රන්ථයේ හදුනාගත හැකි ය (සංඝරාජ සාධු චරියාව, 1997, සමයවර්ධන ප්‍රකාශන, 20-21 පිට).

ලෝලුවාගොඩ ගම්මානය පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ය. එය බතබුලතින් සශ්‍රීක වූ ගම්මානයකි. එම ග්‍රාමවරයේ සිට පැමිණ උන්වහන්සේ මෙම විහාරස්ථානයේ සිට පැවිදි බිමට පත්ව ඇත. ලොලුවාගොඩ උන්වහන්සේ නමින් මෙම විහාරයෙහි වර්ෂ 1750 ට පෙර නමක් ජනප්‍රවාදය තුළ දක්නට ලැබෙන අතර ඒ ලෝළුවාගොඩ චන්දජෝති හිමියන් බවට කිසිදු තර්කයක් නැත. ඊට හේතුව උපසම්පදාව තහවුරු කරන තල්පතෙහි ඒ වසරට ම පසු වසරවල් තුළ ආසන්න ම භික්ෂූන් වහන්සේ වන්නේ ද මෙම හිමියන් ය. මෙම හිමියන්ට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිටි බවට සාධක හමු නොවුණත් කල්ලෙලියේ සුමංගල හිමියන් යනු මෙම හිමියන්ගේ ශිෂ්‍ය සාමණේර භික්ෂූන් වහන්සේ විය යුතු ය. එසේ සිතීමට ආසන්න ම හේතුව වන්නේ කල්ලෙලිය යනු ද බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ම අයත් ගම්මානයකි. මෙම ගම්මාන දෙකට පවතින දුර කිලෝමීටර 10 ක් 15 ක් අතර පවතී. එම නිසා එසේ වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත. ලෝළුවාගොඩ චන්දජෝති හිමිපාණන් වහන්සේ වර්ෂ 1750ටත් පෙර මෙහි වැඩ සිටියේ නම් උපසම්පදා වන විට උන්වහන්සේ බොහෝ වයෝවෘද්ධ විය යුතු ය. අභිනව සියම් උපසම්පදා ව පිහිටවන කාල වාකවානුවේ මුල් වසර තුළ උපසම්පදා වූ බොහෝ මහා යතිවරු ශාසනික දිවියෙහි සාමණේර අවධිය ගතකළ වයෝවෘද්ධ බවින් ද බොහෝ සෙයින් අගතැම්පත් වූ ප්‍රතිබල සම්පන්න භික්ෂූන් වහන්සේලා ය. මෙම හිමියන් ද එසේ විය යුතු ය.

එසේ පැවති වයෝවෘද්ධ බව නිසා සිය ශිෂ්‍යවරයා වූ කල්ලෙලියේ සුමංගල හිමියන් උපසම්පදා වන විට ලෝළුවාගොඩ චන්දජෝති හිමියන් අපවත් ව සිටින්නට ඇත. එම නිසා කල්ලෙලියේ සුමංගල හිමියන් මල්වතු මහා විහාරවාසී කොටිකාපොල සෝභිත නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් යුතු ව මහලු උපසම්පදාව ලබාගත් බව තහවුරු කිරීමට අවකාශය ලැබේ. ලෝළුවාගොඩ චන්දජෝති හිමියන්ගේ අචාර්යන් වහන්සේ ද, කොටිකාපොල ශ්‍රී සෝභිත මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යන් වහන්සේ ද වන්නේ  අතිපූජ්‍ය කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනාහිමිපාණන් වහන්සේ ය. ඓතිහාසික අඹවැව් වෙහෙර සඝ පරපුර සෘජුව ම අභිමානවත් කොටිකාපොල සඝ පරපුර සමග සම්බන්ධතා පවතින නිසාත්, එම ගුරු පරපුරේ සමීප සබදතාවය නිසාත් මෙසේ සිදු වූ බව සිතීමට හැකියාව තිබේ.    

  1. කල්ලෙලියේ සුමංගල හිමි (1785-1818 අවු – 18)

ශ්‍රී ලංකා ශාසනික ඉතිහාසයෙහි විකාශනය පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී මහනුවර රාජ්‍ය යුගය තුළ රජකම් කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඇරයුමින් යුතු ව මහාවිහාර සඟ පරපුරෙහි බොහෝ පිරිසක් සසුන්කෙත අස්වැද්දීම උදෙසා සත්කෝරළය කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව හඳුනාගත හැකි ය. එම නිසා මෙම යුගයේ සත්කෝරළයෙහි ඉතා ශක්තිමත් භික්ෂු පරපුරක් බිහි කිරීම විෂයෙහි විශේෂ අවධානයක් යොමු කරන ලද යුගයකි. එම සියලු භික්ෂූන් වහන්සේලා දැන උගත්, විනයවත් භික්ෂු පරපුරක් ලෙස සිය කාර්යයන් මනාව ඉටු කරන ලදි. මෙම යුගයෙහි බොහෝ සෙයින් කොටිකාපොල ශ්‍රී රතනජෝති අනුනාහිමියන් සහ කොටිකාපොල ශ්‍රී සෝභිත මහා නාහිමියන්ගේ ශාසනික වැඩපිළිවෙල ඉතා ම වැදගත් විය.

මෙම යුගයෙහි කොටිකාපොල ශ්‍රී සෝභිත මහනායක මාහිමිපාණන් වහන්සේ තුළින් බිහි වූ දැන උගත්, සුපේශල, ශික්ෂාකාමී ශිෂ්‍යවරයෙක් ලෙස කල්ලෙලියේ සුමංගල හිමියන් දැක්විය හැකි ය. සත්කෝරළය මුල්කරගත් භික්ෂු පරපුරෙහි මල්වතු මහා විහාරයට ඉතා ලෙන්ගතුව සිය ශාසනික කාර්යභාරය මනාව ඉටු කිරීමට කල්ලෙලියේ සුමංගල හිමියන් කටයුතු කර ඇති බව විශ්වාසයෙන් කිව හැකි ය. මන්ද කොටිකාපොල ශ්‍රී සෝභිත මහනාහිමියන්ගේ බලාපොරොත්තු වූයේ ද මහජනයා තුළ ආගම් මමත්වය බිහි කරමින් ධාර්මික දිවි පෙවෙතක් හැඩගැස්වීම උදෙසා ය. මෙම නිසා ම මල්වතු මහා විහාරයෙන් ඇඹැව විහාරයෙහි අධිපතිත්වයට කල්ලෙලියේ සුමංගල හිමියන් වෙත 1785 පසු ව පවරා දෙමින් කොටිකාපොල ශ්‍රී සෝභිත මහ නාහිමියන් ගෙනගිය ශාසනික අරමුණු සාධනයට මෙම ආයතනයෙහි වගකීම් භාරදීම සිදු කරන්නට ඇත්තේ ම එම විශ්වාසය කේන්ද්‍ර කර ගනිමින් විය යුතු ය.

කල්ලෙලියේ සුමංගල හිමියන් ඇඹැව විහාරයෙහි අධිපතිත්වය දැරූ බව වේයන්ගොඩ අත්ථදස්සි හිමියන් විසින් ලියන ලද 1861.03.17 දින දරණ ඉඩම් ලේඛණ ආකෘති පත්‍රයේ “අයිතිකම කියා සිටිනවාය” යන්න මුද්‍රණයකර ඇති තීරුවේ “කල්ලෙලියේ හාමුදුරුවන්ගෙන් ලබාගෙන බුක්තිවිඳිනවා” යනුවෙන් අත් අකුරින් ලියා තිබිමෙන් හදුනාගත හැකි ය. ඒ අනුව එහි සඳහන් කෝවිල කුඹුර, තල්ගහපිටිය කුඹුර, මීගහකුඹුර, කෝන්ගහකුඹුර, ලිඳකුඹුර සහ පන්සල්වත්ත යන දේපල අත්ථදස්සි හිමියන්ට ලැබී තිබෙන්නේ හෙවත් උරුම වී තිබෙන්නේ කල්ලෙලියේ හාමුදුරුවන්ගෙන් බව පැහැදිලි වේ. තව ද “1820 අවුරුද්දේ පටන්  බාරව ඉන්නවා” යනුවෙන් අත් අකුරින් ලියා තිබෙන සඳහන ද වැදගත් ය. එයින් ගම්‍යවන්නේ   ක්‍රි : ව 1820 අවුරුද්දේ කල්ලෙලියේ හාමුදුරුවන් අපවත් වූ බවත් අත්ථදස්සි හිමියන් විහාරාධිපති ධූරයට පත් වූ බවත් ය. කල්ලෙලියේ හාමුදුරුවන් ගැන වැදගත් තොරතුරක් විහාරස්ථානය සතු පැරණි පුස්කොළ පොත් පරීක්‍ෂා කිරිමේ දී ප්‍රාතිමෝක්‍ෂය නම් පුස්කොළ පොතේ අග පිටුවල සටහන් කරන ලද උපසම්පදා සීට්ටු හමුවිය. එහි සඳහන් වන පරිදි කල්ලෙලියේ හාමුදුරුවන්ගේ සම්පූර්ණ නම කල්ලෙලියේ සුමංගල හිමියන් ය. උන්වහන්සේ උපසම්පදාව ලබා තිබෙන්නේ ශ.ව. 1707  (ක්‍රි.ව. 1785) දී ය. සියම් නිකාය ආරම්භ කර මුල් ම උපසම්පදා විනය කර්මය සිදුකරන ලද්දේ ක්‍රි.ව. 1753 දී ය. එනම් කල්ලෙලියේ හාමුදුරුවන් උපසම්පදා වන්නට අවුරුදු 32කට පෙර ය.

 

විහාරස්ථානයේ පුස්කොල පොත්වල අඩංගු උපසම්පදා සීට්ටු අධ්‍යයනයේ දී කල්ලෙලියේ සුමංගල හිමිපාණන් වහන්සේට ශිෂ්‍ය හිමිවරු තිදෙනෙක් වැඩසිටි බව හදුනාගැනීමට අවකාශය ලැබේ.

  1. පූජ්‍ය හේනේගෙදර ධම්මපාල හිමි
  2. පූජ්‍ය වේයංගොඩ අත්ථදස්සි හිමි
  3. පූජ්‍ය හැටිගම ධම්මපාල හිමි‍

මෙම තිදෙනාගෙන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් වහන්සේ පූජ්‍ය හේනේගෙදර ධම්මපාල හිමියන් වුව ද විහාරධිපති තනතුරට පත් ව ඇත්තේ වේයංගොඩ අත්ථදස්සි හිමියන් ය. සමහර විට  හේනේගෙදර ධම්මපාල හිමියන් අපවත් ව සිටීම හෝ වයෝවෘද්ධ වීම මීට හේතු වීමට ඉඩකඩ තිබේ. හැටිගම ධම්මපාල හිමියන් යනු වේයංගොඩ අත්ථදස්සි හිමියන්ගේ උපසම්පදාවේ දී මහලු පැවිදි සහෝදරයා ය. එහි ජ්‍යේෂ්ඨත්වය සලකා පසු ව වේයංගොඩ අත්ථදස්සි හිමියන් අධිපති තනතුරට පත්විය.    

  1. වේයන්ගොඩ අත්ථදස්සි හිමි (1820 -1865 අවු – 44)

1861 මාර්තු 17 දින ඉදිරිපත් කරන ලද ඉඩම් ලේඛණ ආකෘති පත්‍රය විහාරස්ථානය සතු ඉඩම් සහ කුඹුරුවල විස්තර අන්තර්ගත ලේඛණයකි. එහි වේයන්ගොඩ අත්ථදස්සි හිමියන්ගේ නම සහ අත්සන දැක්වේ. එය ලියා තිබෙන්නේ ද උන් වහන්සේගේ අත් අකුරින් විය යුතු ය. එහි පහත “වර්ෂ 1820 අවුරුද්ද පටන් බාරව ඉන්නා” යනුවෙන් සඳහන් වේ. ඒ අනුව උන් වහන්සේ විහාරාධිපති පදවියට පත්වන්නට ඇත්තේ 1820 වර්ෂයේ විය යුතු ය. අත්ථදස්සි හිමියන් උපසම්පදා වී තිබෙන්නේ ක්‍රි.ව. 1810 දී ය. එම වර්ෂයේ ම උපසම්පදා වූ බව සඳහන් වන හැටිගම ධම්මපාල හිමියන් මුන් වහන්සේගේ පැවිදි සහෝදරයා විය. 1864 දී ඉන්දජෝති හිමියන් විහාරාධිපති ධූරය දරන බව ඉඩම් ඔප්පුවල සඳහන්වන හෙයින් 1861ට පසුව සහ 1864ට පෙර  අත්ථදස්සි හිමියන් අපවත් වන්නට ඇතැයි සිතිය හැකි ය.

වේයංගොඩ අත්ථදස්සි හිමියන්ගේ ශිෂ්‍යයවරයන් පිළිබද ව අවධානය යොමුකිරීමේ දී කිහිප නමක් ම හදුනාගැනීමට අවකාශය ලැබේ.

  1. පූජ්‍ය වේරගොඩ ඉන්ද්‍රජෝති හිමි
  2. පූජ්‍ය පුලියන්කුලමේ සංඝරක්ඛිත හිමි
  3. පූජ්‍ය වේයංගොඩ පියදස්සි හිමි
  4. පූජ්‍ය පස්යාලේ සුමංගල හිමි
  5. පූජ්‍ය පිදුමේ සංඝරක්ඛිත හිමි
  6. පූජ්‍ය දණ්ඩගමුවේ ධම්මජෝති හිමි

ඉහත නම් සදහන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අනුව වේයංගොඩ අත්ථදස්සි මාහිමිපාණන් වහන්සේගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයවරයා බවට පත්වන්නේ වේරගොඩ ඉන්දජෝති හිමියන් ය. එම නිසා ශිෂ්‍යානු ශිෂ්‍යය පරම්පරාවට අනුව උන්වහන්සේ පසු ව විහාරධිපති තනතුරට පත්විය.

  1. වේරගොඩ ඉන්දජෝති හිමි (1865-1898 අවු – 47)

වේරගොඩ ඉන්දජෝති හිමියන් වේයන්ගොඩ අත්ථදස්සි හිමියන්ගේ උපසම්පදාලාභීන් අතර ජ්‍යේෂ්ඨත ම ශිෂ්‍යයා විය. වර්ෂ 1864-1893 දක්වා කාලයේ ලියන ලද නොතාරිස් ඔප්පුවලින් වේරගොඩ ඉන්දජෝති හිමියන් විහාරාධිපති ධූරය හෙබ වූ බව හෙළි කරගත හැකි විය. උන්වහන්සේ පැවිදි වූ වර්ෂය හෝ අපවත් වූ වර්ෂය හරිහැටි සොයාගත නො හැකි වුවත් උපසම්පදා වූයේ ශක වර්ෂ 1766 (ක්‍රි.ව.1844) බව පුස්කොළ පත් ඉරුවල සඳහන් ව වේ. උන්වහන්සේගේ කාලයේ විහාරස්ථානයට විශාල ඉඩකඩම් ප්‍රමාණයක් හිමි වූ බව පෙනේ. වෙදපිටියේ පිල්ලෑව, තාවල්ල කුඹුර, වැවගාව වත්ත, කහටගහමුල හේන යන ඉඩම් උන්වහන්සේ මිලයට ගෙන අඹවැව් වෙහෙරෙහි අනාගත සංවර්ධනයට මෙන් ම භික්ෂූන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් පවත්වා ගැනීමට පසුබිම සකස් කළ අතර කෝවිල කුඹුර, තලගහපිටිය කුඹුර, මීගහ කුඹුර, දෙලන් වැව ලඟ කෝන්ගහ කුඹුර, ලිඳ කුඹුර සහ පන්සල වත්ත යන ඉඩම් සහ කුඹුරු නියමිත ක්‍රමවේද යටතේ පවත්වාගෙන යාමට ද කටයුතු සැලැස් විය.

 

ඉන්දජෝති හිමියන්ගේ කාලයේ දැවපිට විහාරය, බණමඩුව, සංඝාවාසය සහ කබලෑ දේවාලය විහාර භූමියේ පිහිටා තිබූ බව 1875 වර්ෂයේ දී අඳින ලද හිම්කම් පිඹුරු භූමි සිතියමෙන් පැහැදිලි වේ. මේවායින් සමහරක් පෙර සිට ම විහාර භූමියෙහි ඉදිකර තිබෙන්නට ඇති අතර ඇතැම් ඒවා උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉදිවන්ට ඇතැයි ද සිතිය හැකි ය.

වේරගොඩ ඉන්දජෝති හිමියන්ට ශිෂ්‍යයන් තිදෙනෙකු සිටි බව හදුනාගත හැකි ය.

  1. පූජ්‍ය හග්ගමුවේ සෝනුත්තර හිමි
  2. පූජ්‍ය ගිරිඋල්ලේ රේවත හිමි
  3. පූජ්‍ය හග්ගමුවේ පියදස්සි හිමි

වේරගොඩ ඉන්දජෝති හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයවරයන් තුන්නමකි. ඒ අතර ජ්‍යේෂ්ඨත ම ශිෂ්‍යයවරයන් වහන්සේ වන්නේ හග්ගමුවේ සෝණුත්තර හිමියන් ය. උන්වහන්සේ උපසම්පදා වන්නේ වර්ෂ 1865 දී ය. ගිරිවුල්ලේ රේවත හිමියන් වූ දෙවන ශිෂ්‍යයවරයන් වහන්සේ උපසම්පදා වන්නේ වර්ෂ 1876 දී ය.

 

හග්ගමුවේ සෝනුත්තර සහ ගිරිවුල්ලේ රේවත යන මෙම හිමිවරු මෙම ප්‍රදේශයේ එවකට විශේෂ කාර්යයක් සිදුකිරීමට සමත් වූ භික්ෂූන් වහන්සේලා ය. එම නිසා ම ගොමුගොමුව විහාර පරපුරෙහි මූලස්ථානය වූ ගොමුගොමුව රජමහා විහාරයෙහි එවකට විහාරාධිපති මල්වතු විහාරයේ අනුනායක හිමිනමක් වූ අතිපූජ්‍ය දීගල්ලේ සුනන්ද අනුනාහිමිපාණන් වහන්සේ ය. ඓතිහාසික ඇඹව විහාරයෙන් ගොමුගොමුව රජමහා විහාරයට භික්ෂූන් වහන්සේලා වඩින්නේ උන්වහන්සේගේ දැනුම් දීමකට අනුව ය. මෙම දැනුම් දීමට අවනත වීමට වේරගොඩ හිමියන්ට සිදුවිය. තමන් වහන්සේ වර්ෂ 1844 උපසම්පදා වූ විට ප්‍රධාන උපාධ්‍යාය මාහිමියන් ලෙස අතිපූජ්‍ය ගල්ගිරියාවේ සුමංගල මහානායක හිමියන් කටයුතු කරන විට අතිපූජ්‍ය දීගල්ලේ සුනන්ද අනුනාහිමියන් කර්මාචාර්යව කටයුතු කිරීමත්, මූලස්ථාන මහා විහාරයට ගරු කිරීම සහ පවතින ලෙන්ගතුකමත් නිසා තම ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයරත්නය වූ හග්ගමුවේ සෝනුත්තර හිමියන් වර්ෂ 1865 පමණ වන විට අනුනාහිමියන්ට නිරතරුව ම විහාරස්ථානයට වැඩම වීමේ අපහසු ව නිසා උපසම්පදා වූ වර්ෂයේ ම එම රජමහා විහාරයට අඹැව විහාරයෙහි එවකට විහාරාධිපති වේරගොඩ ඉන්දජෝති හිමියන් විසින් පිටත්කර යැවීය.

එම නිසා වසර අටක් පමණ කාලයක් ගෙවීයත් ම අනුනාහිමියන් අපවත් විය. එම නිසා විහාරස්ථානයේ වගකීම් භාරගැනීමට අයෙක් නොවූ තැන විහාරාධිපති තනතුර මල්වතු විහාරයෙන් හග්ගමුවේ සෝන්ත්තර හිමියන් වෙත පවරා ඇත. කල්යත් ම මූලස්ථානයක් වීම නිසා ආගමික වැඩකටයුතු වැඩි වීමත් හග්ගමුවෙන් ම ගෙනා සෝනුත්තර හිමියන් පැවිදි කළ පියදස්සි හිමියන් කුඩා නිසාත්, අතිවෙන අපහසුතා ගුරුහිමියන්ට දැන්වීමෙන් අනතුරුව අභිනවයෙන් උපසම්පදා කිරීමට බලාපොරොත්තු වූ ගිරිවුල්ලේ රේවත හිමියන් වර්ෂ 1876 උපසම්පදා කර ගොමුගොමුව රජමහා විහාරයට එම හිමියන් ද වැඩමකර ඇත. පසු ව හග්ගමුවේ පියදස්සි හිමියන් ඇඹව විහාරයට වැඩමකර නේවාසික වී තිබේ.  

මෙසේ භික්ෂුන් වහන්සේලා නොමැති වූ අවස්ථවක එම විහාරයෙහි වගකීම් භාරගෙන කටයුතු කිරීමට මෙම හිමිවරුන් දෙපළට අවස්ථාව හිමිවිය. එම නිසා මෙම භාරදූර වගකීම භාරගත් හග්ගමුවේ සෝණුත්තර සහ ගිරිවුල්ලේ රේවත යන මෙම හිමිවරු දෙපළ තම ගුරු හිමියන් වූ වේරගොඩ ඉන්දජෝති හිමියන්ගෙන් අවසර ලබා එම රජමහා විහාරය වෙත වැඩම කොට වගකීම් භාරගනිමින් ඉතා වැදගත් කාර්යයක් ඉටුකිරීමට කැප වී ඇත. කාලයාගේ අවෑමෙන් හග්ගමුවේ සෝණුත්තර හිමියන් අපවත් වූ අතර පසු ව ගිරිවුල්ලේ රේවත හිමියන් අධිපතිත්වයට පත් ව ඇත (මෙම තොරතුරු වේරගොඩ ඉන්දජෝති හිමියන් සටහන් කරන ලද තොරතුරු අනුව පෙළ ගස්වන ලදී). එම හිමියන් ද ගොමුගොමුව රජමහා විහාරය අභිමානවත් මාවතකට ඔසවා තැබීමට සමත් විය. අද ද ගොමුගොමුව රජමහා විහාරයෙහි දහම් පාසලට නම තබා ඇත්තේ සෝනුත්තර දහම් පාසල යන නමින් හග්ගමුවේ සෝනුත්තර හිමියන්ට ගරු කිරීමක් ලෙස ය. වේරගොඩ ඉන්දජෝති හිමියන් මල්වතු මහා විහාරයට දක්වන ලද ලෙන්ගතුකම නිසා ගොමුගොමුව සඝ පරපුරේ මූලස්ථාන විහාරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදුකළා වූ කාර්යයභාරය ප්‍රශංසනීය ව සිහිපත් කිරීම වටී.

හග්ගමුවේ පියදස්සි හිමියන් යනු වේරගොඩ හිමියන්ගේ බාල ශිෂ්‍යවරයා විය. උන්වහන්සේ උපසම්පදා වූයේ වර්ෂ 1888 දී ය. එනම් ගිරිවුල්ලේ රේවත හිමියන් උපස්ම්පදා වී වර්ෂ 12 කට පමණ පසු ව ය. වේරගොඩ ඉන්ජෝති හිමියන් වර්ෂ 1898 දී පමණ අපවත්වීමෙන් අනතුරුව හග්ගමුවේ පියදස්සි හිමියන් ඇඹව විහාරස්ථානයේ අධිපති ධූරයට පත් වූ බව පෙනේ.

  1. හග්ගමුවේ පියදස්සි හිමි (1898-1924 අවු 15)

හග්ගමුවේ පියදස්සි හිමියන් වේරගොඩ ඉන්දජෝති හිමියන්ගේ බාල ම ශිෂ්‍ය හිමි නමයි. තම ජ්‍යේෂ්ඨ ම ශිෂ්‍ය දෙපළ වූ හග්ගමුවේ සෝණුත්තර සහ ගිරිවුල්ලේ රේවත යන හිමිවරුන් ගොමුගොමුව රජමහා විහාරයේ ඉදිරිකටයුතු වෙනුවෙන් යොමු කිරීම නිසා බාල ශිෂ්‍ය හිමියන් වූ හග්ගමුවේ පියදස්සි හිමියන්ට විහාරධිපති වීමට ඉඩප්‍රස්ථාව හිමිවිය. මෙම මාහිමියන් ශක වර්ෂ 1810 වෙසක් මස අව අටවක දින හෙවත් ව්‍යවහාරික  ක්‍රි.ව. 1888 දී උපසම්පදා වූ බව පුස්කොළ පත් ඉරුවෙහි සඳහන් ව තිබේ. පියදස්සි හිමියන් ඇඹව විහාරස්ථානයෙහි අධිපති පදවියට පත් වූ වර්ෂය නිශ්චිත ව සොයාගත නො හැකි වුවත්, 1898 – 1922 කාලයේ විහාරාධිපති ව වැඩවාසය කළ බව ඉඩම් ඔප්පුවලින් තහවුරු වේ. 1909.02.25 දින ලියූ ඔප්පුවකින් උන්වහන්සේ මීගහමුලහේන නම් ඉඩම මිලයට ගෙන විහාරස්ථානයේ අනාගත පැවැත්මට දයොද කොට ඇත. උන්වහන්සේගේ කාලයෙහි විහාර භූමියේ අළුතින් ගොඩනැගිලි කිසිවක් ඉදි වූ බවක් පෙනෙන්නට නැත.

 

හග්ගමුවේ පියදස්සි හිමියන් දේශීය වෛද්‍යවරයෙකු විය. උන්වහන්සේට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමකි.

  1. පූජ්‍ය කිරිමැටියානේ ගුණානන්ද හිමි
  2. පූජ්‍ය කහටවිල සරණංකර හිමි

වැඩි මහළු ශිෂ්‍ය ගුණානන්ද හිමියන් විහාරස්ථානයෙන් බැහැර ව අධ්‍යාපන කටයුතුවල නිරත ව සිටියේ ය. උන්වහන්සේ ජ්‍යොතිෂය ද ප්‍රගුණ කළහ. සරණංකර හිමියන් ගුරු හාමුදුරුවන් වෙතින් වෛද්‍ය ශාස්ත්‍රය හදාරා අක්‍ෂි රෝග වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කළේ ය. වයස්ගත වූ ගුරු හාමුදුරුවන්ට ඇප උපස්ථාන කළේ ද උන්වහන්සේ විසිනි. මේ නිසා තම අන්තිම කැමති පත්‍රයෙන් පියදස්සි හිමියෝ විහාර දේපල හා විහාරාධිපති ධූරය සරණංකර හිමියන්ට පැවරූහ. ඉංග්‍රීසියෙන් ලියා, නීතිඥ ඊ. ෆීලික්ස් ඩබ්ලිව්. ජයවර්ධන මහතා විසින් 1922 ජනවාරි 20 දින සහතික කරන ලද අංක 1009 දරණ එකී අන්තිම කැමති පත්‍රය පැරණි ලේඛනය අද ද විහාරස්ථානය සතු ව ඇත. විහාරස්ථානයේ වර්තමාන ගමන්මග පිරික්සීමේ දී හග්ගමුවේ පියදස්සි හිමියන් එම ගත් තීරණය ඉතා ම වැදගත් බව පෙනේ.

ආවාසේ හාමුදුරුවෝ

ආවාසේ හාමුදුරුවෝ ලෙසින් ගැමියන් හැඳින්වූයේ කිරිමැටියානේ ගුණානන්ද හිමියන් ය. උන්වහන්සේ හග්ගමුවේ පියදස්සි හිමියන්ගේ ශිෂ්‍යයෙකු බව ද, උපසම්පදා වූ වර්ෂය 1907 ලෙස ද පුස්කොළ පත් ඉරුවක සඳහන් ව තිබේ.

 

ඉගෙනීමට සමතෙකු වූ ගුණානන්ද හිමියෝ කොළඹ විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යාපනය ලැබූහ. ජ්‍යොතිශය ද ප්‍රගුණ කළහ. මේනිසා උන්වහන්සේට නිතර ම විහාරස්ථානයෙන් බැහැර ව සිටින්නට සිදු වූ අතර, ගුරු හාමුදුරුවන්ට ඇප උපස්ථාන කළේත්, දායකයන්ගේ ආගමික කටයුතු ඉටුකර දුන්නේත් කහටවිල සරණංකර හිමියන් විසිනි. පියදස්සි හිමියන් අපවත් වන්නට පෙර ඇඹව විහාරස්ථානය සරණංකර හිමියන්ට පවරා දී තිබුණ. එම නිසා ගුණානන්ද හිමියෝ ගයියාලේ තනාගත් ආවාසයක වාසය කළහ. ඊ.එම්. අප්පුහාමි ගම් මහතා උන්වහන්සේගෙන් ජ්‍යොතිෂය උගත් අතර, පසු ව ඇඹව මීගහමුල ඉඩමේ ආවාස ගෙයක් තනා ගුණානන්ද හිමියන් කැඳවාගෙන වුත් එහි පදිංචි කරවන ලදී. ටික කලක් එහි වැඩසිටි ඒ හිමියෝ පසු ව ඇඹව පළුගහමුල හන්දියේ පිහිටි කහටගහමුල වත්තේ ඉදිකරන ලද ආවාසයට වැඩම කළහ. 1956 අපවත්  වන තුරු ම උන්වහන්සේ එහි වාසය කළහ. 1913 ජූනි 12 දින උපසම්පදා වූ ගලහිටියාවේ රතනපාල හිමියන් මුන්වහන්සේගේ සහ ගිනිමන්දාවල විහාරවාසී කඩිගමුවේ රතනපාල හිමියන්ගේ ශිෂ්‍යයෙකු බව පුස්කොළ පත් ඉරුවක සඳහන් ව තිබේ. ගුණානන්ද හිමියන් අපවත් වන විට ආවාසය මූනමල්දෙණියේ ධම්මරක්ඛිත හිමියන්ට ලියා තිබුණ හෙයින් අද එය අයත් වන්නේ එළතලව පංසලට ය.

  1. කහටවිල සරණංකර හිමි (1924-1969 අවු – 45)

ඇඹැව පංසලට මෙන් ම ග්‍රාමයට ද නොමැකෙන සේවාවක් ඉටුකළ කහටවිල සරණංකර හිමියන් පිලිබඳ ව සැමගේ සිත් තුළ පවතින්නේ මහත් ගෞරවයකි. වර්තමාන අඹවැව් වෙහෙර සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය වෙනුවෙන් සිදුකරන  ලද විශිෂ්ඨ සේවාව නිසා යම් දීර්ඝ සටහනක් උන්වහන්සේ වෙනුවෙන් තැබීම කෘතඥතාවයෙන් ඉටුකළ යුක්තකි.

හලාවත දිස්ත්‍රික්යේ ඕතර දකුණ පිටිගල් කෝරලේ කහටවිල ගමේ පදිංචි ව සිටි ඉමියාහාමිල්ලාගේ දාවිත් අප්පුහාමිට සහ නෝනහාමි මාතාවට යන දම්පතීන් දෙපළට දාව 1900 වර්ෂයේ දිනෙක පිංවත් කුමරුවකු ලැබිණ. ඔහුට ඉමියාහාමිල්ලාගේ සිංගප්පුහාමි යන නම තබන ලදී. වසර දහයක පමණ කාලයක් සිප් සතර උගනිමින් හා කෙළිදොලෙන් දෙමාපියන් ලඟ වැඩුණු දරුවා දුටු කිරිමැටියානේ ගුණානන්ද හිමියන්ට ඔහු අනාගතයේ කීර්තිමත් සඟ රුවනක් වන ලකුණු දැකගත හැකි විය. උන්වහන්සේ දෙමාපියන් කැමති කරවාගෙන දරුවා ඇඹව විහාරස්ථානයට කැඳවාගෙන වුත් හග්ගමුවේ පියදස්සි හිමියන්ට භාර කළේ ය.

ඇඹව විහාරස්ථානයේ නතර වූ සිංගප්පුහාමි පංසලේ වතාවත්වලට නිවැරදි ව ඉටු කළේ ය. පියදස්සි හිමියන් පවරන කාර්යයන් නොපිරිහෙලා ඉටුකරමින් උන්වහන්සේට කටයුතු කළේ ය. දායකයන්ගේ ද හොඳ හිත දිනාගත්තේ ය. ගුරු හාමුදුරුවන්ගෙන් හා පොඩි හාමුදුරුවන් (මේ ආවාසෙ හාමුදුරුවන් ය) ගෙන් පොත පත ඉගෙන ගත්තේ ය. ඉඩ ලැබෙන සැමවිට ම ගමේ දරුවන් සමග පංසල් වත්තේ සහ වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කළේ ය.

වසර කිහිපයක් පංසලේ ආගමික වටපිටාවක ඇති දැඩි වූ සිංගප්පුහාමි පැවිදි කරන්නට සුදුසු බව පියදස්සි හිමියන්ට වැටහිණ. ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරන්නට දායකයෝ පියවර ගත්හ. කහටවිල ගමෙන් ද දෙමාපියන් ඇතුළු ඥාතීන් පිරිසක් උත්සවයට පැමිණ සිටියහ. 1913 දෙසැම්බර් මස 13 වැනි ශනි දිනට යෙදුනු සුභ නැකතින් හිස බූගා කහ සිවුරු පොරවා කුළ දරුවා ශාසනයට ඇතුලත් කරගන්නා ලදී. එතැන් සිට උන් වහන්සේ කහටවිල සරණංකර පොඩිහාමුදුරුවන් නමින් හඳුන්වන්නට යෙදිණ.

කහටවිල සරණංකර පොඩිහාමුදුරුවෝ දිනපතා ආගමික වතාවත් ඉටුකරමින්, ගුරු හාමුදුරුවන්ගේ සහ දායක කාරකාදීන්ගේ හොඳ හිත දිනාගෙන පංසලේ ගත කළහ. උන්වහන්සේ ගුරු හාමුදුරුවන් වෙතින් ධර්මය හා වෙදකම ඉගෙන ගත්හ. වැඩිහිටි සහෝදර ගුණානන්ද හිමියන් විහාරස්ථානයෙන් බැහැර ව පිරිවෙන් අධ්‍යාපනය ලැබූ හෙයින් ගමේ හා විහාරස්ථානයේ කටයුතු කරන්නට සිදු වූයේ සරණංකර සාමණේරයන් වහන්සේට ය.

වයස අවුරුදු විස්ස සපිරෙන විට සරණංකර හාමුදුරුවන් අඩි හයක් පමණ උස ශක්තිමත් දේහධාරී දැකුම්කළු හිමිනමක් විය. උන්වහන්සේ ගමේ තරුණයන් සමග එක්ව ආගමික හා සාමාජයීය කටයුතුවල පෙරමුණ ගත්හ. මේ කාලය වන විට සාමණේර භික්‍ෂුවක විසින් හදාල යුතු හා වනපොත් කළ යුතු ධර්ම ග්‍රන්ථ සහ ගාථා උන්වහන්සේ හොඳින් දැන සිටියහ. මේ නිසා පියදස්සි හිමියෝ සරණංකර හිමියන් උපසම්පදා කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ.

කහටවිල සරණංකර හිමියන් උපසම්පදාව ලැබුවේ 1920 ජූනි මස 10වන ගුරු දින මහනුවර පුෂ්පාරාම විහාරස්ථ උපෝෂථාගාරයේ දී ය. රඹුක්වැල්ලේ මේධංකර සහ අක්වත්තේ දේවමිත්ත යන හිමිවරු උන්වහන්සේගේ කර්මාචාර්යවරුන් ලෙස කටයුතු කළහ. උපාධ්‍ය තෙරුන් වහන්සේ ලෙස නම්කර තිබෙන්නේ මහනුවර මල්වතු විහාරවාසී, වයඹ දිශාවේ උප ප්‍රධාන නායක හේරත්ගම ශ්‍රී ධර්මපාල අත්ථදස්සි නායක හාමුදුරුවන් ය. උපසම්පදාවේ ගුරු තෙරුන්වහන්සේ ලෙස ගිනිමන්දාවල ශ්‍රී සුධර්මාරාමයේ අධිපති ගලහිටියාවේ රතනපාල හිමියන්ගේ නම ඇතුළත් කර තිබේ.

සරණංකර ස්වාමීන් වහන්සේ දණ්ඩගමුව විහාරාධිපති ආභිධම්මික කොන්ගහගෙදර සරණපාල හිමියන් යටතේ බණ දහම් ඉගෙන ගත්හ. අටුවා, ටීකා සහිත පාලි දහම් උගනිමින් සිටිය දී හදිසියේ ම උන්වහන්සේට අධ්‍යාපන කටයුතු නතර කරන්නට සිදු විය. ඒ අතර තුර හග්ගමුවේ පියදස්සි ලොකු හාමුදුරුවන් වහන්සේ රෝගාතුර විය. සරණංකර හිමියන් බේත්හේත් ලබාදෙමින් ගුරු හාමුදුරුවන්ට උපස්ථාන කළ අතර, ගමේ පිඩු සිඟා ගොස් උන්වහන්සේට දානය සම්පාදනය කළේ ය. එම නිසා ශිෂ්‍යවරයෙකු ලෙස ඉටුවිය යුතු යුතුකම් මනාව ඉටු කළ නිසාත්, පංසලේ අනාගත වගකීම් මානාව සපුරාලීමට සමත් වූ නිසාත් හග්ගමුවේ පියදස්සි හිමියන් තම අන්තිම කැමති පත්‍රයෙන් සරණංකර හිමියන්ට විහාරස්ථානය පවරා දීමට කටයුතු කළහ.

1923 අගභාගයේ දී පමණ හග්ගමුවේ පියදස්සි හාමුදුරුවන්ගේ වහන්සේ අපවත් විය. උන්වහන්සේගේ අභාවයෙන් පසුව වර්ෂ 1924 දී සරණංකර හාමුදුරුවෝ ඓතිහාසික අඹවැව් වෙහෙර නොහොත් වර්තහාන කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම විහාරයෙහි විහාරාධිපති පදවියට පත්වූහ. කහටවිල ශ්‍රී සරණංකර චරිතාපදානයේ දැක්වෙන පරිදි “වර්ෂ 1923 දී හග්ගමුවේ පියදස්සි මහා ස්ථවිර නාහිමියන් අපවත්වීමෙන් පසු ව ඇඹව විහාරස්ථානයේ අධිපති තනතුර පිළිබඳ ව සාකච්ඡා සභාවක් පැවැත්විණ. එහි දී කථා කළ කිරිමැටියානේ ගුණානන්ද ස්වාමිපාදයන් වහන්සේ තමන්ට උරුම ව තිබෙන මේ තනතුර තමන්ගේ ම ඥාතිවරයෙකු වන කහටවිල සරණංකර ස්වාමිපාදයන් වහන්සේට ඉතා සතුටින් පවරන බව ප්‍රකාශ කළහ.” යනුවෙන් සඳහන් කර තිබේ. මෙහි කිරිමැටියානේ ගුණානන්ද හිමියන් යනු ආවාසේ හාමුදුරුවන් ම ය.

සරණංකර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් විහාරස්ථානයේ ඉදිකිරීම් රාශියක් ම සිදුවිය. දිරාපත් ව පැවති දැවපිට විහාරය ඉවත් කර 1933 දී අළුතින් විහාරගෙය ඉදිකිරීම, 1945 දී චෛත්‍යය ගොඩනැගීම, බෝධිය රෝපණය කිරීම, 1952 දී සංඝාවායය තැනීම, 1965 දී ධර්මශාලාව සහ පොත් ගුල ඉදිකිරීම ඒ අතර මුල්තැන ගනී. ගමේ සමිති සමාගම් පිහිටුවීම, ඇඹව පාසැල, දහම් පාසල, පේෂකර්ම පාසල (1956), සමුපකාරය, වැනි ආයතන ආරම්භ කිරීම ආදී පොදු කටයුතුවල දී උන්වහන්සේ මූලිකත්වය ගෙන කටයුතුකර ඇත.

සරණංකර ලොකු හාමුදුරුවන් විසින් ඉකඩම් රාශියක් මිලට ගෙන විහාරය සන්තක කර තිබේ. 1929.10.14 බක්මීගහකුඹුරෙ පිල්ලෑව, 1938.03.25 පන්සලගාව වත්ත, 1938.05.07 මැදකනත්ත හේන එසේ මිලයට ගනු ලැබූ ඉඩම් කොටස් ය. 1967.08.19 දින ලියන ලද සාංඝික ඔප්පුවකින් අඹගහගෙදර පිහිටි දන්ගහමුල වත්ත කණුකැටිගෙදර පුෂ්පාරාමයට පූජා කර තිබේ. එම විහාරයේ ද අධිපති පදවිය දරුවේ සරණංකර හිමියන් ම ය.

උන්වහන්සේ විසින් ශාසනයට ඉටුකරන ලද මෙහෙය සලකා වර්ෂ 1955 දී සත්කෝරළ මහ දිශාවේ අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදී. ඒ වෙනුවෙන් ගිහි පැවිදි ප්‍රභූවරුන් බොහෝ දෙනෙකෙුගේ සහභාගිත්වයෙන් විහාරභූමියේ උත්සවයක් පැවති අතර අගමැති ඩඩ්ලි සේනානායක මහතා අතින් විජිණිපත පිළිගන්වන ලදී. 

සරණංකර නායක හාමුදුරුවන්ට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා රාශියක් සිටියහ. ඇතැමෙක් උසස් අධ්‍යාපනය ලබා උපාධි ධරයන් ද වූහ.

  1. එලතලව පේමරතන හිමි
  2. ගලයායේ පියරතන හිමි
  3. ශාස්ත්‍රවේදී කොහොඹේපොල ධම්මසිරි හිමි
  4. ශාස්ත්‍රවේදී එලතලව සීලරතන හිමි
  5. කුඹල්වෙල අත්ථදස්සි හිමි.
  6. ශාස්ත්‍රවේදී කොබෙයිගනේ මේධංකර හිමි ඒ අතර ප්‍රධාන වේ.

ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා අතුරෙන් විහාරස්ථානයේ දිගට ම රැඳී සිටියේ එලතලව පේමරතන හිමියන් සහ ගලයායේ පියරතන හිමියන් පමණි. වසර හතලිස් පහක් විහාරාධිපති ධූරය හෙබ වූ සරණංකර නායක හාමුදුරුවෝ වසර 69ක් ආයු වළඳා 1969 සැප්තැම්බර් මස 8 වන සඳු දින ප : ව 3 ට කොළඹ මහා රෝහලේ දී අපවත් වූ සේක. උන්වහන්සේගේ ආදාහන කටයුතු විහාරභූමියේ දී සිදුකරන ලදී. පසුව එම භෂ්මාවශේෂ තැන්පත්කර ප්‍රධාන පාරට ආසනන් ව වර්තමාන ශ්‍රී සරණංකර පාර අද්දර ස්මාරකයක් ඉදිකෙරිණ.

කහටවිල ශ්‍රී සරණංකර සත්කෝරළ මහ දිශාවේ ප්‍රධාන නාහිමිපාණන් වහන්සේ සිදු කළ සේවාව පිළිපද ව අධ්‍යයනය කිරීමේ දී එය වචනවලින් මෙපමණකැයි කියා සීමා කළ නොහැකි ය. උන්වහන්සේ කළ සේවය විහාර භූමිය හා විහාරාංග පිළිබද ව කියවන අයෙකුට මනාව අවබෝධ කළ හැකි ය.

  1. එළතලව පේමරතන හිමි (1969-1982 අවු – 13)

කහටවිල ශ්‍රී සරණංකර සත්කෝරළ මහ දිශාවේ ප්‍රධාන නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1969 දී අපවත් වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යරත්නය වූ එළතලව පේමරතන හිම්පාණන් වහන්සේ පත්විය. වර්ෂ 1960 දශකයේ ඇඹව දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධූරය හෙබවූයේ එළතලව පේමරතන හිමියන් ය. සෑම ඉරු දිනක ම උදේ උන්වහන්සේ කණුකැටිගෙදර විහාරස්ථානයේ සිට ඇඹවට වැඩම කළහ. පාසල් නො එන දරුවන්ගේ දෙමාපියන් හමුවීම සඳහා උන්වහන්සේ ගමේ ගෙවල්වලට ද පා ගමනින් වැඩියහ. සරණංකර හිමියන්ගේ අභාවයෙන් පසුව කණුකැටිගෙදර පුෂ්පාරාමයේ වාසය කළ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයා ලෙස එළතලව පේමරතන හිමියන් විහාරාධිපති තනතුරට පත්විය. පේමරතන හිමියන්ගේ උපසම්පදා සීට්ටුවේ සඳහන් වන පරිදි උන්වහන්සේ 1933.05.31 වන බුද දින මහනුවර උපෝෂත පුෂ්පාරාමාධිපති පහමුණේ ශ්‍රී සුමංගල මහ නායක හිමියන් වෙතින් උපසම්පදාව ලබා ඇත.

පසු කලෙක පේමරතන හිමියන්ගේ දෙනෙත් අන්ධවීම නිසා පියරතන හිමියන්ට විහාරස්ථානය භාර ව කටයුතු කරන්නට සිදු විය. කල් යත් ම පේමරතන හිමියෝ දෙලන්වැවේ වත්තේ තනා දෙන ලද ආවාස ගෙයක වාසය කළහ. එහි සිටිය දී උන්වහන්සේ ලිඳේ වැටීමෙන් 1982 අගෝස්තු මස 2 දින අභාවයට පත්විය. අවුරුදු දහතුනක් ඇඹව විහාරස්ථානයේ අධිපති ධූරය හෙබ වූ උන්වහන්සේගේ අදාහන කටයුතු විහාර භූමියේ දී සිදුකරන ලදී. භෂ්මාවශේෂ සරණංකර හිමියන්ගේ ස්මාරකය තුළ ම තැන්පත් කරන්නට යෙදිණ.

එළතලව පේමරතන හිමියන්ට ගෝල හාමුදුරුවරු කිහිප දෙනෙක් සිටියහ. ඉන් පළමුවැන්නා ගලයායේ පියරතන හිමි ය. දෙවැන්නා හැඟව සිරිරතන හිමි ය. සංඝරතන, වෙල්පල්ලේ විමලරතන යනු තවත් දෙදෙනෙකි. ගලයායේ පියරතන හිමියන් හැර අනෙක් සියලු දෙනා ම උපැවදි වූහ.

  1. ගලයායේ පියරතන හිමි (1982-2012 අවු – 30)

එළතලව පේමරතන හිමියන්ගේ අභාවයෙන් පසුව ගලයායේ පියරතන අප ගුරු හිමියෝ විහාරාධිපති ධූරයට පත්වූහ. මෙම හිමියන් අපවත් වී වදාළ කහටවිල ශ්‍රී සරණංකර සත්කෝරළ මහ දිශාවේ ප්‍රධාන නාහිමිපාණන් වහන්සේගේ සහ එළතලව පේමරතන යන දෙනමගේ ම ශිෂ්‍යවරයන් වහන්සේ ය. දෙදෙනා වහන්සේගේ ම අපවත්වීමෙන් අනතුරු ව ඇඹව ශ්‍රී සුධර්මාරාමයෙහි විහාරාධිපති ධූරය හොබවන ලද්දේ පූජ්‍යපාද ගලයායේ පියරතන ස්වාමීන් වහන්සේ විසිනි. අඩි හයක් පමණ උස, සිහින් සෘජු පැහැපත් සිරුරක් ඇති උන්වහන්සේ කඩිසර ගමනින් යුක්ත ය. කරුණාවන්ත ය. කාහටත් ප්‍රියමනාප ය. කුඩා දරුවන්ට ඉතාමත් ලැදි ය. බැහැරට යොමු වූ සිතක් ඇති උන්වහන්සේ සමාජ ඇසුරට ප්‍රිය කළේ ය.

ගලයායේ පියරතන හිමියන්ගේ ගිහි නම වන්නේ අධිකාරි මුදියන්සේලාගේ පියදාස ය. කටුගම්පොල හත්පත්තුවේ පිටිගල් කොරලේ ගලයායේ පදිංචි ව සිටි ඒ. එම්. චාර්ලිස් සිංඤෝ උපාසක මහතා උන්වහන්සේගේ පියා විය. මව වූයේ එම්. ඒ. මරියහාමි උපාසිකා මාතාව ය. එම මාපිය දෙපලගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ පියදාස කුමරුවා උපත ලැබුවේ 1933 ජූනි 17 වන ශනි දින ය. දොළොස් හැවිරිදි වියේ වූ පියදාස දරුවා 1946 ජනවාරි මස 01 දින දී ය, තම දෙමාපියන් ද සමග කරත්තයක නැඟී ඇඹව ග්‍රාමයට පැමිණියේ ය. ඒ ඇඹව දේවාලයට භාරයක් ඔප්පු කිරීම සදහා ය. එම අවස්ථාවේ මෙම දරුවා දුටු විහාරාධිපති කහටවිල සරණංකර ලොකු හාමුදුරුවන් වහන්සේ, දරුවාගේ අංග ලක්ෂණ අනුව ඔහු පැවිදි දිවියට සුදුසු බව පසක් කර ගත්හ. දෙමවුපියන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව දරුවා සසුනට පුද කරන්නට ඔවුන් කැමති කරවාගත හැකි විය.

පියදාස දරුවා, ගලයායේ පියරතන නමින් පැවිදි කරන ලද්දේ කහටවිල සරණංකර ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් හා එලතලව පේමරතන ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් යුතුව, දන්ඩගමුවේ ශ්‍රී සුධර්මාරාමාධිපති පූජ්‍ය කෝන්ගහගෙදර ධම්මානන්ද හිමියන් විසිනි. ඒ 1946 ජුනි මස 22 දින ්දී ය. චෛත්‍යයට කොත පැළඳවීමේ උත්සවයට සමගාමීව මෙම පැවිදි කිරීමේ උත්සවය ද පවත්වන ලද්දේ එකල තිබූ පැරණි ධර්ම ශාලාව තුළ දී ය. පියරතන සාමණේරයන් වහන්සේ විහාරස්ථානයෙහි වැඩවසමින්, කුලියාපිටියේ විද්‍යා විනොද පිරිවෙනේ අධ්‍යාපනය ලැබූහ. 1948 දී කණුකැටිගෙදර විහාරස්ථානය ඇඹව විහාරස්ථානයට පවරණ ලදුව පේමරතන හිමියෝ එහි වැඩවාසය කිරීම පිණිස ගියහ. අප පියරතන ස්වාමීන් වහන්සේ ද පසුව උන්වහන්සේ සමග වාසය කරන්නට එහි වැඩම කළහ.

පියරතන හිමියන් උපසම්පදාව ලැබුවේ 1955 ජූනි මස 17 දින මහනුවර මල්වතු විහාරයේ දී ය. ඉන් පසුව උන්වහන්සේ ගම්පහ විද්‍යා රවින්ද පිරිවෙනට ඇතුළු ව, එහි නේවාසික ව අධ්‍යාපනය ලැබූහ. මෙකල සරණංකර ලොකු හාමුදුරුවන් වහන්සේ වරින් වර රෝගාතුර වන්නට විය. මේ නිසා අධ්‍යාපනය අතරමග නතර කර, ආපසු පැමිණ උන්වහන්සේට ඇප උපස්ථාන කරන්නට අප ස්වාමීන් වහන්සේට සිදුවිය.

1969 සැප්තැම්බර් මස 08 වැනි දින සරණංකර ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වන්නට යෙදිණ. ඉක්බිති කණුකැටිගෙදර විහාරස්ථානය භාරව කටයුතු කළ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය එලතලව පේමරතන හිමියෝ විහාරාධිපති ධූරයට පත්වූහ. 1970 පමණ වනවිට පේමරතන හාමුදුරුවන්ගේ ඇස් පෙනීම අඩුවන්නට විය. මේ නිසා උන්වහන්සේට ඇප උපස්ථාන කිරීමටත්, විහාරාධිපති ධූරයේ කාර්ය භාරය ඉටු කිරීමටත් අප පියරතන ස්වාමීන් වහන්සේට සිදුවිය. ටික කලකින් කිසියම් මතභේදයක් නිසා පේමරතන හිමියෝ විහාරස්ථානයෙන් බැහැර ව ගොස් දෙලන්වැව අසල වත්තේ ආවාසයක් සාදාගෙන වාසය කරන්නට වූහ. මේ නිසා විහාරාධිපති ධූරයේ වගකීම් සහ කාර්යභාරය අප පියරතන හිමියන්ට පැවරිණ. එහෙත් උන් වහන්සේට නීත්‍යානුකූලව විහාරාධිපති පදවිය ලැබුනේ 1982 දී පේමරතන හිමියන් අපවත් වූ පසුව ය.

පියරතන හිමියෝ ඇඹව ශ්‍රී සුධර්මාරාමය හා කණුකැටිගෙදර ශ්‍රී පුෂ්පාරාමය යන විහාරද්වයේ අධිපති වශයෙන් කටයුතු කෙරිණ. ඒ සමග ම උන් වහන්සේ පරම්පරාවෙන් උරුම වූ වෙදකමෙහි ද නිරත විය. උන් වහන්සේ හෙට්ටිපොල ශ්‍රී සරණංකර ඖෂධාලය නමින් බෙහෙත් ශාලාවක් පිහිටුවාගෙන අසරණ රෝගීන් සුවපත් කිරීමට කටයුතු කළහ. මේ අතර දායක කාරකාදීන්ගේ නිවෙස්වල සිදුකෙරෙන දානමානාදිය මෙන් ම විහාරස්ථානයේ සිදුකෙරෙන විවිධ ආගමික හා සංස්කෘතික කටයුතු ද නො පිරිහෙළා ඉටු කළහ. එහෙත් ගෝල හාමුදුරුවරු අධ්‍යාපනය ලැබීම සඳහා බැහැර ව යාම නිසාත්, ඇතැම් අවස්ථාවල සිවුරු හැර යාම නිසාත් කිසිවකු විහාරස්ථානයේ නොමැති අවස්ථා උදා විය. එම නිසා 2003 දී පියරතන ස්වාමීන් වහන්සේ හෙට්ටිපොල ඖෂධාලය වසා දමා ඇඹව විහාරස්ථානයේ ම වෙදකම් කරන්නට පටන් ගත්හ. ඒ අනුව විහාරස්ථානය කරා එන දායකයනගේ ආගමික අවශ්‍යතා ඉටුකර දෙන්නට උන්වහන්සේට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලැබී තිබේ.

පියරතන ස්වාමීන් වහන්සේ විසින් කරනු ලබන ආගමික හා සාමාජික සේවාවන් විශේෂයෙන් ම ආයුර්වේද වෙදකම වෙනුවෙන් කරන ලද සේවාව අගයමින්, 1998 දී මුළු දිවයිනට ම බලපවත්වන පරිදි උන් වහන්සේට සාම විනිසුරු පදවියක් පිරිනමන ලදී. 1998 ජනවාරි 12 වැනි දින පාර්ලිමෙන්තු මන්ත්‍රී පියසෝම උපාලි මහතා විසින් ඒ පිළිබඳ ව නිවේදනය දායක සභාවේ දී කියැවූ අතර, මාර්තු මස 01 දින ඒ වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කරන්නට යෙදිණ. අප ස්වාමීන් වහන්සේට, කුරුණෑගල දේශීය වෛද්‍ය සංගමය විසින් “දේශීය වෛද්‍ය ශූරී” සම්මානය පුද කර තිබේ. 2005 දෙසැම්බර් 25 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් “ශාසන කීර්ති ශ්‍රී ධර්මවෛශාරද්‍ය ලෝකත්ථචාරි” යන සම්මානය ද පිරිනමන ලදී. පියරතන හිමියෝ කුරුණෑගල දේශීය වෛද්‍ය සංගමයේ කාරක සභිකයෙකු වශයෙන් ද, කුලියාපිටිය (බටහිර) වෛද්‍ය සංගමයේ අනුශාසක වරයෙකු වශයෙන් ද වැදගත් සේවාවක් ඉටු කර ඇත. 

පියරතන ලොකු හාමුදරුවන් වහන්සේ මස් මාංශාදිය වැලදුවේ නැත. උන් වහන්සේ බත් පතක්, එළවළු ව්‍යංජනයක් හා තැල්කොල ඇඹුලක් හෝ කුරක්කන් පිට්ටුවක්  හා හාල්මැස්න් හොද්දක් වැනි සැහැල්ලු ආහාරයකින් තෘප්තියට පත් වූහ. විහාරස්ථානයේ පැවිදි ව සිටි භික්‍ෂූන් වහන්සේලා එකිනෙකා සිවුරු හැර යද්දීත්, උන් වහන්සේ සියළු බාධක, අවහිර, දුක්, කම්කටොලු විඳ දරාගෙන ඉන්ද්‍රඛීලයක් සේ නො සැලී සිටියහ. මේ උතුම් ගුණ ධර්ම නිසා උන් වහන්සේ පූජාති පූජනීය වේ.

පියරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් සිදු විය. විහාරමන්දිරයේ බිමට බිම් ගල් ඇල්ලීම, වහලය සහ සිවිලිම ප්‍රතිසංස්කරණය කිරිම, චෛත්‍යය වටා අටවිසි බුදු කුටි නිර්මාණය කිරීම, සංඝාවාසය ප්‍රතිසංස්කරණය කිරීම, වාහල්කඩ ඉදිකිරීම, හිටි පිළිමය හා ඇත් පවුර සෑදීම, විදුලිය හා නල ජලය ලබා ගැනීම ඒ අතරින් ප්‍රධාන වේ.

පියරතන හිමියන් බොහෝවිට ගමන් බිමන් යන්නේ පයිනි. කේසර ව ගමන් බිමන් ගිය අප හිමියෝ අවුරුදු දෙකක පමණ කාලයක සිට දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් රෝගාතුර  ව ප්‍රතිකාර ගත්හ. වරින් වර උන්වහන්සේගේ දෙපා තඩිස්සි විය. එවැනි අවස්ථාවල උන් වහන්සේ කුලියාපිටිය රෝහලේ නැවති ප්‍රතිකාර ලබා ගත්හ. අවසන් වරට පියරතන හිමියන් රෝහල් ගතවූයේ 2012 මාර්තු මැද භාගයේ දී ය. මෙවර සති තුනක් තරම් දීර්ඝ කාලයක් රෝහලේ භික්ෂු වාට්ටුවේ නතර ව සිටි උන් වහන්සේගේ පාදයක කුඩා තුවාලයක් ද හට ගැනිණ. එය සුවවන තුරු නතර ව සිටින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී තිබිණ. තමා බැලීමට එන අය සමග සුහද ව කථාකරමින් සතුටින් සිටි අප හිමියෝ අප්‍රියෙල් 4 වන දා රාත්‍රී 8 : 00 ට පමණ හදිසියේ අසනීප වී ටික වේලාවකින් අපවත් විය.

වර්තමානයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන්නේ ඉරුදෙනියායේ සිරිරතන හිමියන් ය. මල්වතු මහා විහාරයීය උපසම්පදාව පිහිටීමෙන් අනතුරුව මෙම විහාරස්ථානයේ නවවන විහාරාධිපති හිමියන් ලෙස උන්වහන්සේ සිය සේවාව විහාරස්ථානය වෙනුවෙන් ලබාදෙනු ලබයි. වර්තමානයේ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලයේ මූලික පරිපාලකයා ද වන්නේ මෙම හිමියන් ය. 2001 නොවැම්බර් 15 දින මෙම විහාරයට අයත් කණුකැටිගෙදර ශ්‍රී පුෂ්පාරාම රාජමහා විහාරයේ දී සසුන්ගත විය. වර්ෂ 2013 වර්ෂයේ ජූනි 07 දින ඓතිහාසික මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලබාගත්හ. කුලියාපිටිය විද්‍යා විනොද මහා පිරිවෙණෙන් මූලික හා උසස් අධ්‍යාපනය හදාරා හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් සමය හා තුලනාත්මක දර්ශනය පිළිබද විශේෂ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිත ව විශේෂවේදී උපාධිය හදාරන ලද අතර 2020 වසරේ එම විශ්ව විද්‍යාලයෙන් වසරේ දක්ෂත ම ශිෂ්‍යයාට පිරිනැමෙන මහෝපධ්‍යාය ස්වර්ණ මුද්‍රිකාව ඇතුළු ශිෂ්‍යත්ව රාශියක් ම ලබා දැනට එම විශ්ව විද්‍යාලයෙහි ම දර්ශනපති උපාධිය හදාරමින් පවතී. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සහකාර කථීකාචාර්යවරයෙකු මෙන් ම විද්‍යා විනොද මහා පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති හිමින් ලෙස ද කටුයුතු කරනු ලබයි. එම හිමියන්ට ශිෂ්‍ය හිමිවරුන් කිහිපයක් ම වර්තමානය ශාසනික කටයුතු වෙනුවෙන් යොදවා ඇත.

  1. හල්මිල්ලෑවේ සද්ධානන්ද හිමි (විහාරාධිකාරී හිමියන්)
  2. යල්වෙල සීලරතන හිමි (පරිවෙණාචාර්ය)
  3. බෝගොල්ලයායේ ඉන්දරතන හිමි
  4. පන්නල්ගම ධම්මරතන හිමි
  5. අතරගල්ලේ චන්දරතන හිමි

ඉහත මෙම සියලු කරුණුවලින් අප මහා විහාරයෙහි ඉතිහාසය වර්තමානය වන තෙක් ම භික්ෂු පරපුර අවිච්ඡින්න ව වර්තමානය වන තෙක් ම පැවත එනු ලබයි. මෙමඟින් අප ඇඹැව විහාරයෙහි අනන්‍යතාවය ඉතා පැහැදිලි ව විදහාපානු ලබයි. එම නිසා කිසිවෙකුට කබලෑ පළාතේ අඹැව විහාරය මෑත යුගයක ආරම්භ කරන ලද්දක් බව කෙසේ නම් ප්‍රකාශ කිරීමට හැකි වන්නේ ද? එම නිසා අප විහාරයෙහි ඉතිහාසය මහනුවර යුගය සමඟ සෘජු සබඳතා පවත්වමින් ආරම්භ කරන ලද බව අවබෝධ කර ගැනීම යුක්ති යුක්ත ය.